Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනපති ගෝඨාභය සියලු පුරවැසියන්ට එකලෙස සලකන නායකයෙක්

මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමි

රටේ ජනපති ධූරයට තම ඡන්ද නොමැතිව සිංහල බෞද්ධ නායකයෙකුට පත්විය නොහැකි බවට දෙමළ හා මුස්ලිම් දේශපාලනඥයින් සිතා සිටි දේ වැරදි බව මෙවර ජනපතිවරණ ප්‍රතිපලයෙන් මනාව පැහැදිලි වී තිබෙන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිදු බේදයකින් තොරව සියලු ජන කොටස් වලට එක ලෙස සේවය කරන්නට කැපවෙන නායකයෙකු බව තහවුරු කරමින් සිටින බවත් මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියෝ පවසති.

රට තුළ කුමන ආකාරයේ සංවර්ධන කටයුත්තක් සිදු කළද ඒ කිසිවකින් ජාතික ආරක්ෂාවට බාධාවක් නොවිය යුතු බවත් එය ජනපතිවරයා හොඳින් අවබෝධ කරගෙන සිටින බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන බවත් උන්වහන්සේ කීය.

අනුනාහිමියන් එසේ පැවසුවේ උසස් අධ්‍යාපන, නවෝත්පාදන හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පෙරේදා (23) උන්වහන්සේ බැහැ දැකීමට ගිය අවස්ථාවේදීය.

සමස්ත රට සංවර්ධනය කිරීමේදී කිසිසේත්ම උතුරු නැගෙනහිර ප්‍රදේශවල පවතින යුද හමුදා කඳවුරු ඉවත් නොවිය යුතු බවත් ඒවා ස්ථාපිත කර තිබෙන්නේ සිංහල ජනතාවගේ පමණක් නොව දෙමළ හා මුස්ලිම් ජනතාවගේද ආරක්ෂාව පිණිස බවත් විමලධම්ම අනුනාහිමියෝ ප්‍රකාශ කළහ.

රට තුළ හමුදා කඳවුරු ස්ථාපිතව පවතින්නේ රටේ සහ ජනතාවගේ ආරක්ෂාව පිණිස මිස සුළු ජාතීන්ට හිරිහැර කිරීමට නොවන බවත් මේවා හිතුමතේ ඉවත් කිරීමට යාමෙන් ජාතික ආරක්ෂාව අනතුරට ලක්වන බවත් උන්වහන්සේ කීහ.

නව ජනපතිවරයා වැඩ භාර ගනිමින් කළ ප්‍රකාශය තුළින්ම එතුමා හොඳ ගමනක් යන බව තහවුරු බවත් සියලු දෙනා මේ මොහොතේ පාට,පක්ෂ නොබලා එතුමාට ශක්තියක් ලබා දිය යුතු බවත් අනුනාහිමියෝ පැවසූහ.

මෙහිදී අදහස් දැක්වූ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා අපේ උතුරු නැගෙනහිර ප්‍ර දේශය පමණක් 18500 ක් වෙත්දී සංගප්පූරුවේ සමස්ත වර්ග කිලෝ මීටර ප්‍රමාණය 1000 ක් බවත් ශ්‍රීලංකාව සංගප්පූරුව මෙන් 66 ගුණයක් විශාල බවත් කීවේය.

සිංගප්පූරුව තම දළ දේශීය ආදායමෙන් 25% ක් ජාතික ආරක්ෂාව වෙනුවෙන් වෙන් කරන බවත් ත්‍රස්තවාදී ක්‍රිය හෝ කිසිවක් වාර්තා නොවුනත් ඔවුන් එතරම් මුදලක් වැය කරමින් ජාතික ආරක්ෂාව තහවුරු කරන්නේ එය ඉතාමත්ම වැදගත් නිසා බවත් හෙතෙම පැවසුවේය.

මෙම අවස්ථාවට සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාද සහභාගි විය.

අසේල කුරුළුවංශ හා මධ්‍යම පළාත් සමූහ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();