Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රට යවනවා කියා ඊසි කෑෂ් ක්‍රමයට කෝටි ගණන් හොයපු ජාවාරම්කරු ඇල්ලූ මෙහෙයුම!

විදේශ රටවල රැකියා දෙන බව පවසමින් නවීන තාක්ෂණ ක්‍රමවේද ඔස්සේ ජාත්‍යන්තර දුරකථන අංකවලින් මෙරට නොයෙකුත් පුද්ගලයන්ට කතා කොට ඊසි කෑෂ් ක්‍රමයට රුපියල් කෝටි ගණන් මුදල් උපයාගත් මහ මොළකරුවකු බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන ඇත.

බස්නාහිර පළාත් භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකයකු කරන ලද පැමිණිල්ලකට අනුව කෙරුණු පුළුල් විමර්ශනයකදී මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

සැකකරු මෙරට ජීවත් වෙමින් අන්තර්ජාලය ඔස්සේ විදේශ රටවල රැකියා ඇති බවට දැන්වීම් පළ කරන අතර අන්තර්ජාල ඔස්සේ සැරිසරන තරුණ උගත් පිරිස් රැකියාවක් බලාපොරොත්තුවෙන් මෙම දැන්වීම්වල සඳහන් දුරකථන හා ඊමේල් අංකවලට සිය පෞද්ගලික විස්තර යවමින් රැකියා ඉල්ලුම් කර ඇත.

එම ඉල්ලීම් අනුව අදාළ ඉල්ලුම්කරුට විදේශීය රටක දුරකථන අංකයකින් කතාබස් කරන මෙම සැකකරු, නොයෙකුත් තාක්ෂණ ක්‍රම උපයෝගී කරගෙන ඉල්ලුම්කරු හා සම්බන්ධ වෙමින් ඔවුන් රවටා ඊසි කෑෂ් මාර්ගයෙන් මුදල් උපයාගෙන තිබේ.

සැකකරු ඉල්ලුම්කරුවන්ට පවසන්නේ තමන්ට අයත් ආයතනයක රැකියා කරන සේවකයන්ට වැටුප් ගෙවීමට අවශ්‍ය බවත්, එම වැටුප් ගෙවීමට මුදල් එවීම සඳහා ඉල්ලුම්කරුගේ බැංකු ගිණුමේ අංකය ඔහු වෙත ලබාදෙන ලෙසත්ය. ඒ සඳහා සති දෙකකට වරක් රුපියල් 5,000ක් ඉල්ලුම්කරුවන්ගේ ගිණුමට බැර කරන බව දැනුම් දෙන නිසා අන්තර්ජාලය ඔස්සේ රැකියාවක් සොයන බොහෝ පිරිසක් සැකකරුගේ උගුලට කොටු වී තිබේ.

පසුව සැකකරු අදාළ ඉල්ලුම්කරුගේ ගිණුමට ලක්ෂ ගණන් මුදල් බැර කර ඇති අතර ඉල්ලුම්කරු කළ යුත්තේ ඒ සමඟ ඔහු විසින් එවන ලද ජංගම දුරකථනවලට, ගිණුමට බැර වෙන මුදල් දැනුම් දෙන පරිදි එම අංකවලට යෙදීමය. එය නිසියාකාරයෙන් ඉටුකළ විට සති දෙකකට වරක් රුපියල් පන්දහසක් ඉල්ලුම්කරුගේ ගිණුමට බැර වනු ඇත.

විදේශීය ආයතන හිමිකරුවකු ලෙස රඟපාමින් මොහු ඉල්ලුම්කරුවන්ගේ ගිණුම්වලට එවන ලද මුදල් ඔහු විසින් එවන ලද ජංගම දුරකථන අංකවලට ඊසි කෑෂ් ක්‍රමයට යෙදිය යුත්තේ ‘කොමියුනිකේෂන්’ හරහා බවටද ඔහු උපදෙස් දී තිබේ.

මෙලෙස රැකියා ඉල්ලුම්කරුවන් හය දෙනකු මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔවුන් බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකයට කැඳවීමෙන් පසු ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ඒ අතර විශ්වවිද්‍යාල අපේක්ෂකයන්, ගුවන් නියමු පුහුණු වන තරුණයකුද සිටින බව බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකය පවසයි.

“මමත් ඉන්ටර්නෙට් එක හරහා පිටරට ජොබ් එකකට ඇප්ලයි කළා. මට කතා කළා ලන්ඩනයේ කෙනෙක්. දුරකථන අංකයත් ලන්ඩන් එකක්. එයා කිව්වා අපි ඔයාට හොඳ ජොබ් එකක් දෙන්නම්. එතකම් ලංකාවේ අපේ බ්‍රාන්ච් එකක් තියෙනවා ඒකේ වැඩ කරන ඩ්‍රයිවර්ලාට පඩි ගෙවන්නට ඕන. ඔයාට අපි සල්ලි එවනවා. අපිට ඔයාගේ ගිණුම් අංකය එවන්න. අපි එකවුන්ට් එකට සල්ලි දැම්මට පස්සේ ඔයා අපි එවන ඒ ඩ්‍රයිවර්ලාගේ හෑන්ඩ්ෆෝන් අංකවලට සල්ලි දාන්න. ඒ සල්ලිවලින්  ඔයා රුපියල් 5,000ක් තියාගන්න. හැබැයි සල්ලි දාන්න ඕන කොමියුනිකේෂන් එකකින් විතරයි කියලා” යනුවෙන් සැකකරුට හසු වූ විශ්වවිද්‍යාල අපේක්ෂකයකු පොලිසියට පැවැසීය. ඒ අනුව මෙම ඉල්ලුම්කරුවන්ගේ ගිණුම්වලට වැටුණු රුපියල් ලක්ෂ ගණන් මුදල් ඔවුන් විසින් එවන ලද ජංගම දුරකථනවලට ඊසි කෑෂ් ක්‍රමයට යොදා තිබේ.

මීට අමතරව මොහු අන්තර්ජාලය ඔස්සේ විදේශ රටවල රැකියා  සොයා දීම සඳහාද දැන්වීම් පළකර තිබේ. යුරෝපා සහ ආසියානු රටවල් 14ක රැකියාවන් සඳහා වෛද්‍ය වාර්තා හා වීසා බලපත්‍රවලට අවශ්‍ය ලිපිලේඛන සැකකරු මෙලෙස අන්තර්ජාලය ඔස්සේ ඊමේල් පණිවුඩ මඟින් ඉල්ලුම්කරුවන්ට ලබාදී තිබේ.

වෛද්‍ය වාර්තාවක් සකසා දීම සඳහා 13,500ක්ද වීසා බලපත්‍රයට අවශ්‍ය ලියකියවිලි සඳහා රුපියල් 28,500ක්ද ගමන් බලපත්‍ර අවශ්‍ය නම් ඒ සඳහා අත්තිකාරම් ලෙස රුපියල් 25,000ක්ද මොහු අයකර තිබේ.

මෙම බලපත්‍ර හා වාර්තා අවශ්‍ය ගැනුම්කරුවන් අදාළ ඊමේල් අංක ඔස්සේ අන්තර්ජාලය හරහා සැකකරු ඇමැතීමෙන් පසු ඒ සඳහා අවශ්‍ය මුදල් බැර කිරීම සඳහා සැකකරු ලබාදී ඇත්තේද රැකියාවක් සඳහා ඉල්ලුම් කරනු ලැබූ පුද්ගලයන් සතු බැංකු ගිණුම් අංකයන් බවටද හෙළි වී තිබේ.

ඔහු එසේ සිදුකර ඇත්තේ කිසියම් ක්‍රමයකින් හෝ පොලිසියට මෙම ජාවාරම කොටු වුවහොත් සැකකරු නීතියේ කනින් රිංගා සිටීම සඳහා බව විශේෂ අපරාධ කොට්ඨාසය කියයි.

සැකකරු මේ සියල්ලම සිදුකරනුයේ අන්තර්ජාලය හරහා නවීන තාක්ෂණික ක්‍රමවේද උපයෝගි කරගනිමිනි. ඔහු විදේශගතව සිටින බව හැඟවීම සඳහා දුරකථන කේතය (කන්ටි්‍ර කෝඩ්) භාවිත කර ඇති බවද විමර්ශනවලදී හෙළි වී ඇත. සැකකරු සතුව තිබූ විදේශ ගමන් බලපත්‍ර දෙකක් හා ජාතික හැඳුනුම්පත් දෙකක්ද විමර්ශන නිලධාරීන් සොයාගෙන තිබේ. සැකකරු මෙම ජාවාරම සඳහා ජාතික හැඳුනුම්පත් අංක 10ක් පමණ භාවිත කර ඇති බවද හෙළි වී තිබේ.

සැකකරු යාපනයේ පදිංචිකරුවකු වන අතර මොහු දැනට තාවකාලිකව වත්තල මහබාගේ ප්‍රදේශයේ පදිංචිව සිටී සැකකරු අත්අඩංගුවට ගැනීමද සිදුකර ඇත්තේ නවීන තාක්ෂණ ක්‍රම උපයෝගී කරගෙන බව සඳහන් කළ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රියදර්ශන මහතා, මහත් වූ වෑයමක් සිදුකොට දුරකථන විශ්ලේෂණ වාර්තා අනුව සැකකරු මහබාගේ ප්‍රදේශයේදී කොටුකරගෙන තිබේ.

සෙල්වරාසා සිවරාසා නම් වූ දෙමළ ජාතිකයකු වන මොහු මුස්ලිම් ජාතිකයකු ලෙස තවත් හැඳුනුම්පතක් පාවිච්චි කර ඇත.

ජාත්‍යන්තර ක්‍රමවේදයට අනුව කෝටි ගණන් මුදල් උපයා ගැනීම සඳහා මොහු දුරකථන අංක 56ක් භාවිත කර ඇති බවද විමර්ශනවලදී හෙළි වී තිබේ.

සයිප්‍රසය, ප්‍රංශය, ඉන්දියාව, ඉතාලිය, ජර්මනිය, ලන්ඩනය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඩෙන්මාර්කය ආදී රටවල ව්‍යාජ වීසා බලපත්‍ර සකසා මොහු විසින් බොහෝ පිරිසක් යවා ඇති අතර ඒ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, පාතාල අපරාධකරුවන් රැසක්ද මෙරටින් මෙම ක්‍රමවේද ඔස්සේ පිටරවලට පලා යන්නට ඇතැයි බස්නාහිර පළාත් ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කියයි. ඔවුන් කවුදැයි හඳුනාගැනීමට මේ වන විටත් විමර්ශන ආරම්භ කර තිබේ.

සැකකරුගේ සොහොයුරකු කොළඹ එල්ටීටීඊ නියෝජිතයකු ලෙස කලක් රැඳී සිටි අතර ඒ අනුව මොහුද එල්ටීටීඊය හා සබඳකම් පවත්වා ඇති බව විමර්ශන ඒකකයේ සැකයයි.

වසර 10ක් තිස්සේ අනුන්ගේ ගිණුම්වලට මුදල් බැර කරමින් රුපියල් කෝටි ගණන් මුදල් උපයා ඇති මොහු තාක්ෂණ ක්‍රියාවලියේ දැවැන්ත වැඩකරුවකු බවද විමර්ශන ඒකකය කියයි.

අන්තර්ජාලය ඔස්සේ සැකකරුට හසු වූ මෙරට පුද්ගලයන් 100කට වැඩි පිරිසක් සිටින බව මේ වන විට හඳුනාගෙන ඇති අතර, තමන්ගේ බැංකු ගිණුම්වලට මෙලෙස මුදල් වැටීමෙන් පසු එම මුදල් ජංගම දුරකථන ඔස්සේ ඊසි කෑෂ් ක්‍රමයට යෙදවූ අයවලුන් ඇත්නම් වහා බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකයට පැමිණෙන ලෙස එම ඒකකය ඉල්ලීමක් කරයි.

බස්නාහිර පළාත් භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ඍජු අධීක්ෂණය මත බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අයි.එන්.එස්.සී. ප්‍රියදර්ශන ප්‍රමුඛ උප පොලිස් පරීක්ෂකවරුන් වන ඩබ්ලිව්. ඒ. රංජිත්, කේ.ජී.ටී. බණ්ඩාර, සැරයන්වරුන් වූ මලවිආරච්චි (31514), ජයසිංහ (37025), කාන්තා සැරයන් ජයමහ (3101), කොස්තාපල්වරුන් වූ කුලතිස්ස (54070), සේමසිංහ (68922), තුෂාර (72980), දිසානායක (92069), ජයතිලක (9423) හා අනුර (33662) යන නිලධාරීහු මෙම විමර්ශනවලට එක්ව සිටිති.

කීර්ති මෙන්ඩිස් / www.mawbima.lk



from රට තොට – Colombo Tribune https://ift.tt/3hnLRJr
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();