හෙට පිටියට යනවා 11 ක් දෙන්න කිව්වා ම දිමුත් 11ක ටීම් එකක් දුන්නා. මම ඒ ටීම් එක නම් කරන්නේ නෑ. ඒ සියලු ම දෙනා එකතු කරන එක තමයි අපේ කාර්යය වෙන්නේ. මෙවර ක්‍රිකට් ලෝක කුසලානයට පෙර පැවැති මාධ්‍ය හමුවේදි ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති සහ කණ්ඩායම් කළමනාකරු ලෙස කටයුතු කළ අසන්ත ද මෙල් පැවැසීය. එකී මාධ්‍ය හමුවේදී ම ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා කණ්ඩායම යනු නම් ගොඩක් පමණක් බවයි.
ක්‍රිකට් ලෝක කුසලානය ආරම්භ වීමට ඔන්න මෙන්න කියා තිබියෙදි වසර හතරකින් අන්තර් ජාතික එක්දින තරගයක් ක්‍රීඩා නොකළ එකෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වන බවට වාර්තා පළවන විට පිටරට්ටු විතරක් නොවෙයි අපේ ම උනුත් දෙකොනින් ම හිනා වුණු විත්තිය රහසක් නොවෙයි. එක්දින තරගවලින් දිම්මා ක්‍රිකට් දිවිය පටන් අරගෙන ටෙස්ට් ක්‍රිකට්වලට ආදරය කරපු නිසා ම එයට වැඩිපුර අවධානයක් යොමු කළ විට එක්දින තරග හැලුණු බව ද රහසක් නොවෙයි. නමුත් අවුරුදු හතරකට පස්සේ ඇවිත් දිම්මාට ආඩපාලි කියූ - සිනාසුණු උන්ට නායකයකු ලෙසත් ක්‍රීඩකයකු ලෙසත් එක්දින තරගවල යමක් කළ හැකි බව මේ තරගාවලියේදි දිම්මා ඕනෑවටත් වඩා ඔප්පු කළේය.
මෙවර ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායමට දිම්මා කර ගසන විට අප ශ්‍රේණිගත කිරීම්වල 9 වැනි ස්ථානයේ පසුවූ අතර, ඇෆ්ගනිස්තානය දහවැනි ස්ථානයේ පසු විය. පසුගිය ආසියානු තරගාවලියේදී ඇෆ්ගනිස්තානයටත් පරාජය වූ නිසා බොහෝ දෙනා බලා සිටියේ ඇෆ්ගනිස්තානයෙන් පවා මෙවර ගැලවීමක් නොමැති බවය. ඇෆ්ගනිස්තානයේ රෂිඩ් ඛාන් පවා මේ නිසා ම කල් ඇතිව ම අනාවැකි පළකර තිබුණේ දෙන්නම් බැටේ න්‍යායෙන්ය. ඒත් අඩුම ලන්සුවේ හිටපු ශ්‍රී ලංකා කණ්ඩායම සත්කාරක එංගලන්තය පරාජය කිරීම මෙවර තරගාවලියේ සිදු වූ විශාලම පෙරලිය ලෙස ද හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාව මේ තරගාවලියේ අත්පත් කර ගත් ජයග‍්‍රණයන්හි වැඩිබර මාලිංග සතු විය. සම සේ බෙදී යා යුතු වගකීම් දිම්මා, ඇන්ජි, කුසල් ජනිත් වැනි අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු ක්‍රීඩකයන් පිරිසක් මත පැටවෙන විට ඔවුන්ට ද මේ පීඩනය දරාගත නොහැකි විය.
මෙකී තරගාවලිය පුරාම ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරුවන් දිගින් දිගට ම අසාර්ථක විය. මේ නිසා ම හිමි කරගත හැකිව තිබූ ජයග්‍රහණ පවා කණපිට පෙරළිණි. මෙරට සමාජ මාධ්‍ය, විද්‍යුත් නාළිකා පවා ක්‍රීඩකයන්ට නැගිටින්නට පවා ඉඩ නොතබා දිගින් දිගට ම පහර දුන්නේ තරහකාරයන්ගෙන් පලි ගන්නා ආකාරයටය. දිගින් දිගටම වූ ප්‍රහාර හමුවේ පවා තරග ජය ගන්නට මාර්ග සොයා ගන්නට මාර්ග සකසා ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් උත්සාහ කිරීම අගය කළ යුතුය. අවසන් තරග කිහිපයට කණ්ඩායමට එක්වූ අවිශ්ක වැනි පිතිකරුවකුට මේ තරගාවලිය ආරම්භයේ පටන් ම කණ්ඩායමේ තැනක් වෙන් කිරීමට බලධාරින් උත්සාහ නොකිරීම බලවත් අඩුපාඩුවකි. අප තවත් සනත්ලා, අරවින්දලා, මහේලලා, සංගලා හදන්නට වැර දරනවාට වඩා නැගිටින අවිශ්කලාට දෑත් දිගු කිරීමට වගබලා ගත යුතුය. මුල් කාලයේ සැහැල්ලුවෙන් ලකුණු අතර සිටි කුසල් මෙන්ඩිස්ට එකී සැහැල්ලුව මිස පීඩනය ළඟා නොකිරීමට වගබලා ගත යුතුය. අපට අවශ්‍ය වන්නේ ලාංකේය අවිශ්කලා, කුසල්ලා මිසක් වෙන කොහෙවත් ඉන්න ක්‍රීඩකයන් නොවේ.
දැන් අවශ්‍ය වන්නේ පරණ කුණු කඳු තව තවත් සෝද සෝදා මඩේ ඔබන එක නොව, අනාගතය පිළිබඳ වැඩක් කළ හැකි සැලසුමක් ඇති මිනිසුන්ය. ශ්‍රී ලංකාව මේ තරගාවලියේ තරග සියල්ල පරාජ වී පැමිණිය ද ක්‍රිකට් අත හරින්නට සූදානම් ජනතාවක් රට තුළ නැත. ඒ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට හැකි වටපිටාවක් සැකසීමේ හැකියාව ඇත්තේ බලධාරීන්ටය. වසර හතරකට පසු කණ්ඩායමට පැමිණ, නායකත්වයේ බරට කර ගසමින් ශ්‍රී ලංකාව මේ තරම් දුර ගෙන ඒම පිළිබඳ දිම්මා සතුටු වෙයන්....
from silumina
0 Comments