- නස්මියා විලා නිවෙසෙන් 20 රෑ බඩු තොගයක් පටවාගෙන කල්මුණේට ගියා
- නිවෙස කුලියට දී මාසයකට පසුව කෝල් කළත් ආන්සර් කළේ නෑ
- නිවෙස කුලියට ගත්තේ පාවහන් බිස්නස් කරන්න කියලා
පාස්කු ප්‍රහාරයේ ස්වයංඝාතක බෝම්බකරුවන් කොළඹ රැඳී සිටි ස්ථානත්, කොළඹ කිංග්ස්බරි හෝටලයේ බෝම්බය පුපුරුවා ගත් බෝම්බකරු වූ මොහොමඩ් මුබාරක් සහ කටුවාපිටිය බෝම්බ ප්‍රහාරය සිදු කළ හස්තූන් ප්‍රහාරයට පෙර කොළඹ හා ඒ අවට සැරි සැරූ ආකාරයත් පාස්කු ප්‍රහාරය සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පසුගියදා (27) අනාවරණය විය.
ස්වයංඝාතකයන් කිංග්ස්බරි හෝටලයට පැමිණි ආකාරයත්, කටුවාපිටිය දේවස්ථානයට ගිය ආකාරයත්, ඔවුන් වෙනත් ස්ථානවලට ගමන් කළ ආකාරයත් දැක්වෙන සී. සී. ටී. වී. දර්ශන රැසක් කොමිසම හමුවේ ඉදිරිපත් කෙරිණි.
පාණදුර නස්මියා විලා ආරක්‍ෂිත නිවෙසට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනය සිදු කළ වාණිජ විමර්ශන ස්ථානාධිපතිනිය පසුගිය 27 වැනිදා පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමසීමට කොමිෂන් සභාව වෙත කැඳවනු ලැබූ අතර විමර්ශනය සිදු කළ නිලධාරිනිය ලෙස ඒ මහත්මිය විසින් එම ස්ථාන හඳුනාගනු ලැබීය.
අංක 61/2, නස්මියා විලා, පරත්ත පාර, පාණදුර ලිපිනය ආරක්‍ෂිත නිවෙස සම්බන්ධයෙන් බෝම්බ පිපිරීමෙන් පසු තොරතුරු අනාවරණය කරගෙන තිබූ අතර පසුව එදින සිටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ නියමය මත එම ස්ථානාධිපතිනිය ඇතුළු කණ්ඩායම විමර්ශන ආරම්භ කළ බවත්, එම ස්ථානයට අදාළව ජායාරූප කොමිසම විසින් ඇයට පෙන්වීමෙන් අනතුරුව තමන්ට ඒවා හඳුනාගැනීමට හැකි බවත් ඒ මහත්මිය කොමිසම හමුවේ කියා සිටියාය.
මේ පිළිබඳව වැඩිදුරටත් සාක්ෂි දෙමින් ඇය මෙසේ ද කීවාය.
'ප්‍රහාරය සිදු වූ අප්‍රේල් මස 21 වැනි දින පස්වරු 4.45ත් 5.00ත් අතර කාලයේ මේ විමර්ශන කණ්ඩායම නස්මියා විලා ලෙස හැඳින්වූ එම නිවෙස පිහිටි ස්ථානය වෙත ගොස් තිබුණා. ඒ වන විටත් විශේෂ කාර්ය බළකාය යොදවා එහි ආරක්ෂාව දැඩි කර තිබුණා. එම නිවෙස ආශ්‍රිතව විමර්ශන ආරම්භ කර තිබෙන්නේ පසුදා. එනම් 22 වැනිදා. එතෙක් 21 වැනිදා පස්වරුවේ මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම විසින් ආසන්නයේ පිහිටි නිවෙස්වලින් ප්‍රකාශ සටහන් කරගැනීම සිදු කළා.
ඒ වන විට කොළඹ කිංග්ස්බරි හෝටලයේ බෝම්බය පුපුරුවා ගත් ස්වයංඝාතක බෝම්බකරු වූ මොහොමඩ් මුබාරක් හෝටලයට පැමිණි මෝටර් රථය (WP CBD 8510) විමර්ශන කණ්ඩායම හඳුනාගෙන තිබිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත මා සහ මගේ කණ්ඩායම පාණදුර ඊබ්‍රහිම් මාවතේ පදිංචිකාරියක වූ මෝටර් රථයේ ලියාපදිංචිකාරිය වූ ෆාතිමා නස්මියා සොයා ගියා. ඇයගෙන් ඊට අදාළව ප්‍රකාශ සටහන් කර ගත්තා. පසුව එම කාන්තාව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රැගෙන ගියා.
අප්‍රේල් මස 22 වැනිදා යළි නස්මියා විලා ආරක්‍ෂිත නිවෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායම රස පරීක්ෂකවරයාගේ උපදෙස් මත සිද්ධිය සිදු වූ ස්ථානය විනාශ නොවන ලෙස විමර්ශන ආරම්භ කළා.
එම ස්ථානයේ තිබී කීල්ස් ආයතනයට අයත් බිල්පතක්, රෙදි මිලදී ගත් බවට වූ බිල්පතක්, රෙදි ටැග්ස්, මීගමුව රථවාහන ගාලක බිල්පතක්, බයිසිකල් බෝල අඩංගු පෙට්ටියක්, රසායනික ද්‍රව්‍යයක් අඩංගු බවට දැක්වෙන බූලියක්, සහතික පත්‍ර, ඩෙකැත්ලන් ආයතනයේ බඩු මිලදී ගත් බවට බිලපතක්, සෙෙරප්පු, රේසර් ඇතුළු නඩු භාණ්ඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත්තා. ඇඟිලි සලකුණු 20ක පමණ විස්තර ද ගත්තා. ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු ආරම්භ කළා.
ඒ අනුව අප්‍රේල් 10 වැනිදා පරණ ගාලු පාර, ගොරකාන, පාණදුර පිහිටි කීල්ස් ආයතනයට ස්වයංඝාතකයන් වූ කටුවාපිටිය දේවස්ථානයේ බෝම්බය පුපුරුවා ගත් මොහොමදු හස්තූන් නැමැත්තා සහ කිංග්ස්බරි හෝටලයේ බෝම්බය පුපුරුවා ගත් මොහොමඩ් මුබාරක් නමැත්තා පස්වරු 08 .16ට පමණ ගොස් තිබෙන බව එහි සී. සී. ටී. වී. දර්ශනවලින් තහවුරු කර ගත්තා.'
(මේ අවස්ථාවේ කොමිසම විසින් කටුවාපිටිය දේවස්ථානයේ ස්වයංඝාතක මොහොමදු හස්තූන් කීල්ස් ආයතනයට ඇතුළු වු අවස්ථාවේ සී. සී. ටී. වී. දර්ශනයක් සාක්ෂිකාරිය වෙත පෙන්වනු ලැබීය.)
එහිදී ඇය මෙසේ සාක්ෂි ලබා දුන්නාය.
'එය කටුවාපිටිය දේවස්ථානයේ ස්වයංඝාතක මොහොමදු හස්තූන් සහ කොළඹ කිංග්ස්බරි හෝටලයේ ස්වයංඝාතක මොහොමඩ් මුබාරක් ඡායාරූපයේ වම්පස මුදල් අයකැමි ඉදිරියේ සිටින සී. සී. ටී. වී. දර්ශනයක් බවයි.
මෙහිදී ස්වයංඝාතක බෝම්බරුවා වන මොහොමඩ් මුබාරක් විසින් ක්‍රීඩා භාණ්ඩ සහ ක්‍රීඩාවට අදාළ උපකරණ අලෙවි කරන අන්තර්ජාතික මට්ටමේ ව්‍යාපාරයක් වන ඩෙකැත්ලන් ආයතනයේ බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටා තිබෙන ශාඛාවෙන් බැක් පැක් 09ක්, හිස් වැසුම්, කලිසම් සහ කමිස විසින් මිලදී ගෙන ඇති බවට තහවුරුවී තිබෙනවා. ඔහු එම ඩෙකැත්ලන් ආයතනයේ ලෝයල්ටි කස්ටමර් කෙනෙක් ලෙස හඳුනා ගත්තා. එලෙස මිලදී ගත් භාණ්ඩවල වටිනාකම රුපියල් 76,650ක් වෙනවා. ඒවා මිලදී ගැනීම සිදු කර තිබෙන්නේ අප්‍රේල් මස 11 වැනිදා.
මේ අතර එම නස්මියා විලා නිවෙසේ සිට 20 වැනිදා රාත්‍රියේ බඩු තොගයක් පටවාගෙන කල්මුණේට ගොස් තිබු ලොරි රථය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. එම රියැදුරු සමඟ 26 වැනිදා මේ විමර්ශන කණ්ඩායම රියැදුරුගේ මඟ පෙන්වීමෙන් අප්‍රේල් මස 26 වැනිදා එම ස්ථානය බලා ගොස් තිබෙනවා. ඔවුන් යන අතරතුර මින්නේරිය ප්‍රදේශයේදී සෛන්දමර්දු පිපිරීම ගැන තොරතුරු දැනගෙන තිබෙනවා. ලොරි රථයේ රියැදුරුගේ කරුණු අනුව ඔවුන් යමින් සිටි ස්ථානයේ එම පිපිරීම සිදුව ඇති බවට තහවුරු වී තිබෙනවා.
එම ලොරි රථය සම්බන්ධයෙන් අනාවරණය වූ පසු අවශ්‍යතාව තිබුණේ තවත් පිපිරීමේ ඉඩක් පැවති හෙයින් එය වළක්වාගැනීමට කඩිනමින් ක්‍රියාත්මකවීමේ වුවමනාවයි. ඒ අනුව අදාළ රියැදුරු ද සමඟ එම ස්ථානය කරා පිටත් වූණා.
මේ වන විටත් ජනාධිපති කොමිසම හමුවේ ඉදිරිපත් ව ඇති සාක්ෂිවලින් තහවුරුවී තිබෙන්නේ එලෙස සෛන්දමර්දු වෙත රැගෙන ආ භාණ්ඩ අතර බෝම්බ සෑදීමට යොදා ගන්නා අමුද්‍රව්‍ය තිබූ නිසා දෙවැනි ප්‍රහාරයකට යොදා ගැනීමට එම ද්‍රව්‍ය යොදා ගෙන ඇති බවයි. ඒ අනුව පසුව එම ස්ථානීය පරීක්ෂාව සිදු කර තිබෙනවා. එම ස්ථානයේ තිබී ඩෙකැත්ලන් ආයතනයට අයත් බිල්පතක් මේ විමර්ශන කණ්ඩායම සොයා ගෙන තිබෙනවා.
එමෙන්ම තවත් ඉරුණු තෙත සහිත බිල්පතක් සොයා ගෙන තිබෙනවා. එය කොළඹ 14 ප්‍රදේශයේ පිහිටි අල් හරමෙයින් ආයතනයට අයත් බිල්පතක්. එම බිල්පත ඔස්සේ ද විමර්ශන සිදු කර තිබෙනවා. එම වෙළෙඳසල මුස්ලිම් ජාතිකයන්ට අයත් බඩු බාහිරාදිය තිබෙන වෙළෙඳසලක්. මේ ස්වයංඝාතකයන් මේ වෙළෙඳසලෙන් රූමල් අම්ජාඩ් නමැති මුස්ලිම් ජාතික පිරිමි පුද්ගලයන් භාවිත කරන ෂෝල් 08ක් මිලදී ගෙන තිබෙනවා.
(එහි සාම්පලයක් සාක්ෂි ලබාදීමට පැමිණි උප පොලිස් පරීක්ෂකවරිය කොමිසම හමුවට ඉදිරිපත් කළ අතර එය ස්වයංඝාතකයන් ප්‍රහාරයට පෙර සහරාන් හෂීම් ඇතුළු ස්වයංඝාතකයන් දිවුරුමක් දෙන වීඩියෝවක් හඳුනාගැනීමට කොමිසම හමුවේ පෙන්වා සිටියේය.)
එම වීඩියෝවේ දැක්වෙන පරිදි 21 වැනිදා ප්‍රහාරයේ ස්වයංඝාතකයන් විසින් එම රූමල් අම්ජාඩ් නමැති ෂෝලවලින් හිස සහ මුහුණ ආවරණය කරගෙන සිටියා. එම රූමල් අම්ජාඩ් නමැති අයිතම මිලදී ගෙන තිබෙන්නේ ප්‍රහාරයට පෙර අප්‍රේල් මස 18 වැනිදායි.'
මේ අතර කිංස්බරි බෝම්බකරු මුබාරක් සහ කටුවාපිටිය බෝම්බකරු වන හස්තූන් ඇතුළු පිරිසකට නිවෙස කුලියට ලබා දුන් පාණදුර, පරත්ත පාර, නස්මියා විලා නිවෙසේ අයිතිකරු වන ඒ. එස්. එම්. ඉල්හාම් මහතා කොමිසමට කැඳවා තිබූ අතර ඔහු මෙලෙස සාක්ෂි ලබා දුන්නේය.
නීතිඥවරයා:
ඔබේ නිවෙස කුලියට දෙන්න දැන්වීමක් දැම්මා ද?
සාක්ෂිකරු:
ඔව් ස්වාමීනි, පාණදුර, පරත්ත පාර, සරික්කාමුල්ල නිවෙස කුලියට දෙන්න වෙළෙඳ දැන්වීමක් දැම්මා.
නීතිඥවරයා:
කොතරම් මුදලකට ද කුලියට දුන්නේ?
සාක්ෂිකරු:
රුපියල් පනස්දහසක මුදලකට කුලියට දෙන බවට වෙළෙඳ දැන්වීමක් දැම්මා.
නීතිඥවරයා:
මේ වෙළෙඳ දැන්වීමට කතා කළේ කවුද?
සාක්ෂිකරු:
කවුද කියලා කිවුවේ නෑ. නංගිට කිවුවා කතා කළාම ගේ පෙන්වන්න කියලා.
නීතිඥවරයා:
නිවෙස බැලුවේ කවදා ද?
සාක්ෂිකරු:
කෝල් එකක් දී දින දෙකකින් නිවෙස බලන්න ආවා. පාවහන් බිස්නස් එකක් කරන්න යන්නේ කියලා කිවුවා. පාවහන් ගෙනත් කඩවල්වලට බෙදනවා. ඒක කරන්නේ මස්සිනායි, මමයි කියලත් කිවුවා. ගෙදර ඉන්නේ මස්සිනයි, මමයි, බිරියයි, ළමයි තුන්දෙනයි කියලත් කිවුවා. නිවෙස රුපියල් 40,000කට දෙන්න පුළුවන් ද කියලා ඇහුවා. මම ළමයින්ගෙනුත් අහලා 40,000කට දෙන්න එකඟ වුණා.
නීතිඥවරයා:
කවදාද ගෙදර දුන්නේ?
සාක්ෂිකරු:
2019. 02. 08 වැනිදා. ඇග්‍රිමන්ට් එකක් ගාමිණී කියලා නීතිඥ මහත්තයෙක් අස්සන් කර පසුව ගේ දුන්නා. සාක්ෂියට අස්සන් කළේ මගේ බිරිය.
(කොමිසම විසින් පානදුර ඔහුට අයත් නිවෙස බෝම්බකරුවන්ට බදුදීමට අදාළ ගිවිසුම සාක්ෂිකරුට පෙන්වයි. එය ඔහු විසින් අස්සන් කළ බවට හඳුනා ගනී.)
නීතිඥවරයා:
මේ ගිවිසුමට අස්සන් කළේ කවුද?
සාක්ෂිකරු:
මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක්, 138, කොළඹ 12 ඔහුගේ ලිපිනය. ඔහුගේ හැඳුනුම්පත් අංකය 873340323 V
නීතිඥවරයා:
මේ නිවෙස කවදා වනතුරුද බදු දුන්නේ?
සාක්ෂිකරු:
2019. 02. 13 සිට 2020. 02. 12 දක්වා.
නීතිඥවරයා:
බදු ගැනුම්කරු කවුද?
සාක්ෂිකරු:
මුබාරක්. සාක්ෂියට මගේ බිරිඳත්, රිෆ්කාන් කියන අයත් අස්සන් කළා.
නීතිඥවරයා:
මුබාරක්ගේ අස්සන තිබෙන්නේ කොහේ ද?
සාක්ෂිකරු:
මගේ අස්සනට පහළින්.
නීතිඥවරයා:
නිවෙසේ කාමර කීයක් තිබෙනවා ද?
සාක්ෂිකරු:
කාමර 5ක් තිබෙනවා. කාර් පාර්ක් එකක් තිබෙනවා.
නීතිඥවරයා:
යතුර බාරදී ඔබ මොනවා ද කීවේ?
සාක්ෂිකරු:
ගේ හොඳට තියා ගන්න කියලා කිවුවා. එහෙම වුණොත් තමයි ඊළඟ අවුරුද්දේ දෙන්නේ කියලත් කිවුවා. එහෙම කියලා මම වැලිගම ගෙදරට ගියා.
නීතිඥවරයා:
බදු ගන්න කතා කළ අයම ද ගේ ගත්තේ?
සාක්ෂිකරු:
එහෙම කියන්න බෑ. මගේ මහගෙදර මගේ ගෙට පිටුපසින් තිබෙන්නේ. අම්මලා, අයියලා එහෙ ඉන්නවා. මා එහෙට ගිහින් ඒ අය බලලා වැලිගම ගියා.
නීතිඥවරයා:
බදු දුන් පසු නිවෙස ගැන සොයා බැලුවේ නැද්ද?
සාක්ෂිකරු:
මාසෙකට පසුව මම කෝල් කළා. දෙපාරක් ගත්තා. එයා ආන්සර් කළේ නෑ.
නීතිඥවරයා:
ඔබ එයා කියලා කිවුවේ කාට ද?
සාක්ෂිකරු:
මම ඉස්සෙල්ලාම කතා කළ කෙනා. මට ගේ ගන්න කෝල් එක ආ කෙනාගේ නොම්බරය ඩයිරියේ ලිවුවා. ඒක දාපු තැන හොයා ගන්න බැරුව මා නිවෙසට ගියා. මම වෙළෙඳාමක් කරනවා. ඒ වැඩවලට ගිය අතරේ මා නිවෙසට ගියේ. රිෆ්කාන් කියන කෙනා නිවෙස ඇතුළේ සිට ආගම කියනවා නිවෙසේ වීදුරුවෙන් දැක්කා. එයා එක පාරටම ඇවිත් ඇහුවා ඇයි ආවේ කියලා. මම නිකං ආවේ කියලා කිවුවා. මම ඇහුවා, කෝල් කළාම ඇයි කතා කළේ නැත්තේ කියලා. එතකොට එයා කිවුවා, කෝල් ආවේ නෑ කියලා. මම මුබාරක් කෝ කියලා ඇහුවා. මුබාරක් රෑට එන්නේ කියලා එයා කිවුවා.
නීතිඥවරයා:
ඔබ ගියේ කවදා ද?
සාක්ෂිකරු:
නිවෙස බදු දී මාසෙකට විතර පස්සේ ගියේ.
නීතිඥවරයා:
ගේ ඇතුළේ භාණ්ඩ තිබෙනවා දුටුවා ද?
සාක්ෂිකරු:
මම ගේ ඇතුළට ගියේ නෑ. එයා ජනේලයෙන් කතා කළා. මට ඇතුළට එන්න කිවුවේ නෑ. මට කෝච්චිය පරක්කු වෙන නිසා ආවා. මම ආපු බව මුබාරක්ට කියන්න කියලා කිවුවා.
නීතිඥවරයා:
ඔබ නැවතත් ගියා ද?
සාක්ෂිකරු:
නැවතත් සති දෙකකින් විතර ගියා. වෙළෙඳාම් කටයුතුවලට ගිය අතරයි ගියේ. මගේ ඉනිමඟ ඒ අවට කෙනකුට දී තිබුණා. මුලින් ගිය පාර ඒක ලැබුණේ නෑ. ඒ නිසා තමයි ගියේ. දොර වහලයි තිබුණේ. ගේට්ටුව ඇරලා තිබුණා. ඔහු තොප්පියක් දාගෙන සැටියේ හාන්සි වෙලා සිටියා.
නීතිඥවරයා:
මුබාරක් සිටියා ද?
සාක්ෂිකරු:
සිටියේ නෑ.
නීතිඥවරයා:
දෙවන වර යනකොට තවත් අය ඉන්න බවට නිරීක්ෂණය වුණා ද?
සාක්ෂිකරු:
නෑ. මම ඇහුවා ඉණිමඟ දුන්නා ද කියලා. නෑ කිවුවා. මම ඉණිමඟ ගෙනත් කාටවත් දෙන්න එපා ඇතුළෙන් තියන්න කියලා ආවා. අනික් අය නැත්තේ කොළඹ ගෙදර කුලිය ඉවර නෑ කියලා කිවුවා. බඩු අදින්න වෙලාවක් නෑ කියලත් කිවුවා. ගොඩක් අය ගෙවල් අරගෙන කුඩු විකුණන නිසා එහෙම කරනවා ද කියලා බලන්නත් එක්කයි මම ගියේ.
නීතිඥවරයා:
මේ නිවෙස බදු දෙනකොට ගෘහ භාණ්ඩ සමඟ ද දුන්නේ?
සාක්ෂිකරු:
කවිච්චිය, සැටිය ගේ ඇතුළේ තිබුණා. අනිත් බඩු ඉස්සරහ කාමරයට දාලා ලොක් කළා.
නීතිඥවරයා:
ඔවුන් භාණ්ඩ ගෙනත් තිබුණා ද?
සාක්ෂිකරු:
නෑ.
නීතිඥවරයා:
21 වැනිදා පාස්කු ප්‍රහාරය ගැන ආරංචි වුණා ද?
සාක්ෂිකරු:
මම එදා සරික්කාමුල්ල පල්ලියේ දානයක් දෙන ගමන් සිටියේ. ප්‍රහාරය වුණාට පසුව අපිත් ඒ ගැන කතා කර කර සිටියා. සරික්කාමුල්ල ළමයෙක් ඇවිත් ඉල්හාම් ගේ කුලියට දෙනවා ද කියලා ඇහුවා. කුලියට දී තිබෙන බව මා කිවුවා. ඒ අය ගියානේ කියලා කිවුවා. තවත් පැය භාගයකින් විතර මගේ ගේ වට කරලා පොලිසියෙන් ඉන්නවා කියලා මටත් දුවන්න කියලා කට්ටිය කිවුවා. හැංඟෙන්න කියලත් කිවුවා. මම එහෙම කළේ නෑ. මා නිවෙසට ගියා.
නීතිඥවරයා:
ඔබ නිවෙසට යන විට වේලාව කීයට විතර ඇති ද?
සාක්ෂිකරු:
සවස 5.30ට විතර ඇති. සෙනඟ විශාල වශයෙන් පිරිලා සිටියා. මම ගියා. මම අයිතිකරු කියලා කිවුවා. මාස 3ක් ගේ දීලා කියලා කිවුවා. ලෝයර් කොහෙද ඉන්න කියලා පොලිසිය ඇහුවා. මම ඔහු ළඟට එක්කගෙන ගියා. ඔහු කිවුවා මේ අය එහෙම කරන අය නොවෙයි, හොඳ අය කියලා. ඔහු අපේ පවුලේ නීතිඥවරයා කියලත් කිවුවා.
නීතිඥවරයා:
ගේ වට කරන්න හේතුව මොකක් කියලා ද කිවුවේ?
සාක්ෂිකරු:
විශාල සෙනඟක් සිටියා. ගමේ මිනිස්සු සේරම බලා සිටියා. යතුර තාප්පය යට තියලා ගිහින් කියලා කිවුවා.
නීතිඥවරයා:
ඊට පසුව මොනවා ද දැන ගත්තේ?
සාක්ෂිකරු:
හමුදාවෙන් ආවට පසුවයි දැන ගත්තේ.
(කොමිසම ඔහුට අයත් නිවෙසේ ඡායාරූපයක් පෙන්වයි. ඔහු එය තමාගේ නිවෙස බව හඳුනා ගනී.)
නීතිඥවරයා:
මේ ගේ කොහේද තිබෙන්නේ?
සාක්ෂිකරු:
පාණදුර, කෙසෙල්වත්තේ, 61/2, පරත්තර පාර, නස්මියා විලා මගේ නිවෙස.
නීතිඥවරයා:
නිවෙසට අත්තිකාරම් මුදල් දුන්නා ද?
සාක්ෂිකරු:
නෑ. නිවෙසේ මාසික ගාස්තුව 40,000යි. එක්වරම අවුරුද්දක මුදල වන 4,80,000ක් දුන්නා.
කොමිසමේ සභාපති විනිසුරුවරයා සාක්ෂිකරු මුදා හරී. වැලිගම සිට පැමිණි බැවින් ඔහුට හිමි දීමනාව ලබා දෙන ලෙස නියම කරයි.
දිසානායක මුදියන්සේලාගේ මාලිනී කුමාරි දිසානායක, ප්‍රධාන පොලිස් පරීක්ෂක, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අංක 3 ස්ථානාධිපතිනී සාක්ෂියට කැඳවයි.
නීතිඥවරයා:
ඔබ සේවයට බැඳුණේ කවදා ද?
සාක්ෂිකාරිය:
1994. 02. 04
නීතිඥවරයා:
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ වෙන්නේ කවදා ද?
සාක්ෂිකාරිය:
1998දී. 2006 වසරේ උසස්වීමක් ලැබෙනවා. 2018දී ස්ථානාධිපති ලෙස පත් වෙනවා. 2019 ප්‍රධාන පොලිස් පරීක්ෂක ලෙස උසස්වීම් ලැබෙනවා.
නීතිඥවරයා:
තමන් විමර්ශනවලට සම්බන්ධ වුණා ද?
සාක්ෂිකාරිය:
ව්‍යාජ ඔප්පු සකස් කිරීම, දේපොළ විකිණීම්වලට අදාළ විමර්ශන කරනවා.
නීතිඥවරයා:
ඔබ 2019. 04. 21 සේවය කළේ කොහේ ද?
සාක්ෂිකාරිය:
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ.
නීතිඥවරයා:
පාස්කු ප්‍රහාරය ගැන දැන ගත්තා ද?
සාක්ෂිකාරිය:
9.30ට පමණ ජනමාධ්‍ය ඔස්සේ දැන ගත්තා. කිංග්ස්බරි හෝටලයට ප්‍රහාරයට අදාළ රථයක් පැමිණ ඇති බවත්, එහි විමර්ශනය සිදු කරන ලෙසත්, උසස් නිලධාරීන් භාර දුන්නා. ඒ රථයේ අයිතිකරු ෆාතිමා නස්ලා.

0 Comments