ලෝක කුසලාන ක්‍රිකට් තරග බිමේ නොයෙක් වාර්තා බිහිවෙමින් නොසිතූ කණ්ඩායම් ඉදිරියට පැමිණෙමින් අවසන් මහා තරගයට ළඟා වෙමින් තිබේ.
ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් වේග පන්දු යවන ලසිත් මාලිංග ඉකුත් සතියේදී නව වාර්තාවකට හිමිකම් කීවේය.
ඒ අඩුම තරග සංඛ්‍යාවකින් ලෝක කුසලාන තරගවලදී කඩුලු 50 දවා ගත් ක්‍රීඩකයා බවට පත් වෙමිනි. ලසිත් මාලිංග තරග 26 ක් පමණක් ක්‍රීඩා කරමින් කඩුලු 50 දවා ගත්තේය.
එහෙත් මේ වාර්තාව මෙවර ලෝක කුසලානය තුළදීම ලසිත් මාලිංගට අහිමි වන ලකුණු පහළ වී තිබේ.
ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන මිචෙල් ස්ටාර්ක් මේ වන විට ලෝක කුසලාන තරග වලදී කඩුලු 46ක් දවා ගෙන තිබේ. ඒ සඳහා ඔහු ක්‍රීඩා කර ඇත්තේ තරග 16ක් පමණක් වීම විශේෂත්වයකි.
මීට අමතරව ඔහු තවත් වාර්තාවකට හිමකම් කීමට ළඟා වෙමින් සිටියි. ඒ ඔස්ට්‍රේලියානු වේග පන්දු යැවූ ග්ලේන් මැග්රා විසින් දවා ගත් ලෝක කුසලාන එක් තරග මාලාවකදී වැඩිම කඩුලු සංඛ්‍යාවයි.
එහිදී මැග්රා කඩුලු 26ක් දවා ගැනීමට සමත් වූ අතර මේ වන විටත් මිචෙල් කඩුලු 24ක්ම දවා ගෙන තිබේ.
2015 – 2019 දක්වා පැවැති ලෝක කුසලාන තරගාවලිවලට මිචෙල් සහභාගි වී තිබේ.
වමතින් වේග පන්දු යවන මිචෙල් තවමත් 29 වැනි වියේ පසුවන අතර ඔහු 2023 පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සහභාගි වුවහොත් ලෝක වාර්තා කිහිපයක්ම බිහි කරනු ඇතැයි විචාරකයෝ පවසති.
ලෝක කුසලාන තරගවලදී වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නන් අතර හයවන ස්ථානයේ පසුවන මිචෙල් අන්තර්ජාතික එක්දින තරගවලදී තරග 83 කදී කඩුලු 169 දවා ගැනීමට සමත් වී ඇත. විස්සයි විස්ස තරග වලදී ද දක්ෂතා දක්වා ඇති මිචෙල් තරග 23 කදී කඩුලු 31 දවා ගෙන තිබේ.
ලෝක කුසලාන තරගවලදී කඩුලු 05 බැගින් දවා ගත් අවස්ථා තුනකට හිමිකම් කීමට ද මිචෙල්ට හැකි වී තිබේ. මෙවර ලෝක කුසලාන තරගවලදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ජයග්‍රහණ රැසකට ම තම දායකත්වය උපරිමයෙන් ලබා දීමට මිචෙල්ට හැකි වී තිබේ.
නවසීලන්තයට එරෙහිව ඉකුත් සතියේ පැවති තරගයේදී ප්‍රතිවාදීන්ගේ කඩුලු පහක් බිඳ හෙළමින් ඔස්ට්‍රේලියාවට ජය අක්කර දුන් මිචෙල් ස්ටාර්ක් මාධ්‍ය හමුවේ මෙසේ කීය.
“මම මට පුළුවන් හොඳම දේ මගේ කණ්ඩායම වෙනුවෙන් සිදු කරනවා. ජාතික කණ්ඩායමට තේරීමත් විශේෂයෙන්ම ලෝක කුසලාන කණ්ඩායමට සහභාගි වන්න ලැබීමත් ලොකු භාග්‍යයක්. ඒ නිසා කණ්ඩායමට උපරිම දේ සිදු කිරීම මගේ වගකීම කියලා මට හිතෙනවා.
මම මේ කණ්ඩායමේ එක් සාමාජිකයෙක් පමණයි. ලබා ගන්නා ජයග්‍රහණ අපි තනියම ලබා ගන්නා ඒවා නොවෙයි; කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන්ගේ කැපවීමෙන් ලබා ගන්නා ජයග්‍රහණ.
අනික ඔස්ට්‍රේලියාවට ලෝක කුසලානය දිනා ගන්න බැරි වුණොත් මේ වාර්තා කිසිම දෙයකින් වැඩක් නැහැ.”
from silumina
0 Comments