Ticker

6/recent/ticker-posts

Header Ads Widget

උපාධිධාරීන් 22000ක් උතුරු-නැඟෙනහිර සංවර්ධනයට ඉදිරියේදී යොදා ගන්නවා

චන්දිමා කරුණාරත්න

ඉදිරියේ දී උපාධිධාරීන් 22000ක් බඳවා ගැනීමට කටයුතු කරන බවත් ඉන් කොටසක් උතුරු-නැඟෙනහිර ප්‍රදේශයන්ට යොමු කර සංවර්ධන කටයුතු සඳහා දායක කරවීමට බලාපොරොත්තු වන බවත් අගමැති රනිල් වික්‍රමසංහ මහතා පැවසීය.

අගමැතිවරයා මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයේදී ඊයේ (27) පැවැති ' තල් සංවර්ධන අරමුදල' ස්ථාපිත කිරීමේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි.

' තල් සංවර්ධන අරමුදල' සඳහා ලැබෙන මුදල් යුද්ධයෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශවල සංවර්ධන කාර්යයන් සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් මඟින් යෙදවීමට කටයුතු කරන අතර එම සංවර්ධන කාර්යයන්ට අමතරව මත්පැන්වලට ඇබ්බැහිවීම , තරුණ සේවා වියුක්තිය , සිවිල් සමාජය ආරම්භ කරන ලද උපදේශන හා උපකාරී වැඩසටහන් සඳහා ද මෙම අරමුදල් යෙදවීමට කටයුතු කෙරේ.

ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු , නැවත පදිංචි කිරීම් සහ පුනරුත්ථාපන , උතරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යංශයේ ලේකම් වී. සිවඥානසෝති මහතා 'තල් සංවර්ධන අරමුදල' යෝජනාවලිය පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්දන් මහතා වෙත ප්‍රඳානය කිරීම සිදු විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසංහ මහතා මෙසේද පැවසුවේය.

තල් අරමුදල පිහිටුවීම සිදු කිරීම නිසා අද විශේෂ දවසක් වෙනවා. උතුරු නැඟෙනහිර ප්‍රදේශ වල සංවර්ධනය සඳහා මුදල්වෙන් කරන්න කියා ඒ ප්‍රදේශයේ මන්ත්‍රීවරු විශේෂයෙන් ඉල්ලීම් කර තිබුණා. මුදල් අමාත්‍යංශය මඟින් මෙම තල් අරමුදල සම්බන්ධව අය-වැය යෝජනාව සකස් කළා. ඒ ඒ ප්‍රදේශවල මන්ත්‍රීතුමන්ලා සංවර්ධනය සඳහා වන තම තමන්ගේ යෝජනා ඉදිරිපත් කරන විට ඒවාට අනුව මුදල් ලබාදීමට මේ අරමුදල හරහා අපට හැකියාව ලැබෙනවා.මේ සම්බන්ධ කටයුතු ඉතා ඉක්මනින් පාර්ලිමේන්තු පණතක් මඟින් සිදු කරනවා. එම ප්‍රදේශවල ආර්ථික සහ සමාජීය සංවර්ධනය සඳහා මෙම තල් අරමුදල දියත් කිරීම සිදු කරනවා.

අයවැය යෝජනාවන්ගෙන් මේ අරමුදල ආරම්භ කරන්න මුදල් වෙන් කිරීම සිදු කළා. ඒ අනුව විශේෂයෙන්ම ඒ ප්‍රදේශ වල සංවර්ධන කටයුතු සිදු කිරීමට අවස්ථාව ලැබෙනවා.

සම්බන්දන් මහතා ප්‍රකාශ කළ ආකාරයට මෙම අරමුදල බිලියන 2.5 කින් ආරම්භ කරනවා. පෞද්ගලික අංශය, ඩයස්පෝරාව සහ ශ්‍රී ලංකා රජය දායකත්වය ද ඒ සඳහා ලබා ගන්නවා.

අද මෙම ව්‍යාපෘතිය හරහා බිලියන 2.5 ක් වෙන් කරන බව මම මතක් කරනවා. ඉතිරි බිලියන 2.5 ක මුදල ඉදිරියේදී ලබා දීම සිදු කරනාව. ඒ සමග ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන යටතේ බිලියන 7ක් මේ ප්‍රදේශ සඳහා වෙන් කර තිබෙනවා. මේ වසර අවසන් වන විට මේ උතුර , නැඟෙනහිර ප්‍රදේශ වෙනුවෙන් සම්පූර්ණයෙන්ම බිලියන 50 ක් පමණ ප්‍රාග්ධන වියදම් වෙන් කර තිබෙනවා .

නිවාස 4750 ක ප්‍රමාණයක් මේ වන විටත් ඉදි කිරීම් ආරම්භ කර තිබෙනවා , නිවාස 5250 ක් ඉදිරි මාස දෙක ,තුන ඇතුළත සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. තාක්ෂණය පදනම් කරගනිමින් නිවාස 7000 ක් ද සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා.ඊට අමතරව එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ද උතුර සහ නැඟෙනහිර ප්‍රදේශ වල කුඩා ව්‍යාපාරිකයන් සඳහා නිවාස සාදා ගැනීමට වැඩපිළවෙළක් සිදු වෙනවා.උපාධිධාරීන් 22000 ක් ඉදිරියේ දී බඳවා ගැනීමට කටයුතු කරනවා. ඉන් කොටසක් මේ ප්‍රදේශ සඳහා ද යොමු කරනවා.උතුරු නැඟෙනහිර ප්‍රදේශවලට යුද්ධය නිසා ඇති වූ හානිය විශේෂයෙන් පැවසිය යුතු නැහැ. අප මේ ප්‍රදේශවල සංවර්ධනයට වැඩි අවධානයක් යොමු කර තිබෙන්නේ එම නිසායි.මේ සියලු කටයුතු හරහා උතුර , නැඟෙනහිර සංවර්ධනය කරන්න කටයුතු කරනවා. යුද්ධයෙන් විනාශයට පත් වූ මෙම ප්‍රදේශ නැවත සංවර්ධනය ක්‍රියාවන් සඳහා මුදල් වෙන් කර තිබෙනවා. තල් සංවර්ධන අරමුදල හරහා ද වේගවත් ආර්ථික සංවර්ධනයක් ලබා ගන්න හැකි වෙයි කියා හිතනවා. ඒ සඳහා ඉක්මනින්ම එම කටයුතු සිදු කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ සමඟ රටේ අනිකුත් පළාත් වලත් දියුණුව සඳහා මුදල් වෙන් කර තිබෙනවා. ඒ වෙනුවෙන් මුදල් අැමැති මංගල සමරවීර මහතා කටයුතු කරනවා.මේ අනුව විශාල වැඩ කොටසක් මේ අවුරුද්දේ බාරගෙන තිබෙනවා. ඉන් පළමුවෙන්ම වෙන් කරලා තිබෙන මුදල් හැම සතයක්ම වියදම් කර ආර්ථිකයට තව මුදල් එකතු කර ගැනීමට අප විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා.

මුදල් අැමැති මංගල සමරවීර මහතා-

අද මෙම තල් සංවර්ධන අරමුදල පිහිටුවීමට ලැබීම පිළිබඳව සතුටු වෙනවා.අයවැය යෝජනාවක් ලෙස මෙය ඉදිරිපත් කළා. උතුරු නැඟෙනහිර ප්‍රදේශ වල සංවර්ධන ක්‍රියාවන් වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමට මේ හරහා හැකියාව ලැබෙනවා. මෙම සියලු කටයුතු හරහා ආර්ථික සංවර්ධනය ඇති කිරීමට ආණ්ඩුව විශ්වාස කරනවා. සියලු ශ්‍රී ලාංකිකයන් මෙම සංවර්ධන කටයුතු වල කොටස්කරුවන් වෙනවා. මෙම අරමුදල පිහිටුවීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී සම්බන්දන් මහතා යෝජනාව ඉදිරිපත් කලා. අපි එයට එකඟතාවය පළ කළා. ආණ්ඩුව , පෞද්ගලික අංශයේද සහය ඇතිව ඒ සඳහා මුදල් වෙන් පරිත්‍යාග කරනවා. අද දිනයේ බිලියන 2.5 ක මුදලක් පරිත්‍යාග කිරීම සිදු කරනවා. ඉක්මනින්ම පාර්ලිමේන්තු පනතකින් මෙම අරමුදල ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉදිරි මාස දෙක තුන ඇතුළත එය සිදුකරන්නට බලාපොරොත්තු වෙනවා. උතුරු නැඟෙනහිරි පළාත් වල තිබෙන ප්‍රශ්න විසඳීම සඳහා අප ආණ්ඩුව කැපවී ක්‍රියා කරනවා. ඒ හරහා එම ප්‍රදේශ ද නැවත යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්දන් මහතා -

අද දිනයේ මෙම තල් සංවර්ධන අරමුදල වැඩසටහන පිහිටුවීම ගැන සතුටු වෙනවා. යුද්ධයෙන් පසුව උතුරු ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සිදු වෙමින් පවතිනවා. උතුරු , නැඟෙනහිර ප්‍රදේශ සඳහා ඉතාම ශක්තිමත් සංවර්ධන වැඩපිළිවෙළක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා අවශ්‍ය සංවර්ධන කටයුතු අද සිදු වෙමින් පවතිනවා. අද තල් අරමුදල දියත් කිරීම සිදු කරනවා. එම ප්‍රදේශ වල හැම දිස්ත්‍රික්කයකම ජීවත් වන ජනතාව සඳහා අප වැඩසටහන් සිදු කර තිබෙනවා. මෙම තල් අරමුදල වැඩසටහන යටතේ බිලියන 5 ක මුදලක් ලබාදීමට කටයුතු කරනවා. මේ වනවිට ඉන් බිලියන 2.5 ක් වෙන් කර තිබෙනවා. බිලියන 2.5 ක් ලෙස තිබූ මෙම මුදල් ප්‍රමාණය අයවැය යෝජනාව මඟින් බිලියන 05 දක්වා වැඩි කළා. අද ඉන් බිලියන 2.5 ක මුදල ලබාදීම සිදු කරනවා. යාපනය , මන්නාරම , වව්නියාව , මුලතිව් , කිලිනොච්චිය , ත්‍රිකුණාමලය , මඩකලපුව , අම්පාර සඳහා බිලියන 01 බැඟින් ලබාදීමට කටයුතු කරනවා. ඒ ප්‍රදේශ වල අර්ථවත් සංවර්ධන කාර්යයන් සඳහා එම මුදල් වැය කිරීමට හැකියාව ලැබෙනවා. මෙම කටයුතු ඉතා ඉක්මනින් ආරම්භ කර ඉක්මනින්ම අවසන් කළ යුතු වෙනවා.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙම කටයුතු පිළිබඳව හොඳින් සොයා බලමින් ඒ සඳහා සහයෝගය ලබා දීම සිදු කරනවා. ඒ වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන එස්. අඩෙක්කලනාදන් මහතා -

මෙම ව්‍යාපෘති සිදු කිරීම පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ස්තූතිවන්ත වෙනවා.උතුර නැඟෙනහිර වෙනුවෙන් සංවර්ධන වැඩසටහන් රාශීයක් සිදු කරනවා.මේ ප්‍රදේශ වල ජීවත් වන ජනතාව රැකබලා ගැනීම සඳහා අපට වගකීමක් තිබෙනවා. ඒ සඳහා ආණුඩුවට උදව් කරනවා.යුද්ධය නිසා ගොඩක් කර්මාන්ත විනාශයට ලක් වුණා. නැවත ආරම්භ කිරීමට හැකි යම් කර්මාන්තයන් ඒ අතරින් අපි හඳුනාගෙන තිබෙනවා.

ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු , නැවත පදිංචි කිරීම් සහ පුනරුත්ථාපන , උතරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යංශයේ ලේකම් වී. සිවඥානසෝති මහතා -

ගම්පෙරළිය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ උතුරු පළාත් සංවර්ධනය සඳහා බිලියන 3.4 ක් සහ නැඟෙනහිර පළාත සංවර්ධනය සඳහා බිලියන 3.6 ක් වෙන් කර තිබෙනවා. අද දිනයේ තල් සංවර්ධන අරමුදල පිහිටුවීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ මුදල් අැමැති මංගල සමරවීර මහතා මංගල සමරවීර මහතා යටතේ සිදු කෙරෙනවා. මේ යටතේ බිලියන 5 ක මුදලක් වසර 2 ක් තුළ ක්‍රියාත්මක කරනවා. එමඟින් උතුරු , නැඟෙනහිර සංවර්ධනය සඳහා මුදල් වෙන් කිරීම සිදු කරනවා.

ඩී. ශ්‍රීධරන් මහතා සහ අධ්‍යාපන රාජ්‍ය අැමැති විජයකලා මහේෂ්වරන් මහත්මිය ද මෙහිදී අදහස් පළ කළහ.

ඡායාරූප - විපුල අමරසිංහ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();