මෙරට 21 වන කොවිඩ් මරණය ඊයේ (01) වාර්තා වු අතර, එම පුද්ගලයාගේ අවසන් කටයුතු කසගහවත්ත ආදාහානාගාරයේ දී ඊයේ රාත්‍රීයේ සිදුකළ බව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේය.
මේ අතර ඊයේ දිනය තුළ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 397 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 11,060 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
අද (02) උදෑසන වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල ආශ්‍රිත කොවිඩ් පොකුර 7,582ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් පුද්ගලයින් 1,041ක් ඇඟලුම් කම්හලේ සේවකයන් වන අතර, ඉතිරි පුද්ගලයින් 6,541ක් දෙනා එම කම්හලේ කොවිඩ් පොකුරට සම්බන්ධ අය වේ.
මේ අතර අද උදෑසන දෝහා සිට පුද්ගලයින් තිදෙනෙක් පැමිණ තිබේ.
අද දිනය තුළත් ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් 228 දෙනෙක් නිවෙස් බලා පිටව යෑමට නියමිත බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ වන විට පුද්ගලයින් 4,039 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන 45ක නිරෝධායනය වෙමින් සිටී.
ඊයේ දිනය තුළ පිසීආර් පරීක්ෂණ 11,087ක් සිදුකර ඇති අතර, මෙරට සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ ගණන 523,822ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර ඊයේ දිනයේ දී වාර්තා වු ආසාදිතයින් පිළිබඳ තොරතුරු “දෙරණ අරුණ“සමග එක්වෙමින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙසේ අදහස් දැක්වීය.
“කොවිඩ් ආසාදිතයෙක් වු වහාම ඔහුව රෝහලකට රැගෙන යන අතර තුර, ඔහුගේ ප්‍රථම ආශ්‍රිතයන් නිරෝධායනයකට ලක්කරනවා නිවෙස් තුළ. මේ ආකාරයෙන් නිරෝධායනය කරන ගෙදරක් දෙකක් යම්කිසි සුළු ප්‍රදේශයක තිබෙනවා නම්, අපිට ඒක හුදකලාවකට ලක්කළ හැකියි. ඒකයි සමහර ගම්මාන හුදකලා කරා කියලා අපි කියන්නේ. නමුත් මේක විසිරිලා තිබුණොත් යම්කිසි ප්‍රදේශයක එසේ ගමක් පමණක් හෝ කොටසක් විතරක් හුදකලා කරන්න හැකියාවක් නෑ. එහෙම නම් එතැනින් ඔබ්බට ගිහින් පොලිස් වසමක් හෝ තෝරාගන්නා ලද ක්‍රමවේදය අනුව නිරෝධායන ඇඳිරිනීතිය යොදවනවා. ඊයේ හා පෙරේදා දිනයේ අපි සළකා බැලුවහම ඊයේ දිනයේ රටේ කොවිඩ් ආසාදිතයින් 397 දෙනෙක් හමුවෙනවා. ඉන් 179 දෙනෙක්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ඊළඟට කොළඹ දිස්ත්‍රික්කයෙන් 93 දෙනෙක් හා කළුතර දිස්ත්‍රික්කයෙන් තවත් 33 දෙනෙක් වාර්තා වෙනවා. සුළු ප්‍රමාණයක් ඇහැළියගොඩින්, කුරුණෑගලින් සහ කුලියාපිටියෙන් වාර්තා වෙනවා.ඉතින් අපි මේවා බැලුවහම බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුන තුළ තමයි ප්‍රධාන වශයෙන්ම බහුතරයක් හමුවෙලා තියෙන්නේ.“
from රට තොට – Colombo Tribune https://ift.tt/2GnMdTg
tribune

0 Comments