රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පදිංචි කැලණිය, හුණුපිටිය, දිප්පිටිගොඩ නිවෙසේ පැවැති චාම් උත්සව අවස්ථාවකට සහභාගිවූ වෛද්‍යවරයකු කොවිඩ්-19 වයිරසය ආසාදනය වීමෙන් එම වෛද්‍යවරයා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්තා වී ඇත.
වෛද්‍ය පාදෙණිය මහතාට ඉතාම සමීප පවුල් තුනක සාමාජිකයන් 20 දෙනකු පමණක් එම සරල උත්සව අවස්ථාවට එක්වී ඇත.
කොවිඩ් – 19 ආසාදනය වී ඇතැයි කියන වෛද්‍යවරයා මිනුවන්ගොඩ උග්ගල්බඩ ප්‍රදේශයේ පදිංචි අවිස්සාවේල්ල මූලික රෝහලේ සේවය කරන අයකු බවත් ඔහු ඉකුත් 10 වැනිදා තවත් මංගල උත්සවයකට සහභාගි වී ඇති බවත් තොරතුරු ලැබී ඇත.
සිද්ධිය සැලවූ මිනුවන්ගොඩ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය අනූජ ප්‍රනාන්දු මහතා විසින් සාදයට එක්වූ සැමට ස්වයං නිරෝධායනයට ලක්වෙන ලෙස උපදෙස් දී ඇත.
මේ අතර වෛද්‍ය පාදෙණිය මහතා පදිංචිව සිටින කැලණිය දිප්පිටිගොඩ ජයන්ති මහල් හන්දියේ නිවෙසට 13 වැනිදා රාත්‍රි ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වන ඩී.එම්.කේ.පී. දිසානායක මහතා ගොස් ඇති අතර එම අවස්ථාවේ නිවෙසේ කිසිවකු සිට නැත.
මහජන සෞඛ්‍ය පරීක්ෂක දිසානායක මහතා එම සිදුවීම කැලණිය ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි චන්දිමා වික්‍රමගේ මහත්මියට දැනුම්දී ඇති අතර 13 වැනිදා ගත් උත්සාහය අසාර්ථක වුවද යළිත් 14 වැනිදා නිවෙසට ගොස් වෛද්‍ය පාදෙණිය මහතා ඇතුළු ඔහුගේ සමීපතමයන් ස්වයං නිරෝධායනයට ලක් කරන ලෙස වෛද්‍යවරිය උපදෙස්දී ඇත.
මෙම සිද්ධිය ගැන විශේෂඥ වෛද්‍ය පාදෙණිය ‘මව්බිම’ට මෙසේ පැවැසීය.
“රෝහලේ මා සමඟ එකට සේවය කරන වෛද්‍යවරයකු ස්ථාන මාරුවී යෑම නිසා, මගේ නිවෙසට කැඳවා කෑම වේලක් ලබාදුන්නා. අපි දෙන්නා රෝහලේදී කෑම ගත්තෙත් එකට. ඒ වෛද්‍යවරයාට කොවිඩ් ආසාදනය වී ඇති බව මම දැනගත්තේ ඊයේ (14දා) උදේ.”
“මම නිවෙසෙන් බැහැරව ගොස් සිටි අවස්ථාවේ, පෙරේදා (13දා) සවස මහජන පරීක්‍ෂකවරයා නිවෙසට පැමිණ තිබෙනවා. මට කලින් දැනුම්දීමක් නොකර ඔහු පැමිණ තිබෙනවා. ඊයේ (14දා) උදේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි දුරකථනයට සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත්, සම්බන්ධ කරගැනීමට නොහැකි වූ තැන මම කෙටි පණිවුඩයක් ලබාදුන්නා. එයට OK කියා පිළිතුරු එවා තිබුණා” යැයි වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පැවැසීය.
“මා සමඟ සේවය කළ වෛද්‍යවරයාට භෝජන සංග්‍රහය ලබාදුන්නේ ඉකුත් 7 වැනිදා. අදට දින හතක් ගත වී තිබෙනවා. මම අද (15දා) PCR පරීක්‍ෂණයක් ලබාගන්නවා. මම අතුරුදන් වෙලා යැයි සමාජගත කිරීමට උත්සාහ කිරීම විහිළුවක්. කොවිඩ්වලට බියේ අතුරුදන් වෙන්න තරම් මට බියක් නැහැ” යැයි වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය සඳහන් කළේය.
from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/3qol4Ru
tribune

0 Comments