මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ වයිරස් ව්‍යාප්තිය හේතුවෙන් මනුෂ්‍ය ජීවිතයට සිදුව ඇති අන්තරාදායක තත්ත්වය සම්බන්ධයෙන් සිදු කෙරෙන අපරාධ විමර්ශනයට ඉහළ ප්‍රමුඛතාවක් දෙමින් පොලීසියේ විවිධ කොට්ඨාසවලින් ජ්‍යෙෂ්ඨ දක්ෂ සහ පළපුරුදු නිලධාරීන්ගෙන් සමන්විත ඉහළ මට්ටමේ විමර්ශන කණ්ඩායමක් තෝරාගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට ඊයේ (29) උපදෙස් දුන්නේය.
නීතිපතිවරයා පසුගිය 27 වැනිදා ලබාදුන් උපසදස් මත වැඩබලන පොලිස්පතිවරයා විසින් මෙහි විමර්ශන කටයුත්ත කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදී තිබුණ ද එම කොට්ඨාසයේ නිලධාරීන් කිහිපදෙනෙකුටම කොවිඩ් වෛරසය වැළදී ඇති බවට නීතිපතිවරයා වෙත වාර්තා වීමෙන් පසු වැඩබලන පොලිස්පතිවරයාට මෙම උපදෙස් ලබාදීම සිදු කළ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධරිණී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවාය.
වැඩබලන පොලිස්පතිවරයාගේ එම උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා විසින් මෙම සිද්ධිය විමර්ශනයට සහකාර පොලිස් අධිකාරිවරයකුගෙන් යුත් විමර්ශන කණ්ඩායමක් පත්කර ඇති බවට නීතිපතිවරයා වෙත දැනගැනීමට ලැබී ඇති බවද රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය වැඩිදුරටත් පැවසුවාය. ඒ අතර පසුගිය 26 වැනිදා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කිහිපදෙනෙකුටම කොවිඩ් රෝගය වැළදී ඇති බව නීතිපතිවරයා වෙත වාර්තා වූ බව පැවසූ රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය එවැනි තත්ත්වයක් තිබියදී පසුගිය 28 වැනිදා වැඩබලන පොලිස්පතිවරයා විසින් මෙහි විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාස වෙත භාරදී ඇති බවට නීතිපතිවරයාට වාර්තා වූ බවද පැවසුවාය.
මෙවැනි තත්ත්වයක් මත සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කිරීමට අපහසු බවද කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට දැනුම්දීමක් සිදු කර ඇති බවට ද නීතිපතිවරයාට වාර්තා වී ඇතැයි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවාය.
එම සියලුම කරුණු සැලකිල්ලට ගෙන නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට මෙම උපදෙස් ඊයේ (29) ලබාදීමසිදු කළ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධරිණිය පැවසුවාය.

0 Comments