Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පුහුණු කඳවුර සාර්ථකව නිමාවට

දෙවැනි පුහුණු සැසිය 22දා මහනුවරදී

කොවිඩ් වසංගතය හේතුවෙන් රජය විසින් පනවන ලද අනිවාර්ය සෞඛ්‍ය නීති රෙගුලාසිවලට දෙමසකට වැඩි කාලයකින් පසුව පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පළමු පුහුණු සැසිය පසුගියදා සාර්ථකව නිමාවට පත් විය. පන්දු යවන්නන්ට වැඩි අවස්ථාවක් දෙමින් ආරම්භ කළ එම පුහුණු කඳවුර දින 12ක කාලයක් පැවැති අතර, ඊට නායක දිමුත් කරුණාරත්න ඇතුළු ක්‍රීඩකයෝ 13 දෙනෙක් සහභාගි වූහ.

පළමු පුහුණු සැසියෙන් පසුව ඊට සහභාගි වූ සියලු ක්‍රීඩකයන් පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කිරිමට පියවර ගෙන තිබිණි. එම පරීක්ෂණයෙන් පසුව ක්‍රීඩකයන්ට සිය නිවාස වෙත යෑමට අවසර දීමට කටයුතු යොදා තිබිණි.

ඉන්දීය පිලේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු වූවද, ලබන 22 වැනිදා මහනුවර කේන්ද්‍ර කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දෙවැනි පුහුණු කඳවුර පැවැත්වීමට ක්‍රිකට් කළමනාකාරීත්වය තීරණය කර තිබේ. දෙවැනි පුහුණු කඳවුර සඳහා ක්‍රීඩකයන් වැඩි දෙනකු සහභාගි වනු ඇතැයි වාර්තා වන අතර, පළමු පුහුණු සැසියට සහභාගි වූ ක්‍රීඩකයන් ද ඊට ඇතුළත් වනු ඇතැයි වාර්තා වෙයි. එම පුහුණු සැසියේදී පිතිකරුවන් සහ පන්දු යවන්නන් වැඩි දෙනකුට සිය දස්කම් මුවහත් කරගැනීමට අවස්ථාව සලසා දීමට තීරණය වී ඇත.

ලබන මාසයේදී දේශීය ක්‍රිකට් තරග ආරම්භ කිරිමට තීරණය වී ඇති බැවින් මෙම පුහුණු කඳවුරු ක්‍රීඩකයන්ට සිය හැකියාවන් නැවත ඉස්මතු කරගැනීමට ඉවහල් වනු ඇත. පළමු අදියරේ පුහුණු කඳවුර පන්දු යවන්නන් මූලික කරමින් පැවැති අතර, ඊට වේගපන්දු යවන්නන් 6ක්, දඟපන්දු යවන්නෝ තිදෙනෙක් ඇතුළත් වූහ. නායක දිමුත් ඇතුළු පිතිකරුවෝ සිව්දෙනෙක් ඊට සහභාගි වූහ.

“එක් දිනක්වත් විවේකයක් නොලබා අප සියලුදෙනා උදේ සවස පුහුණුවීම් කළා. එය ඉතා වැදගත්. මගේ ක්‍රීඩකයන් නැවත පුහුණුවීම් ආරම්භ කිරිම ගැන නායකයා ලෙස මා ඉතා සතුටට පත් වුණා. දෙවැනි පුහුණු සැසියට නැවත එක් වීමට බලාපොරොත්තු වෙනවා.” පළමුවන පුහුණු සැසියෙන් පසු නායක දිමුත් කරුණාරත්න එසේ කියා සිටියේය.

ෆවුස් මොහොමඩ්

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();