මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායනික සහ පරිපාලන ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා මුල්ගල් තැබීම සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සහ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරුණි.
ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලය මේ වන විට පීඨ 08 කින් සමන්විත වන අතර වර්තමානයේ සිසුන් 4500 කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපනය හදාරයි. අලුතින් පිහිටුවන ලද වෛද්‍ය පීඨයට 2019 ජනවාරි මාසයේ දී සිසුන් 70 ක් ඇතුළත් කර ගෙන ඇත. මේ වසරේ නොවැම්බර් මාසයේ දී සිසුන් 100 ක් බඳවා ගැනීමට අපේක්ෂා කරයි.
ඉහත උත්සව අවස්ථාවට එක්වෙමින් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය -
“රත්නපුර රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් වෙමින් දිස්ත්‍රික්කයට වෛද්‍ය විද්‍යාලයක් ලැබීම මා ඇතුලු රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව ලද භාග්‍යයක්. මෙම කාල වකවානුව සෞඛ්‍ය අමාත්‍යාංශයත් අධ්‍යාපන අමාත්‍යාංශයත් ඉතා කිට්ටුවෙන් වැඩ කළ යුතු කාලයක්. අපේ රටට වෛද්‍යවරුන්ගේ, විශේෂඥ වෛද්‍යවරුන්ගේ, විශේෂඥ අංශවල විශාල හිඟයක් තිබෙනවා. ලෝකය දියුණූවීමත් සමග අළුතින් විශේෂඥ අංශ ඇති විය යුතුයි. ලංකාවේ විශාල රෝහල් ගණනාවක් මහ රෝහල් බවටත්, මූලික රෝහල් බවටත් පරිවර්ථනය වෙමින් පවතිනවා. මෙම වැඩිදියුණුවීම සමග අපට වෛද්‍යවරුන් අවශ්‍ය වෙනවා. සෑම දෙයක්ම නිවැරදිව කළ යුතුයි, විය යුතුයි කියලා තීන්දු කරන රජයක වෛද්‍යවරු ඇතුලු විශේෂඥ අංශවල දියුණුයත් සමග විශේෂඥ අංශ ඇතුලු වෛද්‍යවරුන්ගේ හිඟය යම් මට්මකට සපුරාලන්නට සබරගමුව විශ්ව විද්‍යාලයට පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා.”
මෙම වෛද්‍ය පීඨය පුළුල් කිරීමේ අරමුණින් සහ පහසුකම් වැඩිදියුණු කිරීමට රජය විසින් මෙම සායනික සහ පරිපාලන ගොඩනැගිල්ල ඉදිකිරීමට තීරණය කර ඇති අතර, ඒ සඳහා රුපියල් මිලියන 1014 (එක් දහස් දහ හතරක්) ආයෝජනය කිරීමට නියමිතය. ඒ අනුව මෙම ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලදී. පළමු අදියර යටතේ ඉදිකරන මෙම ගොඩනැගිලි සංකීර්ණය වසර එකහමාරක් වැනි කෙටි කාලයක් තුල නිම කිරීමට සැළසුම් කර ඇත.
පරිපුරක සායනික ගොඩනැගිල්ල තුල ව්‍යාධිවේද, පරපෝෂවේද, ක්ෂුද්‍ර ජීව විද්‍යා, අධිකරණ වෛද්‍ය විද්‍යා, භිෂග්වේදය, පවුල් වෛද්‍ය විද්‍යා, ප්‍රජා වෛද්‍ය විද්‍යා වශයෙන් නව අධ්‍යනාංශ 07 ක් ස්ථාපිත කිරීමට ද නියමිතය. එමෙන්ම ඉදිරි වසර කිහිපය තුළ මහාචාර්ය සහ සායනික ඒකකයක්, පහසුකම් සහිත පුස්තකාලයක්, කාර්ය මණ්ඩල නවාතැන් සහ තවත් බොහෝ පහසුකම් වැඩිදියුණු කිරීමට ද නියමිතය. ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 50 ක් සෞදි සංවර්ධන අරමුදල මගින් ලබාදීමට නියමිතය. මෙම වෛද්‍ය පීඨය හරිත සංකල්පයට අනුකූලව ඉදිකෙරෙන අතර පරිසර හිතකාමී අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියකින් ද යුක්තය.
මෙම අවස්ථාවට සබරගමුව විශ්ව විද්‍යාලයේ වැඩබලන කුලපති මහාචාර්ය ඩබ්.කේ අතුල සී. ඥානපාල මහතා, විශ්ව විද්‍යාල කොමිසන් සභාවේ සභාපති ඡ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, සබගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා, සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිනී මහාචාර්ය එම්.එන් වික්‍රමරත්න මහත්මිය, සබරගමුව වෛද්‍ය පීඨයේ උපදේශක මහාචාර්ය සරත් ඩී. ළමාබදුසූරිය, කොළඹ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වජිර දිසානායක ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

0 Comments