Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සාමය-ආර්ථික සමෘද්ධිය උදා කර ගැනීමට ආසියාතික රටවල බැඳීම සහ සහෝදරත්වය ඉතා වැදගත්

ආසියාවේ අන්තර් ක්‍රියාකාරීත්වය සහ විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ 5වැනි සමුළුවේ දී ජනපති කියයි

ගෝලීය ත්‍රස්තවාදය පරාජය කරමින් සාමය සහ ආර්ථික සමෘද්ධිය උදා කර ගැනීමට කැපවීමේ දී ආසියාවේ සියලු රටවල් අතර තිබෙන බැඳීම සහ සහෝදරත්වය ඉතා වැදගත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

එමෙන්ම ආසියාවේ බලය යටපත් කිරීමට වෙනත් කිසිදු බාහිර බලවේගයකට ඉඩ නොතැබිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේ පෙරේදා (15) පෙරවරුවේ ටජිකිස්ථානයේ, දුෂාන්බේ Navruz සම්මන්ත්‍රණ ශාලවේ දී මුළු දුන් ආසියාවේ අන්තර් ක්‍රියාකාරීත්වය හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ 5වැනි සමුළුව අමතමිනි.

චීන ජනාධිපති ෂී ජින් පින්, රුසියා ජනාධිපති ව්ලැඩ්මිර් පුටින්, තුර්කි ජනාධිපති තයියීප් එර්දොවාන්, ඉරාන ජනාධිපති හසාන් රූහානි යන මහත්වරුන් ඇතුළු ආසියාවේ බලවත් රටවල රාජ්‍ය නායකයන්ගේ සහ ප්‍රධාන පෙළේ නියෝජිතයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ටජිකිස්ථාන ජනාධිපති එමොමාලි රාමොන් මහතාගේ ප්‍රධානත්වයෙන් සමුළුව අභිමානවත්ව ආරම්භ කෙරිණි.

ආසියාවේ අන්තර් ක්‍රියාකාරීත්වය හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ සමුළුව, ආසියාවේ සාමය, ආරක්ෂාව හා ස්ථාවරභාවය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ සහයෝගීතාව වැඩි දියුණු කිරීමේ අරමුණින් 1992 වසරේ දී ස්ථාපිත කරන ලද බහුජාතික සංසදයකි.

ශ්‍රී ලංකාව 2012 වසරේ සිට එහි නිරීක්ෂණ රාජ්‍යයක් ලෙස කටයුතු කොට තිබෙන අතර, එහි සාමාජික රාජ්‍ය 26 විසින් 2018 අගෝස්තු 15 වැනි දින ශ්‍රී ලංකාව සාමාජික රාජ්‍යයක් ලෙස ඒකමතිකව පිළිගන්නා ලදි. ඒ මේ සමුළුවේ පූර්ණ සාමාජිකත්වය ලබාගැනීම සඳහා නව සාමාජික රාජ්‍යයන් විසින් අත්සන් තැබිය යුතු අනිවාර්ය ලේඛන ද්විත්වය වන සාමාජික රාජ්‍යයන් අතර සම්බන්ධතා මෙහෙයවන ප්‍රතිපත්ති ප්‍රකාශනයට හා ‘අල්මාට් කතිකාව’ ට අගෝස්තු 15 වැනි දින චීනයේ බීජිං නුවර දී අත්සන් තැබීමෙන් අනතුරුවය.

චීනය, රුසියාව, ඉරානය, ඉරාකය, තුර්කිය, ඉන්දියාව, පාකිස්ථානය, කොරියාව, ඇෆ්ගනිස්ථානය, අසර්බයිජානය, බහරේනය, බංගලාදේශය, කාම්බෝජය, ඊජිප්තුව, ඊශ්‍රාලය, ජෝර්දානය, කසකස්ථානය, කිරිගිස්ථානය, මොංගෝලියාව, පලස්තීනය, කටාරය, ටජිකිස්ථානය, තායිලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා වියට්නාමය යන රටවල් මෙහි සාමාජිකත්වය දරති. එම සාමාජික රටවල් සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික, ආර්ථික හා වෙළෙඳ සහයෝගීතාව මෙන්ම අන්තර් පුද්ගල සබඳතා ද තව දුරටත් වැඩි දියුණු කර ගැනීමට මේ සමුළුව ඉතා වැදගත් වන අතර, ඒ පිළිබඳ ජනාධිපතිවරයා සමුළුව තුළදී විශේෂ අවධානයක් යොමු කර තිබිණි.

ආසියාවේ අන්තර් ක්‍රියාකාරීත්වය හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ සමුළුව අමතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද පැවැසීය.

CICA සමුළුව සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කිරීම පිළිබඳව පළමුවෙන්ම මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. විශේෂයෙන්ම ආසියාතික රටවල සාමාජිකත්වය දරන CICA අනාගත ලෝකයට මුහුණදීම සඳහා ඉතාමත් හොඳ සංවිධානයක්. ලෝකයේ ඉදිරි සියවස ආසියාවේ සියවස ලෙසයි අපි කවුරුත් සලකන්නේ. ඒ නිසා අප CICA සමුළුව තුළින් යහපත් ලෝකයක් දිනා ගැනීමට සහ සාමයට කැපවිය යුතු වෙනවා.

සාමයට කැපවීමේ දී අප සියලුදෙනා තුළ තිබිය යුතු සමඟිය සහ සහෝදරත්වය ඉතා බලවත්. පසුගිය අප්‍රේල් 21 වැනිදා ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මම මෙහි දී ඉතා වේදනාසහගතව සිහිපත් කරනවා. එම ත්‍රස්ත ප්‍රහාරය සමඟ ශ්‍රී ලංකාව තවමත් කටයුතු කරන්නේ එම අභියෝගය ජයග්‍රහණය කිරීම සඳහායි. ශ්‍රී ලංකා රජයටත්, අපගේ ආරක්ෂක හමුදාවලටත් ත්‍රස්තවාදය පරාජය කිරීමේ ශක්තිය පැහැදිලිව තිබෙනවා.

CICA සාමාජික රටවල් ලෙස මේ ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා සියලුදෙනාගේ සහෝදරත්වය සහ බැඳීම ඉතාමත් අවශ්‍යයි. ආසියාවේ බලය යටපත් කිරීමට වෙනත් බලවතුන්ට ඉඩ දෙන්න එපා කියලා මම මෙහිදී ඉල්ලා සිටිනවා. ඉදිරි සියවස ආසියාවේ සියවස ලෙස සාමයත් ආර්ථික ශක්තියත් සෑම අතින්ම බලවත් විය යුතුයි කියා මම විශ්වාස කරනවා. මේ සියලුදේට අවශ්‍ය වන්නේ අධි තාක්ෂණය තුළ සාමය ගොඩනැඟීමයි. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් රටවල ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට CICA කැපවිය යුතුයි කියා මම විශ්වාස කරනවා.

මානව හිමිකම් කඩවන රටවල තිබෙන ස්වාධීනත්වයට හානි කරන්න එපා කියා මම විශේෂයෙන් ඉල්ලීමක් කරනවා. සෑම රටකටම නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ඉතාමත් වැදගත්. රටවල නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කිරීම හෝ රටවලට තර්ජන සහ බලපෑම් කිරීම කිසිවිටෙකත් සිදු නොවිය යුතුයි. CICA සාමාජික රටවල ආර්ථික සහ වෙළෙඳ ප්‍රතිපත්ති සෑමවිටම සරල විය යුතුයි. තිරසර සංවර්ධනය සඳහා කැපවී සිටින අප තිරසර සංවර්ධන ඉලක්ක සම්පූර්ණ කර ගැනීම සඳහා CICA ප්‍රතිපත්ති ශක්තිමත් කළ යුතුයි. ඒ නිසා ඔබ සියලු දෙනාගෙන්ම මා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ සමඟිය ශක්තිය පෙරදැරිව CICA සමුළුව ඉදිරියට ගෙන යෑමේ වැදගත්කමයි.

CICA සමුළුව ප්‍රධාන වශයෙන් අනාගත අභියෝග හඳුනා ගැනීම අවශ්‍ය වෙනවා. ඒ තුළ අපට ඉදිරියට යෑම වඩාත් පහසුයි. මේ සියල්ලටම අවශ්‍ය වන්නේ සමඟිය. ඒ වගේම සාමය. සාමය තුළ තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට පුළුවන්. මෙහි දී කලාපීය සාමය ඉතාමත් වැදගත්. කලාපීය සමඟිය ශක්තිමත් කිරීමට CICA අරමුණු ඉතා වැදගත් වේ යැයි මා විශ්වාස කරනවා.

ඒ වගේම සාමය වැදගත් වෙනවා දුගී භාවය තුරන් කිරීමට. සාමය දුගී භාවය තුරන් කිරීමට වැදගත් වගේම දුගී භාවය අවම කිරීමට ත්‍රස්තවාදය අවසන් කළ යුතු වෙනවා. ඒ නිසා ප්‍රධාන වශයෙන් CICA අරමුණුවලදී සාමය සහ සමඟිය ඉතා වැදගත්, ආර්ථික අරමුණු ශක්තිමත් කර ගැනීම ඉතාමත් වැදගත්. අනාගත සියවසේ දී ආසියාව සම්පූර්ණයෙන් දුගී බවෙන් තොර ආසියාවක් කර ගැනීමට අප සම්පූර්ණයෙන් කැපවිය යුතු වෙනවා. එම අරමුණු ඉටු කර ගැනීමට ඔබ අප සියලුදෙනා එක්ව කැපවෙමු යැයි මම සියලුදෙනාට ගෞරවයෙන් ආරාධනා කරනවා.

ඡායාරූප - සුදත් සිල්වා

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();