Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තිස් වසරක යුද්ධයේ අත්දැකීම් සැලකිල්ලට ගෙන අන්තවාදී ක්‍රියා පරාජය කරනවා

විදෙස් සංවිධාන ක්‍රියාකාරිත්වය තුළ අප රටට පසුගිය 21 වැනිදා එනම් අපේම කිතුනු ජනතාවගේ උතුම්ම ආගමික දිනයක් වූ පාස්කු ඉරිදා අවාසනාවන්ත, ඛේදනීය සිදුවීමට මුහුණ දුන් බවත් තිස් වසරක දරුණු ත්‍රස්තවාදයට මුහුණ දී ඉන් ජයග්‍රහණය ලැබූ අත්දැකීම් මඟින් මේ අන්තවාදී ක්‍රියාකාරීත්වයන් පරදවා සාමාන්‍ය ජන ජීවිතය තහවුරු කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කෙළේය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කෙළේ පාස්කු ඉරිදා ප්‍රහාර හේතුකොට රට තුළ පවතින ආරක්ෂක තත්ත්වය හා ඉදිරි ආරක්ෂක වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ජනාධිපති මැදුරේදී මුද්‍රිත, විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් සහ කතුවරුන් සමඟ පැවැති මාධ්‍ය හමුවේදීය.

එම මාධ්‍ය හමුව සඳහා යුද හමුදාපති මහේෂ් සේනානායක, උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් යන මහත්වරු එක්ව සිටියහ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතාද මේ අවස්ථාවට එක්විය. ජනාධිපතිවරයා මාධ්‍ය හමුව ඇමතීමට පෙර යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා බුද්ධි අංශ අධ්‍යක්ෂ ප්‍රියන්ත ජයවර්ධන මහතා සකස් කළ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජන ව්‍යාප්තිය සහ ඉස්ලාම් අන්තවාදී සංවිධාන හා එහි ක්‍රියාකාරීත්වය ව්‍යාප්තිය හා ගෝලීය ත්‍රස්තවාදයට එක්ව සිටින අයි. එස්. අයි. එස්. සංවිධානයේ ශ්‍රී ලාංකික සබඳතාව පිළිබඳ දැනුවත් කිරීමක් සිදු කෙරිණි.

ඉන් අනතුරුව මාධ්‍ය දැනුවත් කළ ජනාධිපතිවරයා මෙසේ පැවසීය.

වසර තිහක් මේ රට ත්‍රස්ත මර්දන යුද්ධයක තිබුණා.ජයග්‍රහණයන් සමඟ පරාජය වූ අවස්ථාද තිබූණා. මේ සටන මඩින්න කියා පැමිණි ඉන්දියාවද එය ඉටු කරගත නොහැකිව ආපසු ගියා.

විරුද්ධ දේශපාලකයන් මෙය ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම ත්‍රස්ත ප්‍රහාරය ලෙස පෙන්වා දෙන්න හදනවා. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලයේ සිට මේ රට පාලනයට එක්වූ සියලුම ජනාධිපතිවරුන් ත්‍රස්ත ප්‍රහාරයන් බෝම්බ පිපිරවීම් සිදුවීම්වලට මුහුණ දුන්නා. අසූව දශකයේදී එල්. ටී. ටී. ඊ. ප්‍රහාර නිසා අපේ රටේ දෙමළ ජනතාව දෙස බැලුවේ ඔවුන් සියලු දෙනාම ත්‍රස්තවාදීන් ලෙස සළකලා. මේ සංවිධානය ගැන කරුණු හොඳ හැටි තේරුම් ගත් පසුවයි. ඒ සුළු පිරිසක් ලෙස හඳුනා ගත්තේ.

මෙහිදීත් අන්තවාදීන් සුළු පිරිසකගේ මිලේච්ඡ ක්‍රියා ලෙස කරුණු තේරුම් අරන් සමස්ත මුස්ලිම් ජනතාව ත්‍රස්තවාදීන් ලෙස බලන්න එපා. ඔවුන් ප්‍රතික්ෂේප නොකරන ලෙස ශ්‍රී ලාංකික ජනතාවගේ ඉල්ලා සිටින්නේ අපි වෙහෙස මහන්සි වී ගොඩනගන මේ සාමය සංහිඳියාව ආපසු හැරවීමක් සිදු නොකරන්නයි.

ඊයේ මා සර්ව පාක්ෂික රැස්වීමක් කැඳවා සවස සර්ව ආගමික නායකයන්ගේ රැස්වීමක් කැඳවූවා. එහිදී ගාල්ලේ එක් තරුණ මුස්ලිම් පූජකවරයෙක් හැඬීම නැවැත්වීම අපට ඉතාම අපහසු වුණා. තම ජාතිකයන්ට අද පාරටවත් බහින්න නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවත් මේ වනතුරු මුස්ලිම් ජාතිකයකුගේ බෑගයක්වත් පරීක්ෂා නොකරන තරමට එකමුතුව සිටි අප දෙස දැන් වපර ඇහින් බලන තත්ත්වයක් උදා වී ඇති බව එතුමා පැවසුවා.

තව දුරටත් ම්‍යධ්‍ය ප්‍රධානීන් හමුවේ ජනාධිපතිවරයා මෙසේද පැවසිය.ඒ නිසා අපි බොහොම පැහැදිලිව මේ රටේ සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මුස්ලිම් පොදු ජනතාව අපි ආරක්ෂා කර ගත යුතුයි, ඔවුන් දෙස පොදුවේ වෛරයෙන් බලන්නේ නැතුව. රටේ ජාතික සමඟියේ සහ සංහිඳියාවේ තිබෙන වැදගත්කම පිළිබඳව අපිට අත්දැකීම් රාශියක් තිබෙනවා. ඒ නිසා ඉතාමත් සුළු පිරිසක් විසින් කරන ලද මේ අතිමහත් භයානක ඛේදවාචකය අපි පැහැදිළිවම හෙළා දකිනවා. ප්‍රතික්ෂේප කරනවා වගේම අපි ඒ දෙස සෑම විටම බලන්නේ ඉතා පිළිකුල් ක්‍රියාවක් ලෙසයි.

සැප්තැම්බර් 11 අමෙරිකාවේ අර මහා වෙළෙඳ කුළුණු දෙක අල්කයිඩා සංවිධානය බිඳහෙළුවා ගුවන් යානා දෙකක් යවලා. තවත් ගුවන් යානයක් ඇරලා අමෙරිකාවේ ප්‍රධාන ආරක්ෂක මධ්‍යස්ථානයට බෝම්බ දැම්මා. ලෝකයේ යුදමය වශයෙන් අධිතාක්ෂණය, අධි ආරක්ෂාව, නවීන උපකරණ ලෝකයේ කිසිම රටකට දෙවැනි නොවන ජාතික ආරක්ෂාවක් පිළිබඳ විධිවිධාන තිබෙන රටට තමයි එහෙම කෙළේ.

ඒ කුළුණු දෙකේ හිටපු 1600ක් පමණ ජනතාව මිය ගියා. අමෙරිකාව විතරක් නොවේ ලෝකයම විමතියට පත්වුණා. එදා අමෙරිකාවේ ආරක්ෂක මධ්‍යස්ථානයට බෝම්බ දැමීම තුළ මෙය කෙසේ සිදු වුණා ද කියලා. විශේෂයෙන්ම IS සංවිධානයේ දැඩි ක්‍රියාකාරිත්වයක් සහ පිබිදීමක් ඇති වෙලා තිබුණේ. මගේ මතකයේ තිබෙනවා 2016 සහ 2017 අවුරුදු දෙක. යුරෝපයේ ප්‍රබල රටවල්වලට ප්‍රධාන ප්‍රශ්නයක් වුණා. යුරෝපයේ IS සංවිධානය පහරදුන්නේ නැති රටක් නැති තරම් කියලයි මගේ මතකයේ තිබෙන්නේ. එක් පැත්තකින් එංගලන්තය ද, අනිත් පැත්තෙන් ප්‍රංශය ද, ජර්මනිය ද මට වඩා ඔබ දන්නවා . එවැනි සියලු දේවල් මේ ජාත්‍යන්තර ත්‍රස්තවාදී ව්‍යාපාර විසින් ලෝකයේ සිදු කර තිබෙනවා.

අපි වගේ පුංචි රටවල්වලට අපිට වගේ යුදමය අධිතාක්ෂණය නොමැති රටවල්වලට නෙවේ, අර විදිහේ ප්‍රබල නවීන තාක්ෂණය තිබෙන රටවල්වලට මේ පහරදිම් කරලා තිබෙනවා. ඒ වගේම තමයි මම මේක වාසියක් ගන්න කතා කරනවා නෙවේ. ලෝකයේ ආගමික අන්තවාදය සහ මත්ද්‍රව්‍ය වෙළෙඳාම අතරේ විශාල සම්බන්ධතාවයක් තිබෙනවා. ආගමික අන්තවාදය හා මත්ද්‍රව්‍ය ජාවාරමත්, ජාත්‍යන්තර යුද අවි ජාවාරමත් එකට යන සංවිධාන. මම මේ තොරතුරු හොයා ගන්න පොත් කිහිපයක් කියෙව්වා. මත්ද්‍රව්‍ය ජාවාරම සහ ත්‍රස්තවාදය අතර තිබෙන්නේ දැඩි බැඳීමක්. එල්ටීටීඊ සංවිධානයේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වෙලා තිබුණේ එදා නීති විරෝධී මත්ද්‍රව්‍ය. හෙරොයින්, කොකේන්, මර්ජුවානා, අසීස් වැනි දේ.

ඇතැම්විට IS සංවිධානයේ ඔවුන්ගේ තිබෙන පොදු අරමුණු තුළ ලංකාව දිහා බලලා මේ ප්‍රහාරය එල්ල කළා වෙන්නත් පුළුවන්.ලෝකයේ අනෙක් රටවල්වලට පහර දුන්නා වගේම. නමුත් එම පහරදීම මම ගෙන යන මත්ද්‍රව්‍ය ව්‍යාපාරය නිසා ඉක්මන් වුණා වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම මේ තත්ත්වය තුළ අපි පැහැදිළි ලෙස කලබල නොවී ඉවසීමෙන් සංයමයකින්, අර පහුගිය දවස්වල පාර්ලිමේන්තුවේ කතා කළා වගේ කටට ආපු දේ කියන්නේ නැතුව වගකීමකින් IS සංවිධානය යනු කුමක්ද කියන පැහැදිළි අවබෝධයකින් මෙවැනි අවස්ථාවක කටයුතු කිරීම අවශ්‍ය වෙනවා.

ජාතිවාදය සහ ත්‍රස්තවාදය කියන්නේ දෙකක. ඔබ දන්නවා ත්‍රස්තවාදය අපිට හොඳට හුරුයි. ඒ වගේම ජාත්‍යන්තර ත්‍රස්තවාදයත් අපි මෙතෙක් කල් අහලා තිබුණේ මාධ්‍ය තුළ. නමුත් අපිට අවාසනාවන්ත විදියට එය අත්විදින්න සිදු වුණා. විශේෂයෙන්ම IS සංවිධානයේ දේශපාලන අරමුණු දෙස බැලීමේ දී IS සංවිධානය රටවල්වලට පහරදීලා දේශපාලන අස්ථාවරත්වයක් ඇති කරලා ජනතාව නොසන්සුන් කරලා ඔවුන්ගේ කාර්යයන් ඉටුකර ගැනීමට ඔවුන් ගෙන යන වැඩපිළිවෙළේ දී මූලික වශයෙන්ම ඔවුන් මේ ප්‍රහාරයන් එල්ල කරන්නේ බටහිර දේශපාලන චින්තනයන්ට හා බටහිර ආගමික දර්ශනයන්ට.

IS සංවිධානයේ නායකයින් මීට අවුරුදු කිහිපයකට පෙර ප්‍රකාශ කරලා තිබුණා වතිකානුව තුළ IS සංවිධානයේ කොඩිය දාපු දවසට තමයි IS සංවිධානයේ නියම ජයග්‍රහණය ලබන්නේ කියලා. මම හිතනවා ඒ නිසා තමයි මේ කිතුණු දෙවස්ථාවනට පහර දෙන්නේ.

මත්ද්‍රව්‍ය පිළිබඳ කතා කිරීමේ දී ,මම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ගෙන යන වැඩිපිළිවෙළේ දී ඉතාම ක්‍රියාකාරිව පාරට බැහැලා පෙලපාලි ආපු කෙනෙක් තමයි අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ. මිට සති තුනකට පමණ පෙර පෙලපාලියකින් ඇවිල්ලා 4000ක් විතර, මෝදර පැත්තේ මටත් එන්න කියලා රැස්වීමක් තිබ්බා. කාදිනල්තුමන් මෙම මත්ද්‍රව්‍ය විරෝධි ව්‍යාපාරයට දැඩි ලෙස අතුලු වුණා .එම ව්‍යාපාරය ශක්තිමත් කරන්න. ඒ නිසා IS අරමුණු, IS පසුබිම, IS ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ප්‍රඥාවෙන් බුද්ධියෙන් බලනන්ට ඕනෑ. පපුවෙන් බලන්නේ නැතිව අවස්ථාවාදී දේශපාලනය පරාජය කරලා.

ඔබට රහසක් නෙවෙයි. ආණ්ඩුවයි මායි අතරේ ප්‍රශ්න දැන් වසර 2 ක සිට උග්‍ර වූ බව ඔබ දන්නවා. ඒ ප්‍රශ්නවලට මුල් වූ කාරණයක් තමයි රටේ හමුදා බුද්ධි අංශ දුර්වල කිරීම හා හමුදා නිලධාරීන් අනවශ්‍ය විදියට සිර භාරයට ගැනීම වැනි ක්‍රියාවලට විරුද්ධව මම ආණ්ඩුව ඇතුළෙත් පිටත් විරෝධය පළ කිරීම සහ ඒ පිළිබඳව තදින් කතා කිරීම. ඒ අවස්ථාවල මේ රටේ මානව හිමිකම් සංවිධානවල ඉන්න ලොකු මහත්වරු කිව්වේ හැම කෙනාටම නීතිය එක වගේ කියලා. නමුත් මම පැහැදිලිවම කිව්වා හැම කෙනාටම නීතිය එක වගේ තියෙන්නට ඕනෑ. නමුත් ආරක්ෂක හමුදා දුර්වල කරන්න බැහැයි කියලා. ඒ වගේම බුද්ධි අංශ දුර්වල කරන්න දෙනන් බැහැයි කිව්වා. හිටපු හමුදාපතිවරු තුන්දෙනා උසාවියට අරන් ගිය විට මම කරපු කතාවක් නිසා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉල්ලා අස්වුණා ඔබට මතක ඇති. මම හමුදාව සහ බුද්ධි අංශ රැක ගන්න සටනක් කළා. අපේ සමහර බුද්ධි අංශ විශේෂඥයෝ පසුගිය කාලේ රට දාලා ගියා. සමහර අය ලංකාවේ ඉන්න බැහැ හිරිහැර වෙනවා කියලා මට කියලා විදේශ රටවලට රස්සාවලට ගියා. මම සමහර රටවල තානාපති කාර්යාලවලට ඒ අය ඇරියා. මොකද ආණ්ඩුවේ අනෙක් පාර්ශ්වය තදින් කිව්වා මේ එය මේ තනතුරුවල තියාගන්න බැහැ කියලා. මේවා තමයි ඇත්ත. අපි සැමවිටම අවධානය යොමු කරන්න ඕනෑ අයි.එස්. කියන්නේ කුමන සංවිධානයක්ද කියන එක පිළිබඳව.

මම සටහන් කිහිපයක දැක්කා ලෝකයේ සෑම රටකම ත්‍රස්ත ප්‍රහාර ඇති වූ අවස්ථාවේ නිදහස් මාධ්‍යයේ හැසිරීම තුළ ඒ ත්‍රස්ත ප්‍රහාරයේ අරමුණු ඇතැම් වෙලාවට ඉටුවෙලා තිබෙනවා. රජයන් අසරණ වෙලා තිබෙනවා. දැන් තරහ වෙන්න එපා කිව්වට, දැන් අපේ විද්යුත් මාධ්‍යවල බ්‍රේකින් නිව්ස් ගහනවා. බ්‍රේකින් නිවුස් එකක් එන කොට ඕන කෙනෙක් අනෙක් වැඩ නවත්තල ඒක දිහා බලාගෙන ඉන්නවා. අද ඇත්තටම බ්‍රේකින් නිව්ස් එකකට තරම් සුදුසු ඒව නොවෙයි යන්නේ.බ්‍රේකින් නිව්ස් ගහන්න ඕනේ තමයි. හැබැයි ඒ විදිහේ ඉතාම හදිසි වැදගත් පණිවුඩයක් ජනතාවට දෙන්න. මේ බ්‍රේකින් නිව්ස් නොවේ ඊට පැය 12කට පස්සේ කිව්වත් කමක් නැති එව්වා.

රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා වෙත මේ පහරදීම පිළිබඳව මුලින් ම සම්පූර්ණ තොරතුරු දීල තිබෙනවා. විදේශ රටවලින් දුන්න එම ලිපියෙ දීර්ඝ ලිපියක්. එහි පැහැදිලිව තිබෙනවා. මං හිතන්නේ ඔබ දැකලත් ඇති මාධ්‍යයට දැන් ඒක පිටවුණා. ඔබ දැක්ක ඒ ලිපිය මුලින් ම තියෙනවා මෙවැනි ප්‍රහාරයක් එල්ල වෙනවා ළඟදීම. ඒ වගේම විශේෂයෙන්ම පල්ලිවලට කිතුණු දේවස්ථානවලට පහර දෙනවා. ඒ වගේම ප්‍රධාන මහජනයා ගැවසෙන ස්ථානවලට, රෝහල්වලට පහර දෙනවා. ඒ ලිපියේ ඊළඟට තිබෙන ඡේදයේ තියෙන්නේ ප්‍රහාරය සිදු කරන ක්‍රම. බෝම්බ පිපිරවීම, ස්නයිපර් ප්‍රහාරවලින්, වෙනත් පුපුරණ සහ අවි ආයුධවලින් කියල කොටස් පහක් නැත්නම් හයක් දක්වල තිබුණ ඒ ලිපියෙ. ඒ ප්‍රහාර එල්ලවෙන පාවිච්චි කරන ආයුධ පිළිබඳව.

ඊට පහළ තිබුණා, බොහොම පැහැදිලිව මීට සම්බන්ධ වන අයගෙ නාම ලේඛනය. මේ අය තමා මේක කරන්නෙ. එතකොට විදේශ මිත්‍ර බුද්ධි සංවිධානයක් අපේ රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂකවරයාට මේක දීල තියෙන්නෙ අප්‍රේල් 4. අප්‍රේල් 4 සිට අප්‍රේල් 12 දක්වා මේ ලිපිය එහාට මෙහාට ගියා. බුද්ධි අංශ අධ්‍යක්ෂවරයා තමාගේ වගකීම ඉෂ්ට කළා. ආරක්ෂක ලේකම්වරයාට මේ ලිපිය ඉදිරිපත් කළා. ආරක්ෂක ලේකම්වරයා, ඔහු මේ ගැන වඩා හිතන්නේ නැතිව, බාරධූර තත්ත්වය සැලකිල්ලට ගන්නේ නැතිව ඔහුගේ ජාතිකාරක්ෂක ප්‍රධානී වෙත මේ ලිපියට නෝට් එකක් ගහල යැව්ව. ඒ ජාතික ආරක්ෂ ප්‍රධානී ඒ ලිපිය ඔහුගේ රාජකාරි විදියට, සාමාන්‍ය ප්‍රොසීඩියර් එකේ ක්‍රියා මාර්ගය යන ක්‍රමයට ඔහු ඒ ලිපිය පොලිස්පතිවරයාට දැම්ම. එතකොට පොලිස්පතිවරයා අතට ගියෙත්, ආරක්ෂක ලේකම්වරයා අතට ගියෙත් අර මීඩියා මිත්‍රයාගෙන් ලැබුණ සම්පූර්ණ විස්තර සහිත ලිපියත් එක්ක තමයි මේ මිනිට් දදා යන්නෙ. ඊළඟට අයි.ජී.පී. පොලිස්පති ඒකට මිනිට්ස් ගහල දානවා ඩී අයි ජී .ලා 5 දෙනකුට. ඩී අයි . ජී.ලා 5 දෙනකුට දාපුවහම එක ඩී.අයි.ජී. කෙනෙක් ප්‍රභූ ආරක්ෂක අංශය භාර ඩී.අයි.ජී. දසනායක. එයා ප්‍රභූ ආරක්ෂක බාර නිලධාරින්ට ඒ ලිපියේ තොරතුරු යවනවා මෙන්න මෙහෙම ප්‍රහාරයක් එල්ල වෙනවා ඒ නිසා ප්‍රභූ ආරක්ෂකවරුන්ගේ ආරක්ෂාව සලසන්න කියල.

නමුත් ආරක්ෂක ලේකම් හෝ අයි.ජී.පි.හෝ අයි.ජී.පි. ලිපිය යැවු පහළ ඩී.අයි.ජී. ලා පස් දෙනාගෙන් අනෙක් හතර දෙනා හෝ තමාගේ වගකීම ඉෂ්ඨ කෙළේ නැහැ. මේ ආකාරයට අප්‍රේල් 4 ඉදන් අප්‍රේල් 12 දක්වා ඒ ඒ අතට මේ ලියුම් හුවමාරු වෙලා තියෙනවා. මම පිට රට ගියා කියලා මට චෝදනාවක් තියෙනවා. කාටවත් වැඩ භාර දෙන්නේ නැතුව.

මහින්ද රාජපක්ෂ මහත්තයා එක දවසක්වත් පිට රට යන කොට වැඩබලන ආරක්ෂක අැමැතිවරයෙක් පත් කරලා නැහැ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය පිට රට යන කොට වැඩබලන ආරක්ෂක ඇමැති කෙනෙක් පත් කරලා නැහැ. මම වැඩබලන ආරක්ෂක ඇමැති විදියට හිටියා 2007-2010 අතරේ පස් වතාවක් යුද්ධය තදටම තියෙන වෙලාවේ. මහින්ද රාජපක්ෂ මහත්තයා මට භාරදීලා ගියා අවස්ථා 5 දී. හැබැයි 2010 පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයා කිසි කෙනකුට වැඩ බලන ආරක්ෂක ඇමැති තනතුර දීලා ගියේ නැහැ.

එත කොට මේ ලිපිය අප්‍රේල් 4 ලංකාවේ ප්‍රධානින්ට ලැබිලා ආරක්ෂක ලේකම් සහ පොලිස්පති අතරේ මේ ලිපි හුවමාරු වෙනවා අප්‍රේල් 12 වෙනකන්. මම පිටරට ගියේ අප්‍රේල් 16. ඒ ලිපිය ලංකාවට ලැබිලා දින 12 කට පස්සේ තමයි මම ගියේ. ඒ වන විටත් එවැනි ලිපියක් ලැබුණු බවට ආරක්ෂක ලේකම්වරයා හෝ පොලිස්පතිවරයා මාව දැනුවත් කෙළේ නැහැ.

මේ ලිපිය මට පෙන්නුවේ නැහැ. මම මේවා මේ මගේ නිදහසට කියන කාරණා නොවේ. නමුත් සත්‍ය තත්ත්වය මම මේ පැහැදිළි කරන්නේ. මම 16 වැනිදා ගියේ ඉන්දියාවේ වන්දනා ගමනක්. ඉන්දියාවේ දවස් 3 ක් හිටියා. ඉන්දියාවේ ඉදලා මෙතනට එන්න පැයයි. එතකොට එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. මම ඇත්තටම සිංගප්පූරුවට ගියේ විවේකයක් ගන්න. සිංගප්පූරුවේ මම දවස් 3 ක් හිටියා. 21 වැනිදා හවස තමයි මම එන්න නියමිතව තිබුණේ.21 උදේ මේ සිදුවීම් සිදු වුණා.

මෙම සිදුවීම සිදු වී පැය දෙකකට පස්සේ සිංගප්පුරුවේ හිටපු මගේ මිත්‍රයෙක් ඔහුගේ අතේ තිබුණු ජංගම දුරකථනයෙන් මට පෙන්නුවා මෙන්න ජනාධිපතිතුමනි, ලියුමක් යනවා සමාජ මාධ්‍යවල. මේ ගැන කරුණු සඳහන් වෙනවා කියලා. ඒ යන්නේ ඩී.අයි.ජී.දසනායක ප්‍රභූ ආරක්ෂක ප්‍රධානින්ට, මෙවැනි සිදුවීම් වෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රභූවරුන් පරිස්සන් කරගන්න කියලා යවපු ලියුම. මම දසනායකගේ ඒ ලිපිය දැක්කේ සිංගප්පූරුවේ සෝෂෙල් මීඩියාවලින්. ඒ ලිපිය යවන්න ප්‍රධාන වශයෙන්ම අයි.ජී.පී. ගේ මිනිට් එක ගිහිල්ලා තියෙන්නේ කාට ද, ස්ටාෆ් ඩී.අයි.ජී. ට ස්ටාෆ් ඩී.අයි.ජී. කියන එක්කෙනා තමයි පොලිස්පතිගේ පෞද්ගලික සහකාර, පොලිස්පතිගේ උපදෙස් හා ලියකියවිලි එහේ මෙහේ යවන්නේ එයා. එතකොට ස්ටාෆ් ඩී.අයි.ජී. තමයි මේ ලියුම දසනායකට සහ අනෙක් ඩී.අයි.ජී.ලාට යැව්වේ. ස්ටාෆ් ඩී.අයි.ජී. ප්‍රභූ ආරක්ෂාව පිළිබඳ දසනායකට දැන්නුවා. නමුත් දසනායක කියන්නේ ජනාධිපතිගේ, අගමැතිගේ ආරක්ෂක කටයුතු භාර නිලධාරියෙක් නෙවේ. ස්ටාෆ් ඩී.අයි.ජී. තමන්ගේ ඒ ලියුම අනිත් අයට යැව්වා වගේම ජනාධිපතිවරයාගේ ඩී.අයි.ජී. ටයි අගමැතිතුමාගේ ඩී.අයි.ජී. ටයි යවන්න ඕන. නමුත් මේ දෙදනාගෙන් එක්කෙනකුටවත් මේ ලිපි එකක්වත් එවලා නැහැ.

දැන් පහුගිය දවස්වල කිව්වේ අගමැති දැනුවත් කරලත් නැහැ. ඇමැති මණ්ඩලය දැනුවත් කරලත් නැහැ. අපි දන්නෙත් නැහැ කියලා. අනිත් එක අවසාන කැබිනට් රැස්වීම අප්‍රේල් 9, ඊළග කැබිනට් රැස්වීම තිබ්බේ සතියක් තුළ අප්‍රේල් 16. අප්‍රේල් 9 රැස්වීමේ දී සියලු ඇමැතිවරු ඉල්ලීමක් කළා මී ළග කැබිනට් රැස්වීම තියන්න එපා අපි නිවාඩු ගන්න ඕන කියලා. ඒ සතිය කවුරුත් එදා නිවාඩු ගන්න සතියක්. එතකොට මේ විදියට මේ වගකීම බොහෝම පැහැදිලිව කියන්නට ඕන මේ වගකීමෙන් මම නිදහස් වෙන්න ලැහැස්ති නැහැ. මේ වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.

පොලිස්පතිවරයාටත් මම අස්වෙන්න කිව්වා. ඔහු අස්වෙන බව ප්‍රකාශ කළා. මේ තත්ත්වයන් වලදී මම ඉතාම පැහැදිලිව කියන්නට ඕනෑ. මම පොලීසිය භාරගෙන මාස 4 යි. ඒ කාලාය තුළ මම පොලීසියේ විශාල වෙනස්කම් කළා. කාර්යක්ෂම කළා. පසුගිය වසර 4 කට පෙර පොලීසියට කසිප්පු අල්ලන්න බලයක් නැහැ. කසිප්පු අල්ලන්න පොලීසියට බැහැ. පුළුවන් සුරාබදු එනට විතරයි. මම පොලීසිය භාරගෙන තමයි කසිප්පු අල්ලන නීති සංශෝධනය කෙළේ. මම පොලීසිය බාරගෙන පැවති පළමු සාකච්ඡාවේ දී දැන ගත්තා නියෝජ්‍ය පොලිස්පති වරයෙක් කිව්වා සර් පොලීසි 30ක් තියෙනවා එක වාහනයක් වත් නැහැ කියලා. මම පොලීසිය බාර ගන්න කොට ලංකාවේ පොලීසි 30ක් තියෙනවා එක වාහනයක් වත් නැති. මම ඒ වෙලාවේ නියෝග කළා වහාම පුද්ගලික අංශයෙන් හයර් එකට ඩබල් කැබි 30ක් අරන් ඒ පොලිස් ස්ථානවලට දෙන්න කියලා. මේ විදිහට තමයි පොලීසිය භාර පසුගිය වසර 4 තුළ හිටපු ඇමැතිවරු කටයුතු කරලා තියෙන්නේ. දැන් මගේ ඇගේ චෝදනාව දාලා කතා කළාට.

ඊයේ සර්ව පාක්ෂික සමුළුවේ බොහෝ දැඩි විවේචන ගියා. මම ඒවා අහගෙන හිටියා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මම පොලීසිය භාරගත්ත මාස 4 පොලීසියේ හුඟක් දේවල් වෙනස් කළා. නීති සංශෝධනය කළා. අලුත් නීති හදන්න පටන් ගත්තා. පොලීසිය තුළ පිබිදීමක් ඇති කළා. මත්ද්‍රව්‍ය මර්දනය පිළිබඳ පුළුල් ශක්තිමත් වැඩපිළිවෙළක් මම ක්‍රියාත්මක කළා. මේ රටේ කිසිම දේශපාලනඥයෙක් මත්ද්‍රව්‍ය විරෝධී වැඩපිළිවෙළට අත ගැහුවේ නැහැ. නමුත් මම අත ගැහුවා. ඒ අත ගැසීම තුළ රටේ විශාල වෙනසක් ඇති කළා. ඒ වැඩපිළිවෙළට ජනතාවගේ විශාල ප්‍රසාදයක් ආවා. මේ ප්‍රහාරය නිසා ඒ ඇති කරගත් තත්ත්වයටත් හානි වුණා.

පොලිසිය, එස්.ටී.එෆ්. අපරාධ පරික්ෂක දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදාව මේ කටයුතු කරගෙන යනවා ඉතාම සාර්ථකව. මේ වන විට 70කට වැඩි පිරිසක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. සාමාන්‍යයෙන් අපට තිබෙන තොරතුරු අනුව 140ක විතර සංඛ්‍යාවක් තමයි මේ අයි.එස්. සංවිධානයට සම්බන්ධ පිරිස ලංකාවේ සිටින්නේ. ඒ සියලු දෙනා අත්අංඩගුවට ගැනීමටත්, ඒ අය සොයා ගැනීමේ මෙහෙයුම් මේ වන විට ක්‍රියාත්මක කරලා තිබෙනවා.

දැන් ඔබට පේනවා මොනතරම් අපේ ආරක්ෂක හමුදාව ක්‍රියාශීලිව කටයුතු කරලා තිබෙනවද කියලා. අත්අඩංගුවට ගැනීම්, වැටලීම්, පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීම් මෙවැනි කාරණා. ඒ නිසා ඉදිරි දින කිහිපය තුළ මම විශ්වාස කරනවා අපිට සම්පූර්ණයෙන් මේක මර්දනය කරන්න පුළුවන් කියලා.

ලෝකයේ අනෙක් රටවල් මේ ප්‍රශ්නයට මුහුණ දුන්නා වගේම මේ ප්‍රශ්නයට අපිට මුහුණ දෙන්න පුළුවන් අයි.එස්. ලංකාවේ ක්‍රියාකාරිත්වය අපි නවත්වනවා සම්පූර්ණයෙන්. ඒ හැකියාව ශක්තිය ත්‍රිවිධ හමුදාවට පොලිසිට තිබෙනවා. ඔවුන්ගේ බුද්ධි අංශ අනෙක් මෙහෙයුම් සඳහා තිබෙන දක්ෂතාවයන් මේ සියල්ල ඔවුන්ට තිබෙනවා. මේ වන විට ඉතා ප්‍රබල රටවල් කිහිපයක විශේෂඥයන් ප්‍රධාන වශයෙන්ම අයි.එස්. සංවිධානයට විරුද්ධව කටයුතු කරන විශේෂඥ කණ්ඩායම් ලංකාවට ඇවිල්ලා අපේ ආරක්ෂක හමුදාවන් සමඟ එකතුවෙලා කටයුතු කරනවා. කිසිම හමුදාවක් ලංකාවට ගෙනල්ලත් නැහැ, ගේන්නෙත් නැහැ.ඒ එක් එක් අංශවල දැනුම ලබා ගැනීම සඳහා පුහුණුවීම්වලට අවශ්‍ය විශේෂඥයන් තමයි දැනට ලංකාවේ අපේ නිලධාරින් සමඟ කටයුතු කරන්නේ.

ඒ නිසා මම විශ්වාස කරනවා මේ සියලු දේවල් අපිට ප්‍රශ්නයක් බවට පත්වුණත්, අවාසනාවන්ත තත්ත්වයක් ඇතිවුණත් අපිට හැකියාවක් තිබෙනවා මෙය සම්පූර්ණයෙන් මර්දනය කරන්න. මෙය සම්පූර්ණයෙන් මර්දනය කරනවා.

ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();