සෙංකඩගලපුර දළදා සමිඳුන්ගේ පහස මත හැදුණු, වැඩුණු මහනුවර ධර්මරාජ විද්‍යාලය එදා මෙදාතුර රටට, දැයට දායාද කළ උගතුන්, වියතුන්, කලාකරුවන්, වෘත්තීයවේදීන් මෙන්ම ආරක්ෂක හමුදා සාමාජිකයන් එතෙක් මෙතෙක් යැයි කිව නොහැකිය.. ඒ අතිනුත් එකම කාලයක, එකම පන්තියක සිප්සතර හැදෑරූ ආදි සිසුන් හයදෙනකුම හමුදා ජෙනරාල්වරුන් ලෙසින් කිරුළු පැලඳීම මෙතෙර හෝ එතෙර පාසලකින් බිහි වී ඇතැයි යන්න සිතිය නොහැකිය.
අසූව දශකයේ මුල් කාලයේ ධර්මරාජයේ උසස් පෙළ පන්තිවල ඉගෙන ගන්නා සමයේ අප සමකාලීන මිතුරන් වූයේ පූජිත් ජයසුන්දර, පාලිත පාණමල්දෙණිය, සමන් යටවර, අජන්ත සමරකෝන්, ගාමිණී සහ තිස්ස ජයසිංහ වැන්නන්ය. පූජිත්, පාලිත, සමන්, අජන්ත පොලිසියට එක්වී පොලිස්පති තනතුරට, නියෝජ්‍ය පොලිස්පති තනතුරට, ජේයෂ්ඨ පොලිස් අධිකාරි තනතුරුවලට පත්වෙද්දී ගාමිණී සහ තිස්ස නිවුන් සොහොයුරෝ බන්ධනාගාර සේවයට එක්වී දෙදෙනාම බන්ධනාගාර කොමසාරිස්වරු ලෙසට උසස් වූහ. එකල අපිට වඩා පන්ති දෙකක් පහළ එනම් සාමාන්‍ය පෙළ පන්තිවල නිර්මාල් ධර්මරත්න, නිශ්ශංක රණවණ, දුෂ්‍යන්ත රාජගුරු, වජිර පලිහක්කාර, ප්‍රසන්න චන්ද්‍රසේකර සහ සුදර්ශන පතිරණ එකට අකුරු කළෝය. එකල අප සැමගේ විදුහල්පතිවරයා වූයේ කීර්තිමත් ගුරු පියකු මෙන්ම ධර්ම රාජයේම ආදි සිසුවකු වූ ඒ.පී. ගුණරත්න මහතාය. එකම පන්තියේ සිටි ඉහත හය දෙනාගෙන් දුෂ්‍යන්ත, නිර්මාල්, නිශ්ශංක, වජිර, ප්‍රසන්න තම ‘අනාගතය’ වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව තෝරා ගනිද්දී සුදර්ශන තෝරා ගත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි.
2018 අගදී මෙන්ම 2019 මුලදී යුද හමුදා සොයුරන් පස්දෙනාම මේජර් ජෙනරාල් නිලයේ කිරුළ පලඳිද්දී ගුවන් හමුදාවේ සුදර්ශන එහි මාණ්ඩලික ප්‍රධානියා බවට පත්විය. එකම පන්තිවල අකුරු කළ ආදි සිසුන් හය දෙනකු තරු දෙකේ ජෙනරාල් නිලය දරමින් එකම කාලයක රාජකාරි කිරීම සැබැවින්ම අපූර්ව සිද්ධියකි.
මේ අය ධර්මරාජයේ අකුරු කරන සමයේ මධ්‍යම පළාත් හමුදා ආඥාපති මූලස්ථානය පිහිටියේ අපේ පාසලට ආසන්නවය. එකල එහි ආඥාපති වූයේ කර්නල් දිවිතොටවෙලය. දළදා සමිඳුන් පේනතෙක් මානයේ පාසල පිහිටා තිබීමත් අනෙක් අතින් හමුදා කඳවුර නිතර නෙත ගැටීම නිසාත් ඕල්කට් පාසල්වල දරුවන් වූ අප සිසුන්ට රට, ජාතිය, ආගම ගැන අලුතෙන් කියාදෙන්නට ඕනෑ වුණේ නැත.
ධර්මරාජයේ ගේට්ටුවේ ඇතුළට ගිය සියල්ලන්ම යළි එළියට ආවේ සිංහල බෞද්ධකමත්, රටත්, ජාතියත් මුදුන්මල්කඩේ තබාගෙනය. ඒ ධර්මරාජයේ හැටිය. ඒ නිසාම 83 ආරම්භ වී තිස් වසක් පුරාවට ඔඩුදිවූ කුරිරු යුද්ධයට මොහුන්ගෙන් සිදුවූයේ සුවිසල් මෙහෙවරකි. මේ හය දෙනාම යුද බිමේ කැපීපෙනෙන චරිත වූහ. යුද බිම වාර්තාකරණයට ගිය සෑම වාරයකදීම පාහේ මින් එකකු හෝ මට මුණගැසිණි.
1985 වසරේදී ගුවන් හමුදාවට එක්වූ සුදර්ශන අද අපේ කතානායකවරයා. ඒ ඔහු ධර්මරාජයට අභිමානයක් එක් කරමින් පසුගියදා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 18 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙසට කිරුළ පැලඳීමයි. ධර්මරාජයට කිලෝමීටර් දෙක තුනක නුදුරින් පිහිටි අම්පිටිය ග්‍රාමයේ උපත ලැබූ සුදර්ශන පතිරණයන්ගේ පියා සිරි පතිරණය. අම්පිටියට එහා ග්‍රාමයේ පිහිටි එදා මහත් ප්‍රසිද්ධියක් ඉසිලූ අරුප්පොළ කාර්මික විද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් වූ ඔහු ප්‍රදේශයේ කා අතරත් ජනප්‍රිය සමාජ සේවකයකු විය. මේ ගුරු පියාණන් හට තම වැඩිමහල් පුතුගේ සුරු විරුකම් වැඩි කලක් දෑසින් දැක ගැනීමට නොහැකි විය. ඒ රටට, දැයට විරුවකු බිහි කළ මේ පියාණෝ 1986 වර්ෂයේදී ජීවිත රඟ මඬලෙන් සමුගත් බැවිනි. මව ස්වර්ණමාලි කරුණාරත්නය. ඇයද දරු දැරියන් දහස් ගණනකගේ නැණස පෑදූ ගුරු මාතාවකි. තලාතුඔය මහා විද්‍යාලයේ කාලයක් පුරාවට සිප්සතර දරුවන්ට දායාද කළ මේ අම්මා, විශ්‍රාම යන විට සේවය කළේ අම්පිටිය තම ගම් ප්‍රදේශයේම පිහිටි සිද්ධාර්ථ විද්‍යාලයේය.
පවුලේ වැඩිමහලා වූ සුදර්ශනට සොහොයුරියක්ද සොහොයුරෙක්ද සිටිති. සොහොයුරා අප හිතවත් චන්දනය. පියාගේ වියෝව සිදුවුවද මේ දරු තිදෙනාට මවගෙන් ලැබුණු ආදරය මෙන්ම සුරක්ෂිත රැකවරණයද අදත් එලෙසමය. 1983දී උසස් පෙළ හදරා පාසලින් සමුගන්නා සුදර්ශන පාසල් කාලයේදී රගර් ක්‍රීඩාවේ දක්ෂයකු වූ අතර ටෙනිස් සහ ගොල්ෆ් ක්‍රීඩාවට අදත් අතිදක්ෂයෙකි.
පාසල් බාලදක්ෂ කණ්ඩායමේත්, ශිෂ්‍යභට බළකායේත් ප්‍රබල සාමාජිකයෙක් වූ මොහු පාසලේදී වැඩි දැඟලිලිකාර සිසුවකු නොවීය.
1985 ජූලි 2 වැනි දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 14 වැනි කෙඩෙට් නිලධාරි පාඨමාලාවට ආධුනික නිලධාරියකු ලෙස බැඳී ගුවන් හමුදා මූලික ගොඩබිම් සටන් පුහුණුව දියතලාව කඳවුරේදී සාර්ථකව හදාරා එම පාඨමාලාවේ දක්ෂතම කැඩෙට් නිලධාරියාට හිමි සම්මාන කුසලානයද හිමිකර ගැනීමට සමත් විය. අනතුරුව විදේශීය පාඨමාලාවන් කිහිපයක්ම හැදෑරූ සුදර්ශන පාකිස්තාන ගුවන් හමුදාවේ උසස් ගුවන් නියමු පාඨමාලාව සඳහා තේරුණු ලාංකේය ගුවන් නියමුවන් තිදෙනාගෙන් එක් අයකු විය. එහිදී පාකිස්තාන ගුවන් හමුදාව විසින් පිරිනමන ලද දක්ෂතම මිත්‍ර ගුවන් හමුදා කෙඩෙට් නිලධාරියා සම්මානයෙන්ද පිදුම් ලැබුවේ ඔහුය. 1987දී අංක 3 සමුද්‍රීය බළගණයේ නිරීක්ෂණ ගුවන් යානා නියමුවකු ලෙස සිය මෙහෙයුම් ජීවිතය ආරම්භ කර ඇති අතර 1989දී ක -12 ගුවන් යානා නියමුවකු ලෙසින්ද 1990දී ජ්7 _ ඕ5 සුපර් සොනික් ප්‍රහාරක ජෙට් යානා නියමුවන් ලෙස බඳවා ගන්නා ලද පළමු ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් නියමුවන් සයදෙනා අතරට ඇතුළත් වීමට තරම් දක්ෂයකු වූ මොහු ප්‍රහාරක යානා මෙරටට ගෙන ඒමටද එක්විය. සුදර්ශන සුදුසුකම්ලත් ප්‍රහාරක ගුවන් නියමුවකු, උපදේශකයකු මෙන්ම ගුවන් යානා වර්ග 10කට අධික සංඛ්‍යාවක් පියාසර කරමින් පියාසර පැය 3500කට අධික ගණනක් වාර්තා කර ඇති අතිදක්ෂ ගුවන් නියමුවෙකි.
කෆීර් ප්‍රහාරක ගුවන් යානා නියමුවකු ලෙස මානුෂීය මෙහෙයුමේදී ත්‍රස්තවාදීන්ගේ මර්මස්ථාන වෙත පළමු ප්‍රහාරයේදීම අතිසාර්ථකව ප්‍රහාර එල්ල කිරීමට සක්‍රිය දායකත්වය ලබාදී ඇති මොහුට අවස්ථා අටකදී වීරෝදාර පදක්කම් ප්‍රදානය කිරීම තුළින් ඔහුගේ නිර්භීතභාවය, කැපවීම, දක්ෂතාව මොනවට ඔප්පු වේ.
වීර වික්‍රම විභූෂණය දෙවරක්ද, රණ වික්‍රම පදක්කම දෙවරක්ද, රණ ශූර පදක්කම සිවුවරක්ද වශයෙන් ලබා ගැනීමට තරම් අභීත රණවිරුවකු වූ ඔහු ගුවන් හමුදා ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතමයෙකි.
ඔහුගේ 35 වසරක නිකැළැල් සේවය අගයවනුවස් විශිෂ්ට සේවා විභූෂණ සහ උත්තම සේවා පදක්කම්වලින්ද පිදුම් ලබා ඇත. ගුවන් හමුදාවේ ප්‍රහාරක ගුවන් යානා බළගණයන් ත්‍රිත්වයටම අණදෙමින් 2007 වසර දක්වාම කටයුතු කළ සුදර්ශන ප්‍රහාරක ජෙට්යානා මෙහෙයවමින් මෙරට ත්‍රස්තවාදයට එරෙහි යුද ඉතිහාසයේ නොමැකෙන නමක් සටහන් කර ඇත.
මෙරටට ප්‍රථම මිග් 27 ගුවන් යානාව රැගෙන ආ ගුවන් නියමුවා වූයේද සුදර්ශනය. වාණිජ ගුවන් නියමුවකු ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරියේ බලපත්‍රයද ලබා ඇති සුදර්ශන එදා මෙදා තුර 35 වසරක් වූ තම ගුවන් හමුදා ඉතිහාසය තුළ ලබාගත හැකි ඉහළම පුටුවට හිමිකම් කීමට වාසනාව අද හිමිකර ගෙන ඇත්තේ ගුණගරුක, සරල දිවි පෙවෙතත් මවුපියන්ගේ ආශීර්වාදයත් දම්රද මාතාවගේ මඟ පෙන්වීමත් තම නොපසුබට උත්සාහයන් නිසාමය.
සුදර්ශන නියම ගුවන් නියමුවකු වූ නිසාම තම සහකාරිය සොයා ගැනීමටද ගුවන් කරණමක් ගැසීය. ඒ එවකට ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයාගේ ලේකම්වරිය වූ චාමිනී ද සිල්වා වෙතටය. චාමිනී සමඟ විවාහ වූ සුදර්ශන අද වාසනාවන්ත දරුවන් දෙදෙනකුගේ දයාබර පියෙකි. දියණිය කොතලාවල සරසවියේ අධ්‍යාපන හදාරා අද වන විට විවාහකය. පුතු වෙනුර චීන සරසවියක තවමත් උසස් අධ්‍යාපනය හදාරයි.
මවුපියන්ට තම පුතු, තම ස්වාමියාද, තම ආදරණීය තාත්තා රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන්, මොනතරම් සේවයක් කැපවීමක් කර තිබේ දැයි පසක් වන්නට තවත් අටුවාටිකා අවශ්‍ය නැත. නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ හිතාදර මිතුරාගෙන් අපත් රටත් බලාපොරොත්තු වන්නේ කළ ජාතික මෙහෙවර තව තවත් හොඳින් ඉදිරියටම කරගෙන යෑම පමණක්මය.
ෂර්ලි අනිල් ද සිල්වා / www.mawbima.lk
from රට තොට – Colombo Tribune https://ift.tt/353M80y
tribune

0 Comments