ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ පැවැති අර්බුද හේතුවෙන් ක්‍රීඩා ඇමැතිවරයා පත්කළ අතුරු කමිටුව අද විශේෂ මහා සභා රැස්වීමක් කැඳවයි. ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ පැවැත්වෙන මේ විශේෂ මහා සභා රැස්වීමට නෙට්බෝල් සම්මේලනයේ හිටපු නිලධාරීන් හා දිස්ත්‍රික් සංගම්වල නියෝජිතයෝ ඇතුළු මුලු නෙට්බෝල් කවුන්සිලයම කැඳවා ඇත. නෙට්බෝල් නිලවරණය ඉක්මණින් පැවැත්විය යුතු හෙයින් මෙයට මාසයකට පමණ පෙර නෙට්බෝල් හිටපු පරිපාලනය විසින් පත්කරගත් නිලවරණ කමිටුව පිළිගන්නේද? නැතහොත් වෙනත් නිලවරණ කමිටුවක් පත්කරගත යුතුද? යන්න මේ විශේෂ මහා සභා රැස්වීමේදී විමසුමට ලක් කිරීමට නියමිතය. නෙට්බෝල් හිටපු පරිපාලනය පත්කරගත් නිලවරණ කමිටුවේ වලංගුභාවය ඇතිකර ගැනීම උදෙසා විශේෂ මහා සභා රැස්වීමකින් ඒ පිළිබඳ අදහස් විමසීම අනිවාර්යවී ඇත.
යම් හෙයකින් නෙට්බෝල් සම්මේලනයේ සාමාජික සංගම් දැනට පත්කරගෙන ඇති නිලවරණ කමිටුවට එකඟතාවක් නොදැක් වුවහොත් පත්වූ අතුරු කමිටුව ක්‍රීඩා පනත හා ක්‍රීඩා රෙගුලාසි අනුව විශේෂ මහා සභා රැස්වීමකින් නව නිලවරණ කමිටුවක් පත්කර නිලවරණය කැඳවීම හා පැවැත්වීම කළ යුතුව තිබේ.
නෙට්බෝල් අතුරු කමිටු සභාපති ලෙස යමුනා පෙරේරා මහත්මිය කටයුතු කරන අතර ලේකම් රංජිත් විමලසූරිය හා භාණ්ඩාගාරික ලක්මාලී එදිරිසිංහ යන මහත්ම මහත්මීන් මේ විශේෂ මහා සභා රැස්වීමට එක්වෙති.
නෙට්බෝල් ව්‍යවස්ථාව අනුව සෑම වසරකම මැයි මාසයේ සිට ඊළඟ වසරේ මැයි මාසය දක්වා පමණක් නිලධාරී මණ්ඩලය වලංගුවන අතර වසරින් වසර නිලවරණයක් පවත්වා නිලධාරීන් තෝරා ගත යුතු බව දිස්ත්‍රික් සංගම් කිහිපයක් ක්‍රීඩා අමාත්‍යාංශයට කළ දැනුම්දීමක් අනුව සම්මේලනය විසුරුවා නිලවරණය පැවැත්වීමේ වගකීම අතුරු කමිටුවට පවරා තිබේ.

0 Comments