Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පුරා විද්‍යා ස්ථාන ආරක්ෂාකර ගනිමින් ජනතාවගේ සංවර්ධන අවශ්‍යතා ඉටුකළ යුතුයි

උපාලි කරුණාරත්න

පුරා විද්‍යා ස්ථාන ආරක්ෂා කර ගනිමින් රටේ ජනතාවගේ සංවර්ධන අවශ්‍යතාද ඉටුකළ යුතු බව නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බර්නාඩ් වසන්ත මහතා පැවසීය.

ලේකම්වරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ (15) කොළඹ-07, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති ජාතික පුරා විද්‍යා සමුළුව-2019 ට සහභාගි වෙමිණි. හිටපු ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැති අතර ජලනි ප්‍රේමදාස මහත්මිය ඇතුළු නිලධාරීන් සහ විද්වතුන් රැසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

ලෝක උරුමයක් වන රන්ගිරි දඹුල්ල අවධානම් ලැයිස්තුවට ඇතුළත් වීම සම්බන්දයෙන් පැවැති ගැටලුව මේ වන විට විසදා ඇති බවද මේ අවස්ථාවට සහභගි වූ පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී මණ්ඩාවල මහතා ප්‍රකාශ කළ අතර රන්ගිරි දඹුල්ල ලෝක උරුම ලැයිස්තුවේ මෙයට පෙර හැදින්වූ නම වෙනුවට ‘රන්ගිරි දඹුල්ල කේව් ටෙම්පල්‘ ලෙස ලෝක උරුම ලැයිස්තුවේ හැදින්වීමට ලෝක උරුම කමිටුව අනුමතකර තිබෙන බවද ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා,

ජාතික පුරාවිද්‍යා සමුළුවට සජිත් ප්‍රේමදාස අමැතිතුමා ශුභාශිංසණ පිරිනමනවා. එතුමා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ කටයුතු පිළිබඳව නිරන්තරව සොයා බලනවා. මේ ආයතන තුළින් දැවැන්ත වැඩපිළිවෙළක් ද ඇමැතිතුමා මේ වන විට ආරම්භ කර තිබෙන අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ පුරාවිද්‍යා කටයුතු සම්බන්දයෙන් තිබෙන ගැටලුවලට කඩිනම් පිළිතුරු ලබා දීමට අප අමාත්‍යාංශය සජිත් ප්‍රේමදාස ඇමැතිතුමාගේ උපදෙස් පරිදී කටයුතු කරමින් සිටිනවා.

අපේ රට තුළ ඉතා විශාල පුරා විද්‍යා ස්ථාන ප්‍රමාණයක් තිබෙනවා. සෑම බිම් අඟලකම පුරාවිද්‍යාවට අදාළ ස්ථාන තිබෙන බව පැවසුවත් එය වරදක් නොවේ. මෙවැනි පසුබිමක පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රගතිය සඳහා අවංකව ක්‍රියා කරන පුද්ගලයකු වශයෙන් සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාව හඳුන්වන්න පුළුවන්.

රටේ තිබෙන පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කරන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. ඒ වගේම වටිනා පුරාවිද්‍යා උරුමය මතු පරපුරටද අප ආරක්ෂාකර දිය යුතුයි. එම කටයුත්තේ දී විශාල අභියෝග ගණනාවකට අපට මුහුණ පෑමට සිදුවනවා. මානව සම්පතේ හිගකම, මූල්‍ය දුෂ්කරතා, තාක්ෂණය ලබා ගැනීමේ ගැටලු අපට බලපානවා. විවිධ විවේචන වලටද මුහුණ පෑමට සිදුවෙනවා. ජනමාධ්‍යයන්ද පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ කටයුතු පිළිබඳව දැඩි අවධානයකින් පසුවනවා. මාධ්‍ය මඟින් පෙන්වා දෙන ගැටලු වලට අප විසදුම් ලබාදිය යුතුයි.

පුරා විද්‍යාව සම්බන්දයෙන් තිබෙන අණපනත් වර්තමානයට ගැලපෙන ලෙස සකස් කරගත යුතුයි. පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කරගැනීම මෙන්ම රටේ ජනතාව වෙනුවෙන් සංවර්ධන අවශ්‍යතා ද අප ඉටුකරන්න ඕනෙ. සංවර්ධන අවශ්‍යතා සියයට සියයක් ඉෂ්ට කරන්න ගියහොත් පුරාවිද්‍යා උරුමය විනාශ විය හැකියි. මෙහි අනෙක් පැත්තකුත් තිබෙනවා. මෙවැනි ගැටලු විසදීම සඳහා ජනතාව අතර කථිකාවතක් ඇතිවිය යුතුයි. එවිට සමතුලිත තත්ත්වයක් ඇතිකර ගැනීමට පුළුවන් වෙනවා. මේ කාර්යයයේ ප්‍රධාන වගකීමක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටද තිබෙනවා. මෙහිදී රටේ අපේක්ෂාවන් සමඟ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගලපාගත යුතුයි. විශ්ව විද්‍යාල සමඟ සම්බන්ධව කටයුතු කිරීම පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ උන්නතියට ඉතා වැදගත්. නවීන තාක්ෂණය ලබාගැනීමට හැකි ආයතන සමඟ සම්බන්ධව ක්‍රියා කළ යුතුයි.

පුරාවිද්‍යාව සම්බන්ධව ඇතිවන වැරදි සඳහා අය කරන දඩ මුදල්, දඩුවම් වැඩිකිරීම පිළිබඳව මේ වන විට අපගේ අවධානය යොමු වී තිබෙනවා. රට තුළ පුරාවස්තුවලට ආදරය කරන පිරිසක්ද ඇති කරගත යුතුයි. ඒ සඳහා දහම් අධ්‍යාපනය සහ පාසල් අධ්‍යාපනය ලබන දරු දැරියන්ව දැනුවත් කරන්න ඕනෙ.

පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී මණ්ඩාවල මහතා -

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මේ සමුළුව ඉතා වැදගත්. මේ සමුළුවට සහභාගි වන හේමා ප්‍රේමදාස මහත්මිය රණසිංහ ප්‍රේමදාස මැතිතුමා අගමැති සහ ජනාධිපතිධූර දැරූ කාලයන්හි රටේ විවිධ කටයුතු සම්බන්ධයෙන් සොයා බලමින් ක්‍රියා කළ ආකාරය අපට මතකයි. දළදා මාලිගාවේ පිළිසකර කටයුතු සම්බන්ධයෙන් එදා එතුමිය සොයා බැලුවා. ජලනි ප්‍රේමදාස මහත්මියද පසුගිය දිනවල ඇතිවූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් හානි වූ සිද්ධස්ථාන පිළිසකර කිරීමේ වැඩපිළිවෙළල පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කළා.

අවුරුදු 129ක ගමන තුළදී පසුගිය කාලයේ දී පුරා විද්‍යා ක්ෂේත්‍රයේ ජයග්‍රහණ ගණනාවක් ලබාගැනීමට අපට හැකි වී තිබෙනවා. පුරා වස්තු ආඥා පනත සංශෝදනය කිරීමට අප හැකිවුණා. එය දැන් තිබෙන්නෙ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ. කැනීම්, සංරක්ෂණය සම්බන්දයෙන් තිබෙන නීතිරීති ගැටලු පිළිබඳව සොයා බලා ඒවාට පිළියම් යෙදීමටද කටයුතු යොදමින් සිටිනවා. ලෝක උරුම ස්ථානයක් වන දඹුල්ල සම්බන්ධයෙන් පැවැති ගැටලුකාරී තත්ත්වය මේ වන විට ඉවත්කරගෙන තිබෙනවා. ඇමැතිතුමාගේ උපදෙස් මත ලෝක උරුම මධ්‍යස්ථානය හා නිසි ආකාරයෙන් කටයුතු කළ නිසා අවදානම් ලැයිස්තුවෙන් දඹුල්ල ඉවත්කර ගැනීම හැකිවුණා. දඹුලු විහාරය ලෝක උරුම මධ්‍යස්ථානයේ හඳුන්වාදුන් නාමය වෙනස් කිරීමට අප යෝජනා කළ නාමයද ලෝක උරුම මධ්‍යස්ථානය පිළිගෙන තිබෙනවා.

පුරාවිද්‍යා ආයතනයට අයත් පුරාවිද්‍යා බිම්වල සිටි මුරකරුවන් ගණන වැඩිකරමින් තිබෙනවා. අනෙකුත් සේවක සංඛ්‍යාවන්ද වැඩිකරමින් සිටිනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගැටලු පිළිබඳව පිළිතුරු ලබාදීමට ඇමැති සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරනවා. පසුගිය වසරේ අපට ලැබූ වියදම්වලින් සියයට 94.4ක ප්‍රගතියක් අප ලබාගෙන තිබෙනවා. අප සියයට සියයක ප්‍රගතියක් කරා ගමන් කළ යුතුයි. අනවසර කැනීම් සම්බන්දයෙන් අපට ගැටලු තිබෙනවා.

මේ අවස්ථාවේ දී පුරාවිද්‍යා පර්යේෂණ ප්‍රකාශන හයක් එළි දැක්වූ අතර විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳව පුරා විද්‍යා පර්යේක්ෂකයන් කළ ගවේශණ පිළිබඳව තොරතුරු ද ඉදිරිපත් කරන ලදී.

ඡායාරූපය- කැලුම් ලියනගේ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();