පලතුරු යනු
පලතුරු යනු ඉතා රසවත් හා එමෙන්ම ශරීරයට අවශ්‍ය විවිධ වර්ගයේ පෝෂණ කොටස් ලබා දෙන ඉතා අගනා ආහාරයකි. අපට දිනකට අවශ්‍ය විටමින්, ඛණිජ ලවණ, තන්තු නියමිත ප්‍රමාණයක් ලබා ගැනීමට දිනකට අවම වශයෙන් පලතුරු කොටස් දෙකක්වත් ආහාරයට ලබා ගත යුතුය. එළවළුවලට අමතරව පලතුරුද ආහාරයට එක් කර ගැනීමෙන් අපට,
• හෘද වස්තුව ආශ්‍රිත රෝග අවම කර ගැනීමට
• වකුගඩුවල ගල් සෑදීම අවම කර ගැනීමට
• ලේ වර්ධනය
• දියවැඩියාව සැදීමේ අවදානම අවම කර ගැනීමට
• විවිධ වර්ගයේ පිළිකාවලින් ආරක්ෂාවීමට බෙහෙවින්ම උපකාරී වෙයි.
පලතුරු ඉදීම සිදුවන්නේ එතිලීන් නැමැති රසායනික පලතුරු මත සිදුකරන ක්‍රියාකාරීත්වය නිසයි.
මේ එතිලීන් ක්‍රියා කරන ආකාරය අනුව පලතුරු ඛාණ්ඩ දෙකකි. ඒ නම් ක්ලයිමැක්ටෙරික් (climacteric) පලතුරු හා ක්ලයිමැක්ටෙරික් නොවන (Non climacteric) පලතුරුයි.
ක්ලයිමැක්ටෙරික් පලතුරු වන්නේ,
• අලිගැටපේර • කෙසෙල්
• දූරියන් • ගස්ලබු
• පැශන් ෆෘට් • පේර • සැපතිල්ලා
ක්ලැය්මෙක්ටෙරික් නොවන (Non-climacteric)
• දොඩම් • අන්නාසි
• මිදි • කොමඩු • දෙළුම්
මෙහි දී ක්ලැයිමැක්ටෙරික් පලතුරු ඉදීම සඳහා එතිලීන් ඉතා වැඩි ප්‍රමාණයක් ශ්‍රාවය වන අතර, ශ්වසන ක්‍රියාවලිය ඉතා ඉහළ අගයක් ගනී. එමෙන්ම අස්වැන්න නෙළීමෙන් පසුව ද පලතුරු ඉදවීම එතිලීන් මගින් තවදුරටත් සිදුකළ හැක.
ක්ලයිමැක්ටෙරික් නොවන පලතුරු පිළිබඳ සැලකීමේ දී ශ්වසන ක්‍රියාවලිය එතරම්ම ඉහළ අගයකට පත් නොවන අතර, මේ ක්‍රියාවලිය ක්‍රමයෙන් අඩුවීමක් දක්නට ලැබේ. එතිලීන් ක්‍රියාකාරීත්වය සැල්කීමේදී, එතිලීන් නිෂ්පාදනය ඉහළ අගයක් නොගනියි.
අස්වැන්න නෙළීමෙන් පසුව පලතුරු ඉදීම සිදුනොවේ.
පලතුරු ඉදීමේදී,
1. පලතුරෙහි ඇති සීනී ප්‍රමාණයේ වැඩිවීමක් දක්නට ලැබේ.
2. වර්ණය වෙනස් වේ. උදාහරණ ලෙස අඹ, ගස්ලබු, කහ පැහැයක් ගනියි.
3. පලතුරෙහි රසය වෙනස් වේ. පැණිරස ගතිය වැඩිවේ.
4. පලතුරෙහි ඇති ආම්ලිකතාව වැඩිවේ.
5. පලතුරෙහි ස්වභාවය වෙනස් වේ, එනම් අඹ, ගස්ලබු හා කෙසෙල් වන අතර, ඇපල්වල දී පෙර තිබූ මුදු බව අඩුවී යයි.
පලතුරු නියමිත පරිණතභාවයට පත් වූ පසු එමගින් නිපදවන එතිලීන් නිසා පලතුරු ඉදීම සිදුවේ.
පලතුරට හානියක්වීම, උෂ්ණත්වය වැඩිවීම වැනි කරුණු නිසා පලතුරු ඉදීමේ ක්‍රියාවලිය ඉක්මන් වන්නේ, එවැනි අවස්ථාවල දී පලතුරු යම් ආතතියකට පත් වන බැවින් එමගින් එතිලීන් ස්‍රාවය වේ.
නමුත් වර්තමානය වන විට මේ එතිලීන් බාහිරව යොදා ගැනීම තුළින් පලතුරු ඉඳවීම සිදු කිරීමට බොහෝ දෙනා පෙළඹී ඇත.
පලතුරු කෘතිවම ඉදවන්නේ ඇයි?
නූතන කාර්මික ලෝකයේ පලතුරු කෘතිමව ඉදවීමට යොමු වූ කාරණා කිහිපයකි.
පලතුරු ප්‍රවාහනය කිරීමේ දී සිදුවන හානිය අවම කිරීමට
පලතුරු මහා පරිමාණයෙන් පරිහරණය කිරීමේදී සිදුවන හානිය අවම කර ගැනීමට
සතුන්ගෙන් සිදුවන හානි අවම කර ගැනීමට
උත්සව සමයේ දී පලතුරු ඉක්මනින් ඉදවා ගැනීමට
පලතුරු කෘතිමව ඉදවන්නේ කෙසේද?
අතීතයේ පටන් පලතුරු කෘතිමව ඉදවීම අප රට තුළ දක්නට ලැබුණත් පැරැන්නන් මේ සඳහා යොදාගෙන තිබෙන්නේ ස්වභාවික පරිසරයෙන් ලබා ගන්නා ලද ද්‍රව්‍යවලිනි.
එනම් අමු පලතුරු මත පිදුරු. බිලිං කොළ වැනි දේ යොදාගෙන වැසුණු බදුනක් තුළ තැබීම.
කෙසෙල් කැන් වළක් තුළ තැබීම.
ඉදුනු මිරිස් කරලක් වැසුණු බදුනක තබා ඒ තුළ අමු පලතුරු තැබීම.
නමුත් වර්තමානය වනවිට කෘතිම ක්‍රම මගින් පලතුරු ඉදවීම ඉතා ප්‍රචලිත වී තිබෙන්නේ එහි ඇති පහසු බව නිසා බැවිනි. නමුත් මේ ක්‍රම පහසු වූවද පලතුරෙහි ඇති පෝෂණීය ගුණයට හානිවීම සහ තවත් සෞඛ්‍ය ගැටලු රාශියක් ඇතිවීමට මඟ පාදයි. එබැවින් හැකිතාක් දුරට මේ කෘතිම ක්‍රම ඉවත් කිරීම සෞඛ්‍යයට හිතකර වේ.
පලතුරු කෘතිමව ඉදවන ක්‍රම එතනෝල් භාවිතය
මේ ක්‍රමය රජය විසින් අනුමත කර ඇති ක්‍රමයයි. මෙහි දී එතෆෝන් මිලි. 10කට, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මිලි ග්‍රෑම් 2ක් දමා, එය ජලය ලීටර් 5ක දියකර, පලතුරු තබා ඇති වැසුණු කුටියක් තුළ තැබීමෙන් පලතුරු ආරක්ෂිතව ඉදවිය හැක. නමුත් මේ එතෆෝන් මිශ්‍රණය කෙලින්ම පලතුරු මතට ඉසීම හෝ පලතුරු මිශ්‍රණයේ ගිල්වීම සිදු නොකළ යුතුයි.
කැල්සියම් කාබයිඩ් භාවිතය
කැල්සියම් කාබයිඩ් භාවිතය රජය විසින් සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. කැල්සියම් කාබයිඩ් කොලයක් මත තබා, එය වැසුණු කුටියක් තුළ තැබීමෙන් ඇසිටලීන් වායුව නිපදවා ගත හැකි අතර, එමඟින් පලතුරු ඉදවීම සිදුකළ හැක. නමුත් කැල්සියම් කාබයිඩ් භාවිතය තවමත් වෙළෙඳ සමාජයේ දැකිය හැකි වන අතර, වෙළෙදාම් කරන අවස්ථාවේ දී, ප්‍රවාහනයේ දී හා ගොවීන් පලතුරු නෙළීමේ දී යන ඕනෑම අවස්ථාවක මේ කැල්සියම් කාබයිඩ් භාවිතය සිදු කරයි.
එමෙන්ම ඔවුන් ඇසිටලීන් වායුව භාවිත කිරීම වෙනුවට කැල්සියම් කාබයිඩ් ජලයේ දියකර, ඒවා පලතුරු මතට ඉසීම හෝ එම ද්‍රාවණයේ ගිල්වීම සිදුකරනු ලබයි. බොහෝවිට එම වෙළෙන්දන් අසංශුද්ධ කැල්සියම් කාබයිඩ් භාවිත කරන අතර, එම අසංශුද්ධ කැල්සියම් කාබයිඩ්වල ආසනික්, පොස්ෆීන් වැනි අහිතකර සංඝඨක අන්තර්ගත වේ. එම නිසා කැල්සියම් කාබයිඩ් භාවිතය ශ්‍රී ලංකා ජනරජය විසින් 1993 ඔක්තෝම්බර් 12 දින නිකුත් කරන ලද 788/7 ගැසට් පත්‍රය මගින් සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.
දුම් ගැසීම
පලතුරු දුම් කාමරයක් තුළ හෝ වළක දමා, කෙසෙල් කොල පිච්චීම මඟින් දුම් ගැසීම සිදු කරනු ලබයි. මේ ක්‍රමය අතීතයේ සිටම මිනිසුන් විසින් භාවිත කළත්, අද වනවිට භූමිතෙල් වැනිදේ භාවිත කර දුම් ගැසීම සිදු කරයි. එහි දී කාබන් මොනොක්සයිඩ් වැනි වායුන් නිපදවේ.
පලතුරු කෘතිමව ඉදවීම නිසා සිදුවන ප්‍රතිඵල
පලතුරුවල ඇති පෝෂණ ගුණය කෘතිමව ඉදවීමේ දී අවමවීමක් දක්නට ලැබේ. කැල්සියම් කාබයිඩ් මගින් පෝෂණයට හානිවීම වැඩි වශයෙන් දක්නට ලැබේ. එතෆෝන් කෙලින්ම පලතුර මතට යෙදුවහොත්, පෙනහලු ආශ්‍රිත රෝග, හෘද රෝග, අක්මාවේ රෝග සෑදීමට අවධානමක් ඇත. කැල්සියම් කාබයිඩ් භාවිතය නිසා, ආහාර මාර්ගය ආශ්‍රිත රෝග (පාචනය, වමනය) ශරීරයේ දුර්වලතා, අත් පාවල සිදුවන හිරිවැටීම් කතා කිරීමේ හා ආහාර ගිලීමේ අපහසුතා, පපුවේ හා බඩේ දැවිල්ල වැනි රෝගී තත්ත්වයන් ඇති වන අතර, එයට ප්‍රධානම හේතුව වශයෙන් ආසනික් හා පොප්ෆීන් අන්තර්ගතවීම හඳුනා ගෙන තිබේ.
වර්තමානයේ දුම් ගසන ක්‍රම මගින් සෞඛ්‍යයට අහිත කර තත්ත්වයන් ඇති බව ITI ආයතනය මඟින් සිදුකර ඇති නවතම පරීක්ෂණයකින් සොයාගෙන ඇත. එනම් දුම් ගැසීම නිසා පලතුරු මාංශයට phenanthrene නැමති polyaromatic hydocarbon (පොලිඇරෝමැටික් හයිඩ්‍රොකාබන්) යන පිළිකාකාරකය ඇතුළු විය හැකි බැවින් පිළිකා සෑදීමේ අවධානමකට ලක් විය හැක. එමෙන්ම දුම් ගැසීම නිසා පලතුරෙහි පිටත පෙනුම විනාශ වේ. මහා පරිමාණයෙන් දුම් ගසන විට දුම් ගසන පුද්ගලයාට ද පෙනහලු ආශ්‍රිත රෝග සෑදීමට පුළුවන.
කෘතිමව ඉදවූ පලතුරු හඳුනා ගන්නේ කෙසේද?
පලතුරුවල පොත්තේ කැලැල් සහිත බවක් දක්නට ලැබීම
මතුපිට ඇති ඒකාකාරීව දිලිසෙන සුළු බව
පොත්ත ඉදී ඇතිබව පෙන්නුම් කලද ඇතුලත් ඉදී නොතිබීම
කෘතිම රසයක් දැනීම
කෘතිම සුවඳක් දැනීම
ස්වභාවික ඉදුණු පලතුරුවල පලතුරු යුෂ හොඳින් ඇති අතර, කෘතිමව ඉදවූ පලතුරුවල එසේ හොඳින් පලතුරු යුෂ දක්නට නොලැබේ.
අඹ ගෙඩියක් ස්වභාවිකවම ඉදෙන විට අඹ ගෙඩියේ නටුව පැත්තේ සිට පහතට ඉදීම ආරම්භ වේ.
ගස්ලබු ගෙඩිය ස්වභාවිකවම ඉදෙන විට නටුවට ප්‍රතිවිරුද්ධ පැත්තේ සිට ඉරි ආකාරයට ඉදීම සිදුවේ.
කෙසෙල් ස්වභාවිකව ඉදෙන විට නටුව කළු/ දුඹුරු පැහැ වේ.
කෙසෙල් කෘතිමව රසායනික ද්‍රව්‍යයක් මගින් ඉදවන විට කෙසෙල් ගෙඩි දෙකක් අතර ස්ථාන කොල පැහැයෙනුත් පිටතට නිරාවරණය වන ස්ථාන කහ පැහැයෙනුත් ඉදී ඇති බව නිරීක්ෂණය කළ හැක. තවද ගෙඩිය කහ පැහැති වූවත් නැට්ට කොල පැහැයක් ගනී.
කෘත්‍රිමව ඉදුණු පලතුරු ආහාරයට ගැනීමේ දී ගත හැකි ආරක්ෂිත පියවර
සම්පූර්ණයෙන් ඉදුණු පලතුරු වෙනුවට අඩක් ඉදුණු පලතුරු මිලදී ගැනීම
පලතුරු මිලදී ගත් විගස හොඳින් සේදීම
ආහාරයට ගැනීමේ දී පොත්ත ඉවත් කර ආහාරයට ගැනීම
ආහාරයට ගැනීමට පෙර පලතුරු කොටස්වලට කපා වෙනසක් ඇත්දැයි හොඳින් නිරීක්ෂණය කිරීම
(ඉතින් ඔබ පලතුරු මිලදී ගැනීමේ දී මේ දේවල් පිළිබඳව වඩා සැලකිලිමත් වුවහොත් ඔබගේ සෞඛ්‍යයට හානි නොවන අන්දමින් අවශ්‍ය පෝෂණ කොටස් ලබා ගැනීමට හැකියාවක් පවතී.)
නිවසේ දී සිදු කළ හැකි පලතුරු ඉදවීමේදී ක්‍රම
ඉදුණු පලතුරු, නොඉදුණු පලතුරු සමඟ තැබීම. මෙය වැසුණු කුටීරයක් තුළ තැබීමෙන් ඉක්මනින් ඉදවා ගත හැක.
දහයියා මත හෝ පිදුරු මත අමු පලතුරු තැබීම
අඹ ඉදවීම සඳහා හාල් යෙදූ බදුනක අමු අඹ තැබීම සිදුකළ හැක.
පලතුරු වැසුණු බදුනක දමා එතුළට ඉදුණු මිරිස් කරලක් දැමීම
ඉතින් ඔබ පලතුරු මිලදී ගැනීමේ දී මේ දේවල් පිළිබඳව වඩා සැලකිලිමත් වීමෙන්, ඔබගේ සෞඛ්‍යයට හානි නොවන අන්දමින්, අවශ්‍ය පෝෂණ කොටස් ලබා ගැනීමට හැකිවේ.
සැකසුම
වෛද්‍ය සසිනි දිමිංගුආරච්චි,
වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය,
කොළඹ විශ්වවිද්‍යාලය.

0 Comments