ත්‍රස්තවාදී ප්‍රහාරයන් එල්ල වීම සම්බන්ධයෙන් ඒ රට තුළ ආරක්ෂාව සම්බන්ධව ගැටළු පැන නැගෙන නමුත්, ඒ හැම දේකටම වඩා ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තියෙන සහයෝගීතාවය වැදගත් බව පවසමින් පාකිස්තානු යොවුන් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ තරග සංචාරයක සහභාගිකරවීම සම්බන්ධව තමන් පාකිස්තානු අග්‍රාමාත්‍යවරයාගේ සිට එම කණ්ඩායමේ සාමාජිකයන්ට ස්තූතිවන්ත වන බව හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.
ත්‍රස්තවාදී ප්‍රහාර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්බන්ධව කිසියම් ගැටලුකාරී තත්ත්වයක් ඇතිවී තිබුණත් ඒ සියල්ල පසෙකළමින් එක්දින තරග 5කින් සමන්විත තරගාවලියකට පාකිස්තානු වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ශ්‍රී ලංකාවට එවීමට පාකිස්තාන ක්‍රිකට් සභාපති එෂාන් මානි ප්‍රමුඛ පාකිස්තානු ක්‍රිකට් පාලක මණඩලය පියවර ගනු ලැබීය. මේ තරගාවලියේ සමාරම්භය ඉකුත් ඉරිදා දින හම්බන්තොටදී පැවැති අතර එහිදී පිළිගැනීමේ කතාව කරමින් හිටපු සභාපතිවරයා ඉහත අදහස් පළ කර සිටියේය.
“ත්‍රස්තවාදය එන්න පුළුවන් යන්න පුළුවන්. නමුත් ඒ හැම දේකටම වඩා දෙරට අතර තියෙන සහයෝගිතාව වැදගත් බව අපේ මිතුරු පාකිස්තානු ක්‍රිකට් සභාපති එෂාන් මානි මහතා කිව්වා. ඒ අනුව තමයි මේ යොවුන් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සහභාගි වුණේ. මේ සම්බන්ධව පාකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් මහතා පවා සඳහන් කර සිටියේ ඕනෑම අවස්ථාවකදී පාකිස්තානයේ සහයෝගය ශ්‍රී ලංකාවට ලබා දෙන බවයි” යැයි සුමතිපාල මහතා පවසයි.
ශ්‍රී ලංකා කණ්ඩායම ඉලක්ක කරගනිමින් එල්ල කරන ලද ප්‍රහාරය හේතුවෙන් විදෙස් රටවල් පාකිස්තානයට ගොස් තරග කිරීම ප්‍රතික්ෂේප කර සිටින අවස්ථාවකදී තම සභාපතිත්වය යටතේ විස්සයි20 තරගයකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට යැවීමට තම සභාපතිත්වය යටතේ කටයුතු කළ බවද මතක් කර දුන් ඒ මහතා, මේ අවස්ථාවද දෙරට අතර සහෝදරත්වයේ දෑත් දිගු වුණු, එහෙමත් නැත්නම් එකමුතු කම පෙන්වීමට කදිම නිදසුනක් බවද පෙන්වා දුන්නේය.
“මට දැන ගන්න ලැබුණා මේ තරගාවලියට සහභාගිවීම පිළිබඳව පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය මේ දරුවන්ව දැනුවත් කරපු අවස්ථාවේ දෙමව්පියන් දැඩි කනස්සල්ලකට පත් වුණු බව. නමුත්, තරගාවලියට පිටත්ව යෑම පිළිබඳව මතය විමසීමේදී මේ දරුවන් සියල්ලම තරගාවලියට සහභාගිවීමට කැමැති බව පවසලා තියෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව පිළිබඳව විශ්වාසය තැබීම ගැන මම ඔබලාට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මේ වෙනුවෙන් කටයුතු යොදවා අපේ හිතවත් එෂාන් මානි මහතා මෙන්ම අගමැති ඉම්රාන් ඛාන් මහතාටත් මාගේ පෞද්ගලික ගෞරවය මේ අවස්ථාවේදී පුද කරනවා” යැයිද තිලංග සුමතිපාල මහතා අදහස් දැක්වීය.
0 Comments