ශ්‍රී ලංකාවේ නව වන පාර්ලිමේන්තුව ඉකුත් බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 ට රැස්විය. සාම්ප්‍රදායානුකූලව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් දෛනික වැඩ සටහන ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව නවවන පාර්ලිමේන්තුවේ නව කථානායක ධුරයට මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධනයන් ගේ නම යෝජනා කරන ලද්දේ මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන විසිනි. මෙවර කතානායකවරයාට පක්ෂ විපක්ෂ සියලු දෙනා ගේ ප්‍රසාදය ඇති බව අඟවමින් දිනේෂ්ගේ යෝජනාව ස්ථීර කරනු ලැබුවේ සමඟි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාරයන්ය. පාර්ලිමේන්තු සම්ප්රදාය අනුව කථානායකවරයා සඳහා මන්ත්‍රීවරයකුගේ නමක් යෝජනා කරන අය ඔහු පිළිබඳ හැදින්වීම කළ යුතු වුවද මෙවර ඒ කටයුත්ත සිදු වූයේ කථානායකවරයා ලෙස මහින්ද යාපා අබේවර්ධන කථානායක අසුනේ අසුන් ගැනීමෙන් අනතුරුව අගමැති මහින්ද රාජපක්ෂයන් විසිනි.
මෙදින උදය වරුවේ පාර්ලිමේන්තුවේ අසුන් පැනවීමක් සිදුව නොතිබු බැවින් මන්ත්‍රීවරුන්ට තමන් කැමති තැන්වල අසුන් ගැනීමට අවස්ථාව තිබුණි. අගමැති මහින්ද රාජපක්ෂයන් සමඟ දිනේෂ් හා ජෝන්ස්ටන් ප්‍රනාන්දු අසුන් ගෙන සිටි අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අතාවුල්ලා ඩලස් අලහප්පෙරුම හා පිල්ලෙයාන් ඉදිරිපෙළ අසුන් ගෙන සිටිනු දක්නට ලැබුණි. ආණ්ඩු පක්ෂය සඳහා වෙන් කර තිබු කථානායකවරයා ගේ දකුණු පස කොටසේ ආසන 120ක් තිබුණද මෙවර ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රී සංඛ්‍යාව 152 ක් වූයෙන් කථානායකවරයා ගේ වම්පසින් විපක්ෂයට වෙන්කර තිබු ආසනවලද ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් වාඩි වී සටිනු දක්නට ලැබුණි. විමල් වීරවංශ හා අමාත්‍ය මණ්ඩලයේ ළාබාලම අමාත්‍යවරයා වූ නාමල් රාජපක්ෂයන්ද අසුන් ගෙන සිටියේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහා වෙන් වු කොටසේය. සිනමා නළුවකු වන රංජන් රාමනායක මෙන්ම නිළියක වන ඩයනා ගමගේ විපක්ෂයේ එක ළඟ අසුන්වල අසුන් ගෙන සිටීමද විශේෂත්වයකි.
නවවන පාර්ලිමේන්තුවට පත්ව සිටින මන්ත්‍රීවරුන් ගෙන් බහුතරයක් නවකයන් නිසා ඔවුන්ට පාර්ලිමේන්තුව හුරුපුරුදු තැනක් නොවීය. නවක මන්ත්‍රීවරුන් එදින උදේ අටේ සිටම සිය බිරින්දෑවරු දෙමාපියන් හා නැදැ හිතවතුන් සමඟ මහජනයා සඳහා පාර්ලිමේන්තුවට ඇතුළු වීමේ අවසරපත් ලබා ගැනීම සඳහා තෙරෙපෙන අයුරු දක්නට ලැබුණි. මේ අතර කොට්ටේ නගරාධිපතිවරයාද මෙවර පාර්ලිමේන්තුවට ප්‍රථම වතාවට පත්ව කෝට්ටේ සිට පාර්ලිමේන්තුවට බෝට්ටුවකින් පැමිණීමද විශේෂත්වයකි. ඔහුට බෝට්ටුවකින් පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා ඉඩහසර සලසා දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට කෘතඥ වන බවද මුහුණු පොතේ සටහනක් තබා ප්‍රකාශ කර තිබුණි.
මෙදින ජනාධිපතිවරයා ගේ ප්‍රතිපත්ති කතාව පැවැත්වීමට නියමිතව තිබුණේ ප.ව.3.30ටය. එතෙක් පාර්ලිමේන්තුව කල්තැබු නිසා මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට මෙන්ම මාධ්‍යවේදීන්ටද එකිනෙකා සමඟ සුහදව කතා බහ කරන්නට ඉඩක් ලැබී තිබුණි. පාර්ලිමේන්තුව කල් තැබීමෙන් පසුව සභා ගැබෙන් පිටතට යමින් සිටි අගමැති මහින්ද රාජපක්ෂයන් වෙත ගිය නවකයන් මෙන්ම පැරන්නෝද දැත් එක්කොට හිස නමා ආචාර කරනු දක්නට ලැබුණි. ඒ අතර අභිනව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ගිය පාර්ලිමේන්තුවේ සභානායක දිනේෂ් ගුණවර්ධන ඔහුට අතට අත දී සුබ පැතීය.
සභානායක ලෙස පත් වු දිනේෂ් ගුණවර්ධන එදින උදේ සිය පාර්ලිමේන්තු කාර්යාලයට භික්ෂුන් වහන්සේ තුන්නමක් වැඩම කරවා ගෙන බෞද්ධාගමික වතාවත් සිදු කර පළමු රාජකාරිය ලෙස නවවන පාර්ලිමේන්තුවට පැමිණි අගමැති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ අමුත්තන් ගේ ප්‍රවේශ දොරටුව අබියසදී පිළි ගත්තේය.
රාජාසන කතාව පවත්වන වෙලාව එළඹෙන තෙක් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ තැනින් තැන සුහද කතාවල යෙදෙනු දක්නට ලැබුණි. කෙහෙළිය රඹුක්වැල්ල ජනමාධ්‍ය අමාත්‍යවරයා හා සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සුහදව කතා කරමින් මාධ්‍යවේදීන් සිටි දෙසට පැමිණෙමින් සිටියදී "මන්ත්‍රිතුමා ආයෙත් මේ පැත්තට එන්නද හදන්නේ" යනුවෙන් මාධ්‍යවේදියකු තිස්ස ගෙන් විමසද්දී "අනේ නෑ ආයෙත් ඉතින් මම කොහෙටවත් යන්නේ නෑ" තිස්ස සිනාවෙමින්ම උත්තර දුන්නේය.
විජේදාස රාජපක්ෂ, සුසිල් ප්‍රේම්ජයන්ත, හා අනුර යාපාට ඇමති තනතුරු නොලැබීම ගැන සමාජයේද කතා බහක් නිර්මාණය වී ඇත. අනුර හා සුසිල් පාර්ලිමේන්තු සමාරම්භ සැසියට සහභාගි වී වැඩිපුර කාලය ගත කළේද හුදකලාවය. "එකවර මෙරටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් බිමට සමතලා කරපු කෙනා ඒ ශාපයෙන්ම ඔය අසරණ වෙලා ඉන්නේ. එයාටත් ඔහොමම තමයි ඉන්න වෙන්නෙ." සුසිල් කීවේ වේදනාවෙන්ය. අපි දරදිය ඇද්දා; ආණ්ඩුව හැදුවා. ඒ ගැන අපිට සතුටක් තියෙනවා" සුසිල් හිඳ සිටි පුටුවෙන් නැගිටින ගමන් කීවේය.
ජනාධිපතිවරයාගේ රාජාසන කතාවෙන් පසුව පැවැති ටී පාටියේදී පක්ෂ විපක්ෂ බොහෝ දෙනෙකු විජේදාස රාජපක්ෂ වට කරගෙන සිටියේය. කබීර් හෂීම්, ජෝන්ස්ටන් ප්‍රනාන්දු ද ඒ අතර විය. "මට වැඩ කරන්නයි ඕන. එකට සුදුසු දෙයක් ලැබුණොත් ගන්නවා "විජේදාස කියද්දී " නෑ නෑ ජනාධිපතිතුමා ඔබතුමාට නොසකා හරින්නෙ නෑ" යැයි ඔහු අසල සිටියවුන් කීවෝය. තේ පාටියේදී ජනාධිපති අගමැති දෙන්නා වෙන වෙනම එහි පැමිණි පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු තානාපතිවරු හා හිතවතුන් සමඟ පැයකට ආසන්න කාලයක් සුහදව කතා බහ කෙළේය. එහිදී වැඩි දෙනා ගේ උනන්දුව තිබුණේ මේ නායකයින් සමඟ සෙල්ෆි ගැනීමටය. අගමැතිවරයා සියලු දෙනාට කතා කරමින් යන අතරේ වාසුදේව නානායක්කාර හා විග්නේෂ්වරම් දෙමස්සිනෝ එක්ව කතා බහ කරමින් සිටිනු දැක එතැන ගොස් දෙදෙනානේ කරට මහින්ද තම අත් දමා ගෙන දැන් ඉතින් උතුරු දකුණු ප්‍රශ්න තියෙන්න විදියක් නෑ. දෙන්නම පාර්මේන්තුවේ නිසා යැයි කීවේ මහ හඬින් සිනා සෙමිනි.
යදාමිණි ගුණවර්ධන, නාමල් රාජපක්ෂ ප්‍රමිත තෙන්නකෝන් හා ශෂීන්ද්‍ර රාජපක්ෂ සමාජවාදි දේශපාලන අරගලයේ තුනවන පරපුර නියෝජනය කරන්නන්ය. මොවුන් ගෙන් නාමල් හැර අන් තිදෙනෙක්ම මෙවර ප්‍රථමයෙන් පාර්ලිමේන්තුවට පැමිණි අය වීමද විශේෂය. තේ පාටියේදී යදාමිණි අසලට ගිය අගමැතිවරයා "අප්පච්චිලා ගේ අරගලය අත නොහැර ඉදිරියට ගන්න ඉන්න අලුත් පරපුරනෙ මේ" යැයි කියමින් යදාමිණිගේ පිටට තට්ටුවක් දමා සුබ පැතීය.
සමගි ජන බලවේගයෙන් මෙවර පාර්ලිමේන්තුවට පත්වූ මන්ත්‍රීවරුන් හා හිටපු මන්ත්‍රීවරු සහභාගී කරගෙන පසුගිය සතියේදී දේශපාලන වැඩමුළුවක් පැවැත්වුනේ කොළඹදීය. පක්ෂයේ ඉදිරි වැඩ කටයුතු ගැන මෙන්ම පාර්ලිමේන්තුවේ කටයුතු ගැන ස්ථිර වැඩපිළිවෙලක් සකස් කරගැනීම මෙම වැඩමුළුවේ අරමුණ වී තිබුණි.
වැඩ මුළුව ආරම්භ වූයේම පැමිණි මන්ත්‍රීවරු කණ්ඩායම් අටකට වෙන් කරමිනි. එක් එක් කණ්ඩායමට ඉදිරි වැඩපිළිවෙල ගැන අදහස් ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබා දුන්නේය. මන්ත්‍රීවරු තමන්ගේ පෞද්ගලික අදහස් සාකච්ඡා කර කණ්ඩායමක් ලෙස පොදු ඉදිරිපත් කිරිමකට සූදානම් වන විටම සජිත් වැඩමුළුව පැවැත්වූ ශාලාවට පැමිණියේය. ඒ ඔහු පැමිණිමට සැලසුම් කර තිබූ නියමිත වේලාවටමය. සජිත් පැමිණ මේසයෙන් මේසයට ගොස් මන්ත්‍රීවරුන්ගේ අදහස් ලබා ගත්තේය. මුලින්ම ඔහු ගියේ මයන්ත දිසානායක, බුද්ධික පතිරණ, රෝහිණී කවිරත්න ඇතුළු මන්ත්‍රීවරු සිටි මේසයටය. ඉන් පසුව ඉමිතියාස් බකීර් මාකර්, තලතා අතුකෝරළ, හරින් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර සිටි මේසයට සජිත් ආවේය. මනුෂ සිය කණ්ඩායමේ අදහස් ඉදිරිපත් කළේ විශාල ප්‍රමාණයේ කොළවල අදහස් ලියා පෙන්වමිනි.
කණ්ඩායම් ඉදිරිපත් කිරීමෙන් පසුව කිහිප දෙනෙක් කලින් සූදානම් කරගෙන පැමිණි ඉදිරිපත් කිරීම් කළේය. කබීර් හෂීම්, එරාන් වික්රමරත්නය හර්ෂ ද සිල්වා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, රාජිත සේනාරත්න ඒ අතර විය.
"හොඳට දුවන කෙනාට, දක්ෂ කෙනාට කොන්දේසි විරහිතව මම තැන දෙනවා" සජිත් මෙහිදී කීවේය.
සමගි ජන බලවේගයේ මංගල පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පැවැත්වුණේ මේ වැඩමුළුවෙන් පසුවය.
"පාර්ලිමේන්තුව රැස්වුණාට පස්සේ කතානායකවරයෙක් පත් කිරීමේ අවස්ථාව විශේෂිතයි. අපි මේ ගැන අවධානය යොමු කළ යුතුයි"තිස්ස අත්තනායක කීවේය.
"ආණ්ඩුවට කැමැති අයෙක්ට කථානායකධූරය ලබා දෙන්න කියමු. අපි ඒ සදහා අවස්ථාව දෙමු" මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කීවේ පාර්ලිමේන්තු සම්ප්රදාය අනුව කටයුතු කළ යුතු බව අවධාරණය කරමිනි.
"ඒ වුණාට පාර්ලිමේන්තුවේ විපක්ෂයට හිමිවිය යුතු වැදගත් තනතුරු කිහිපයක් තිබෙනවා. ඒවාට ආණ්ඩුවට අවශ්‍ය ආකාරයට පත්වීම් කරන්න දෙන්න බෑ. කෝප් කමිටුවේ සහ කෝපා කමිටුවේ බහුතරය තියෙන්නේ විපක්ෂය අතේ. ඒ නිසා අපි ඒ අවස්ථාව ලබාගත යුතුයි" මන්ත්‍රීවරුන් බහුතරයකගේ අදහස සජිත් ද අනුමත කරමින් කීවේය.
නව වැනි පාර්ලිමේන්තුවේ ආරම්භයට බොහෝ වේලාවකට පෙර සජිත් පාර්ලිමේන්තුවට පැමිණියත් විපක්ෂ නායක කාර්යාලයට නොගියේය. එහෙත් වෙනත් අමුත්තන් දෙදෙනෙක් විපක්ෂ නායක කාර්යාලට පැමිණියේය. ඒ ආණ්ඩු පක්ෂයේ ඇමැතිවරු දෙදෙනෙකි. නිමල් ලංසා සහ පියල් නිශාන්ත සභා ගර්භයේ සිට කතා බස් කරමින් විපක්ෂ නායක කාර්යාලය දෙසට පැමිණියේ පරණ පුරුද්දටමය. ඔවුන් දෙදෙනා කාර්යාලයේ දොරින් ඇතුළුවත්ම නුහුරු නුපුරුදු කණ්ඩායමක් එහි සිටිනු දුටුවෝය. තමන් දැන් සිටින්නේ ආණ්ඩු පක්ෂයේ බව ඔවුන් දෙදෙනාටම වැටහුණේ ඒ වෙලාවේදීය. විපක්ෂ නායක කාර්යාලයට පැමිණ ඇති බව තේරුම් යෑමත් සමග ඔවුන් දෙදෙනාගේ ඇස් උඩගොස් ආපසු හැරුණේ "අපි මේ වැරදි තැනකට ඇවිත් නේ" කියමිනි. පහුගිය සදුදා රාත්‍රියේ ඇමති ප්‍රසන්න රණතුංගට හදිසි දුරකථන ඇමතුමක් ලැබුණි ඒ ජනාධිපතිවරයා ගෙනි." ප්‍රසන්න සංචාරකයෝ ලංකාවට ගෙන්වා ගන්න වැඩ පිළිවෙල ඉක්මන් කරන්න ඕනෑ."
"ඔව්, සර් මම ඒ ගැන ප්ලැන් එකක් හදනවා. එයාර්පෝට් එක ඉක්මනින් විවෘත කර ගත්තොත් හොඳයි." ප්‍රසන්න කීවේය. "එයාර්පෝට් එක ඉක්මනින් විවෘත කරන්න ඕන. පිටරටවල ඉන්න අපේ අයව ඉක්මනින් ගෙන්වා ගන්නත් ඕනෑ. මේවා ගැන ඔයා කැබිනට් එකට පේපර් එකක් දාන්න" ජනාපතිවරයා ප්‍රසන්නට උපදෙස් දුන්නේය.
ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම පැවැත්වුණේ බදාදා සවසය. එයද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණ." පසුගිය ආණ්ඩුවේ මැති ඇමතිවරු පාර්ලිමේන්තුවට ආවේ නෑ. විපක්ෂ මන්ත්‍රීවරුන් ගේ ප්‍රශ්න වලට උත්තර දුන්නෙත් නෑ. හැම තිස්සේම පාර්ලිමේන්තු රැස්වීම්වල ඉදිරි පෙළ හිස්වෙලා තිබුණේ. අපේ ආණ්ඩුවේ අපේ පාර්ලිමේන්තුවේ එහෙම වෙන්න දෙන්න බෑ. පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනවල හැමෝම පාර්ලිමේන්තුවට එන්න ඕනේ" අගමැතිවරයා කීවේ උපදේශාත්මකවය.
පසුගියදා සිරිකොතට භික්ෂූන්වහන්සේලා පහළොස්නමක් පමණ හදිසියේම වැඩම කර රනිල්ට ලිපියක් බාර දුන්නේය. රනිල් වික්‍රමසිංහයන් භික්ෂූන් වහන්සේලා තමන් හමුවට එන බව දැන සිටියත් ඒ කුමක් සඳහා දැයි දැන සිටියේ නැත. භික්ෂූන් වහන්සේලා රනිල්ට බාර දුන් ලිපියේ සඳහන් වූවේ එජාප නායකත්වයෙන් රනිල් ඉවත්ව එය කරු ජයසූරියට බාර දෙන ලෙසය. එහිදී ඇති වු කතාබහ අතර සමහර භික්ෂූන් වහන්සේලා එතැනින් ඉවත්ව ගිය අතර තිනියාවල පාලිත, බෝපිටියේ ධම්මිස්සර යන හිමිවරුන් ඇතුළු කීප දෙනෙකු පසුව මාධ්‍ය හමුවක් පවත්වා රනිල් වික්‍රමසිංහයන් දැඩි විවෙිචනයට ලක් කරමින් කියා සිටියේ එජාපයට සම්බන්ධ සියලු භික්ෂූන් සමඟ නව ආණ්ඩුවට සහය දෙන බවය. එජාප නායකත්ව අර්බුදය මෙන්ම එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයද දැන් එජාපයේ දැඩි අර්බුදයක් බවට පත්ව ඇත. මේ අතර රනිල් වික්‍රමසිංහ තවදුරටත් පක්ෂ නායකත්වයේ රැඳී සිටීමටත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය එජාප මහ ලේකම් අකිලට ලබා දිමට උත්සහයක් පවතින බවටත් එජාපයේ පරාජිතයන් අතරේ කතාබහට ලක්ව ඇත.
ජනාධිපතිවරයා ඉකුත් සතිය යොදා ගත්තේ අලුතින් පත් වු අමාත්‍යවරුන් ගේ කාර්යභාරය ගැව කතා කරන්නටය.මුලින්ම ප්‍රවාහන අමාත්‍ය හා එහි රාජ්‍ය අමාත්‍යවරැන් සමඟ සාකච්ඡා කරමින් ජනාධිපතිවරයා "පුංචි දේකින් ලොකු වෙනසක් කරන්න පුළුවන්. බස් රථ සෝදන තැනින් ප්‍රවාහන කටයුතු දියුණු කරන්න පටන් ගන්න" ජනාධිපතිවරයා කීවේ වෙනත් උදාහරණයන්ද සමඟය. අනතුරුව මැටි, වේවැල්, තඹ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ ජනාධිපතිවරයා "මොන බාධක ආවත් දේශිය කර්මාන්ත අභාවයට යන්න දෙන්න එපා. මේ කර්මාන්ත දියුණු කරගෙන අපිට හොඳ විදේශ විනිමයක් උපයන්න පුළුවන්."කීවේය.
from silumina
0 Comments