කොළඹ ජාතික රෝහලට පරිත්‍යාගයක් ලෙස ලැබුණු පීසීආර් යන්ත්‍රය එම රෝහලේ ක්ෂූද්‍රජීවී විශේෂඥවරිය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම යන්ත්‍රය ජයවර්ධනපුර රෝහලේ ස්ථාපිත කර ඇතැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන්ගේ සංගමය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබා තිබෙන මෙම පීසීආර් යන්ත්‍රය භාවිත කළ නොහැකි යැයි පවසමින් විශේෂඥවරිය මෙසේ ප්‍රතික්ෂේප කර ඇතැයි පැවසේ. වෛද්‍ය පර්‌යේෂණායතනයේ ක්ෂූද්‍රජීවී විශේෂඥවරයකුගේ උපදෙස් මත එය සිදුව ඇති බවත් ඔවුන් මෙය ප්‍රතික්ෂේප කර ඇත්තේ ඔවුන්ට අවශ්‍ය වෙනත් නිෂ්පාදනයක් මිලදී ගැනීම සඳහා බවත් රසායනාගාර විද්‍යඥ වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් සඳහන් කරයි.

පරිත්‍යාගයක් ලෙස ලැබුණු මෙම යන්ත්‍රය ජාතික රෝහල වෙත ලබා ගැනීමට රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක්ම විශාල පරිශ්‍රමයක් දැරූ බවත් එය ලැබුණේ නම් ජාතික රෝලේ රෝගීන්ගේ පීසීආර් පරීක්ෂණයන් රෝහලේම සිදුකර කොවිඩ් නොවන රෝගීන්ට ලබාදිය යුතු ප්‍රතිකාරයන් අඛණ්ඩව ලබාදීමට හැකිවන බවත් ඔහු පෙන්වා දේ.

කෙසේ නමුත් මෙම යන්ත්‍රය රෝහල් පරිශ්‍රයේ ස්ථාපිත කිරීමට රෝහල් අධ්‍යක්ෂවරයාට හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට අවශ්‍යතාවක් නොවූ බැවින් පරිත්‍යාගශීලියා විසින් එම යන්ත්‍රය ජයවර්ධනපුර රෝහලේ ස්ථාපිත කිරීමට කටයුතු කර අතැයි ද කුමුදේශ් සඳහන් කරයි.

ශ්‍රියානී විජේසිංහ / www.aruna.lk



from රට තොට – Colombo Tribune https://ift.tt/3l6bS21
tribune