Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වසර 12කට පසුව එංගලන්තය අවසන් පූර්ව වටයට යයි

ජපන් ගමනට දකුණු අප්‍රිකානුවෝ හරස්වෙති

ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 40-16ක විශිෂ්ට ජයක් වාර්තා කළ එංගලන්තය වසර 12කට පසුව පළමුවරට ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයේ දොරටු විවර කරගත්තේය. සිය සම්ප්‍රදායික ප්‍රතිවාදිය වන ඔස්ට්‍රේලියාවට අනුකම්පා විරහිත පරාජයක් උරුම කරදුන් එංගලන්ත ක්‍රීඩකයෝ තරගය පුරා ගෝල් 4ක් සහ දඬුවම් පහර 4ක් රැස් කළහ. පසුගිය තරගාවලියේ අනුශූරයන් වන ඔස්ට්‍රේලියාවට රැස් කිරීමට හැකිවූයේ ගෝලයක් සහ දඬුවම් පහර 3ක් පමණි.

උත්සාහක දිනුම් 4ම ගෝල බවත් පත් කරමින් සහ දඬුවම් පහර 4ක් එල්ල කරමින් ලකුණු 20ක්ම රැස් කර එංගලන්තයේ ජය තහවුරු කළේ නායක ඕවන් ෆෙරල්ය. වසර 2007න් පසුව එංගලන්තය ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා දෙමින් පෙරේදා ජපානයේ ඔයිටා ක්‍රීඩාංගණයේ පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේ පළමු භාගයේ මිනිත්තු 3ක් ඇතුළත පිට පිට උත්සාහක දිනුම් 2ක් තැබීමට ජොනී මේ සමත්වූ අතර එම උත්සාහක දිනුම් දෙකම ගෝල බවට පත් කරමින් දඬුවම් පහරක් ද සාර්ථක කරගත් ඕවන් ෆෙරල් ලකුණු 17-9ක් ලෙස එංගලන්තයට පෙරමුණ ගෙන දුන්නේය.

ක්‍රිස්ටියන් ලිලිෆානෝ තරගයේ 12 වැනි මිනිත්තුවේදි දඬුවම් පහරක් රැස් කරමින් ඔස්ට්‍රේලියාව ලකුණු 3-0කින් ඉදිරියට තැබුවත් තරගයේ වාසිය එංගලන්තය දෙසට හරවා තැබුවේ ජොනී මේ ය. ඔහු මේ තරගයේ 18 වැනි සහ 21ක් වැනි මිනිත්තුවලදී උත්සාහක දිනුම් තැබූ අතර කයිලි සින්ක්ලෙයාර් 46 වැනි මිනිත්තුවේදීත්, ඇන්තනී වොට්සන් 76 වැනි මිනිත්තුවේදිත් උත්සාහක දිනුම් තැබූහ. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් එකම උත්සාහක දිනුම තබනු ලැබුවේ 43 වැනි මිනිත්තුවේදි මරිකා කොරොයිබේට් විසිනි. එය ගෝලයක් බවට පත්වූයේ ක්‍රිස්ටියන්ගේ පාදයෙනි.

නවසීලන්තයත් අවසන් හතරට

මේ අතර අයර්ලන්තයට එරෙහිව ලකුණු 46-14ක ජයක් ලබා පිට පිට තුන්වැනි වතාවටත් ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට රිංගා ගැනීමට වත්මන් ලෝක ශූර නවසීලන්තය සමත් විය. තෝකියෝ නුවර පෙරේදා පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවෙද්දී ලකුණු 22-0කින් පෙරමුණ ගත් නවසීලන්ත ක්‍රීඩකයෝ තරගය පුරා උත්සාහක දිනුම් 7ක් තැබීමට සමත්වූ අතර ඉන් 4ක්ම ගෝල බවට පත්විය. ඊට අමතරව දඬුවම් පහරක් ද ලකුණු අතරට එක්විය.

තරගයේ 6 වැනි මිනිත්තුවේදි රිචී මොවුංගා දඬුවම් පහර සාර්ථක කරමින් නවසීලන්තය 3-0කින් ඉදිරියට තැබීමෙන් පසුව 14 වැනි මිනිත්තුවේදිත්, 20 වැනි මිනිත්තුවේදිත් උත්සාහක දිනුම් 2ක් තබා නවසීලන්තයේ බලාපොරොත්තුව ඉහළ දමනු ලැබුවේ ආරොන් ස්මිත් විසිනි. එම උත්සාහක දිනුම් දෙකම රිචී මොවුංගා ගෝල බවට පත් කළේය.

අවසන් මොහොතේ වේල්සයත් ඉදිරියට

ඩෑන් බිගර්ගේ විශිෂ්ට දස්කම් හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියේ අවසන් හතරේ සිය ස්ථානය වෙන්කර ගැනීමට වේල්සය ඊයේ සමත්වූයේ අර්ධ අවසන් පූර්ව වටයේදී ප්‍රංශයට එරෙහිව ලකුණු 20-19ක තියුණු ජයක් ලබමිනි.

වේල්ස්ය රග්බි ලෝක කුසලාන තරග ඉතිහාසයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් තෙවැනි අවස්ථාව මෙයයි.

ගෝල් 2කින් සහ දඬුවම් පහර 2කින් සිය ලකුණු සංඛ්‍යාව රැස්කර ගැනීමට වේල්සය සමත් වෙද්දී, ප්‍රංශයට එක්කර ගත හැකිවූයේ ගෝල් 2ක් සහ උත්සාහක දිනුමක් පමණි.

තරගයේ පළමු භාගය නිමාවනවිටත් ලකුණු 10-19ක් ලෙස පෙරමුණ ගැනීමට ප්‍රංශය සමත්ව සිටි අතර තරගය නිමා වීමට මිනිත්තු කිහිපයක් තිබියදී ක්‍රියාත්මක ඩෑන් බිගර් සහ රොස් මොරියද්‍රි වේල්සය පෙරට ගැනීමට සමත් වූහ.

ජපානය 3-

ද.අප්‍රිකාව 26

රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ පළමුව වරට අවසන් පූර්ව වටයට ආසියානු රටක් එක්වීමේ අවස්ථාව අහිමිකළ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ ඊයේ පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් සත්කාරක ජපානය තරගාවලියෙන් ඉතවට ඇද දැමූහ.

ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වරට අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි ජපානයට ඊයේ දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 26-3ක් ලෙස පරාජය අත්විය.

දකුණු අප්‍රිකාව ගෝලයක් උත්සාහක දිනුම් 2ක් සහ දඬුවම් පහර 3ක් සමගින් ලකුණු ලබා ගනිද්දී ජපානයට එක්කර ගත හැකිවූයේ දඬුවම් පහරක් පමණි.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් වාර්තාවු දඬුවම් පහර 3 ටම හිමිකම් කී හැන්ඩ්‍රේ පොලාර්ඩ් 66 වැනි මිනිත්තුවේදී තරගයේ එකම ගෝලය වාර්තා කළේය.

දකුණු අප්‍රිකාව රග්බි ලෝක කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් 5 වැනි අවස්ථාව මෙයයි. මින් පෙර ඔවුන් අවසන් කණ්ඩායම් හතරට එක්වූ පළමු අවස්ථාවේදිම (1995) ශූරතාව දිනාගත් අතර 1999දී තෙවැනි ස්ථානයත්, 2007දී යළි ශූරතාව දිනා ගත්තේය. අවසන් වරට පැවැති තරගාවලියේ දී ඔවුන්ට තෙවැනි ස්ථානය අත්විය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();