මුළු මහත් ලෝකයටම ථෙරවාදී බුදු දහම බෙදා හරින ධර්ම ප්‍රචාරක වැඩපිළිවෙළ වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ කාම්බෝජය එක්ව කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා පවසයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ කාම්බෝජයේ අග නගරය වන නොම් පෙන්හි පිහිටි වට් ලංකා ප්‍රාකුසුමාරාම් (Wat Langka Preah Kosomaram) විහාරස්ථානයේ පැවැති ආගමික වතාවත්වලට පෙරේදා (10) පෙරවරුවේ එක්වෙමිනි.
මෙහි දී අදහස් දැක් වූ ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ එම කටයුතු වෙනුවෙන් දෙරටේ තානාපති සබඳතා ද ශක්තිමත් කිරීමට කටයුතු කරන බවයි.
ඒ අනුව කාම්බෝජයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් ආරම්භ කිරීමට කඩිනමින් කටයුතු කරන බවත් එතෙක් එම කටයුතු සම්බන්ධීකරණය වෙනුවෙන් කාම්බෝජයේ ශ්‍රී ලංකා කොන්සල්වරයකු සහ ශ්‍රී ලංකාවේ කාම්බෝජ කොන්සල්වරයකු පත් කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිතවරයා පැවැසීය.
ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර සබඳතාවල ඓතිහාසික පදනම වන්නේ බුදු දහම වන අතර, දෙරට අතර ආර්ථික සහ වෙළෙඳ සබඳතා ශක්තිමත් කර ගන්නවා සේම ථෙරවාදී බුදු දහම සුරක්ෂිත කර මතු පරපුරට දායාද කිරීමේ උතුම් මෙහෙවර ඉටු කිරීම වෙනුවෙන් ද සහෝදරත්වයෙන් අත්වැල් බැඳගත යුතු බව ජනාධිපතිවරයා කියා සිටියේය.
ඒ වෙනුවෙන් කාම්බෝජ රජතුමාගේ, අගමැතිවරයාගේ සහ රජයේ පූර්ණ සහාය මේ වන විට හිමිව ඇති බව පැවැසූ ජනාධිපතිවරයා දෙරටේ මහා සංඝරත්නයේ දායකත්වයෙන් එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන බව ද කියා සිටියේය.
ජනාධිපතිවරයා මෙහි දී වැඩි දුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර ආයෝජන සහ වෙළෙඳ කටයුතු පුළුල් කර ගැනීමට අදාළ සාකච්ඡා සාර්ථකව අවසන් වූ බවත් ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට කාම්බෝජ අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කළ බවත්ය.
ප්‍රා කුසුමාරාම් විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ වන සම්දෙව් ප්‍රා මහා අරියවම්ස ආචාර්ය සා ඕ චන්තෝල් හිමිපාණන් වහන්සේ විසින් මෙරට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් මෙන්ම කාම්බෝජ බෞද්ධ ජනතාවට වැඳුම් පිදුම් කිරීමට ශ්‍රී ලංකාවෙන් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශාරීරික ධාතුන් වහන්සේලා ද එරටට වැඩම කරවන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි.
ඒ අනුව ආචාර්ය ඕමල්පේ සෝභිත නායක ස්වාමීන් වහන්සේගේ ද අනුශාසනා පරිදි ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතන විහාරස්ථානයට සංඝ පරම්පරාවෙන් හිමිව තිබෙන සර්වඥ ධාතූන් වහන්සේ නමක් මෙන්ම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් කාම්බෝජයට වැඩම කරවීමට ජනාධිපතිවරයාගේ සංචාරයට සමගාමීව කටයුතු කෙරිණි.
ප්‍රා කුසුමාරාම් විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත් ජනාධිපතිවරයා අනතුරුව ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ විහාරස්ථානයේ තැන්පත් කර ඊට පුෂ්පෝපහාර දැක්වීය. අනතුරුව ජය ශ්‍රී බෝ සමිඳුන්ගේ අංකුරය පූජා කරනු ලැබීය.
කාම්බෝජ මහා සංඝරාජ හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය ද නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
විහාරාධිපති නායක ස්වාමින්වහන්සේ වෙත ජනාධිපතිවරයා විසින් සමරු තිළිණයක් පිළිගැන් වූ අතර, ජනාධිපතිවරයා වෙනුවෙන් ද විශේෂ උපහාර තිළිණයක් පිළිගැන්විණි.

0 Comments