Ticker

6/recent/ticker-posts

Header Ads Widget

යොවුන් බොක්සිං තරගාවලියේ සමස්ත බාලක ශූරතාව මහනුවර සාන්ත සිල්වෙස්තර විදුහල් පිල දිනා ගනී



බාලිකා ශූරතාව ඉංගිරිය ගාමිණී මැදි විදුහලට

රන් පදක්කම් 3ක්, රිදී පදක්කමක් අත්කර ගත් මහනුවර සාන්ත සිල්වෙස්තර විදුහල් පිල 11 වැනි යොවුන් බොක්සිං තරගාවලියේ සමස්ත බාලක ශූරතාව දිනාගනිද්දි රන් සහ රිදී පදක්කම් 3 බැගින් අත්කර ගත් ඉංගිරිය ගාමිණී මැදි විදුහල් පිල සමස්ත බාලිකා ශූරතාවට හිමිකම් කීවේය.

ජෙනරාල් ජගත් ජයසූරිය අභියෝගතා කුසලානය වෙනුවෙන් පාසල් බොක්සිං සංගමයේ මෙහෙයවීමෙන් පසුගියදා නාවලපිටිය ජයතිලක බොක්සිං වළල්ලේ පසුගියදා පැවැති මේ තරගාවලියේ බාලක අනුශූරතාව හිමිවූයේ රන් පදක්කමක්, රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් මහනුවර ත්‍රිත්ව විදුහල් පිලටය. රන් සහ රිදී පදක්කම බැගින් දිනාගත් පිළිමතලාව ධීරානන්ද මැදි විදුහල් පිල බාලිකා අනුශූරතාව අත්කර ගත්තේය.

අවුරුදු 17-18 වයස් කාණ්ඩයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විවෘත වූ මේ තරගාවලියට පාසල් සහ ක්‍රීඩා සමාජ 39ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 119ක් එක්වූහ.

බාලක තරග අංශයේ තුන්වැනි ස්ථානය නුගේගොඩ සාන්ත ජෝන් විදුහල් පිල අත්කර ගත්තේ රන්, රිදී සහ ලෝකඩ පදක්කම බැගින් දිනා ගනිමිනි.

ස්ටබ්ස් පළිහ සහ ජාතික කනිෂ්ඨ බොක්සිං තරගාවලියේ රන් පදක්කම්ලාභී විද්‍යාරතන විදුහල් පිලේ ජේ.කේ.ඩී.ටී.රස්මික මෙවර තරගාවලියේ දක්ෂතම බොක්සිං ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත්තේය. කිලෝ ග්‍රෑම් 56 බර පන්තියේ අවසන් තරගයේදි ධීරානන්ද මැදි විදුහල් පිලේ එල්.ආර්.ජී.ජී. පැහැසර පරාජය කරමින් ඔහු එම බර පන්තියේ රන් පදක්කමට හිමිකම් කීවේය. හොඳම පරාජිත ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත්තේ හංවැල්ල රාජසිංහ විදුහලේ හරේන්ද්‍ර ප්‍රියන්ත වල්පොලය.

මුලතිව් හී මුතිවන්කන්දු මැදි විදුහලේ එස්. සඳුනිකා කිලෝ ග්‍රෑම් 51 බර පන්තියේ රන් පදක්කම දිනා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වෙද්දී එම තරගයෙන් පරාජයට පත්වූ එන්.ඒ.ටී.සඳුනිකා තරගාවලියේ හොඳම පරාජිත ක්‍රීඩිකාව වූවාය.

ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ උපසභාපති සහ ආසියානු බොක්සිං තරග විනිසුරුවරුන්ගේ සහ තීරකවරුන්ගේ සංගමයේ ලේකම් විශ්‍රාමික කර්නල් හේමන්ත වීරසිංහ මහතා අතින් ත්‍යාග ප්‍රදානෝත්සවය සිදු කෙරිණි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();