මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ 12 වන ආඥාපති ලෙස මේජර් ජෙනරල් කුමාර ජයපතිරණ මහතා ඉකුත් සඳුදා (26) ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව පැවැති උත්සවයකදී රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.
මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානය වෙත සපැමිණි නව ආඥාපතිතුමන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ප්‍රධාන දොරටුව අභියසදී 18 වන ගැමුණු හේවා බළඇණියේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනැමිණි. ඉන් අනතුරුව, මහා සංඝරත්නයේ සෙත්පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ සිය කාර්යාලයේදී නිල ලේඛණයකට අත්සන් තබමින් නව ආඥාපතිතුමන් එම ධුරයේ රාජකාරී කටයුතු භාරගත්තාය. පසුව, නව ආඥාපතිතුමන් මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළේය.
මෙම අවස්ථාවට සමගාමීව පැවැති සියලුනිල තේපැන් සංග්‍රහයකට එක්වූ නව ආඥපතිතුමන් පසුව එම සේනාංකයේ භටපිරිස් ඇමතුවේය. මෙම අවස්ථාව සඳහා සේනාංකාධිපතිවරුන්, පුහුණු පාසැල් සේනාවිධායකවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ.

0 Comments