බේදයකින් තොරව වූ ජනතාවගේ සාමුහික දායකත්වය සංවර්ධනයේ සාර්ථකත්වයයි. ගතවු දශක හතරක කාලපරිච්ඡේදයේදී මෙරට ක්‍රියාත්මක වූ සහභාගිත්ව සංවර්ධනය මුල්කොටගත් නිවාස සංවර්ධන ක්‍රියාවලිය මෙයට හොඳම නිදසුනයි. ජාති, ආගම්, කුල හෝ වෙනත් කවර හෝ භේදයකින් තොරව හුදෙක් නිවාස අවශ්‍යතාව සපුරාලීම අදහස් කොට මේ සංවර්ධන ක්රියාදාමයේ ක්‍රියාකාරිත්වය ශ්‍රී ලාංකික ජන සමාජයේ සියලු ජනකොටස්හි නිවාස සංවර්ධන අවශ්‍යතාව සාර්ථකව සපුරාලීමට කටයුතු කළ අතර, විශේෂයෙන් ආගමික හා ජාතික වශයෙන් සිදුවූ සංහිඳියාව මෙහිදී වඩාත් පෙන්නුම් කරයි.
උතුරු ප්‍රදේශයෙන් මහවැලි ගඟත්, දකුණු ප්‍රදේශයෙන් දිගන නගරයත්,නැඟෙනහිර පාර්ශ්වයෙන් අලුත්වත්ත ග්‍රාමයත්, බටහිරින් පල්ලේකැලේ කර්මාන්ත පුරවරයත් ආවරණය වූ මහනුවර දිස්ත්‍රික්කයේ කුණ්ඩාසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි අඹකොටේවත්ත, මහනුවර දිසාවේ ඉපැරණි ගම් පෙදෙසකි. අතීතයේ සිටම අඹ වගාව බහුලව දැකගත හැකිවු මෙම ප්‍රදේශයේ අඹකොටේවත්ත නමින් හැඳින්වු අතර,අතීතයේ ජීවත්වූ ගම්වැසියන් වතු ආශ්රිත කර්මාන්තයේ නියුක්තවු අතර, කෘෂිකර්මාන්ත මොවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගයයි.
ආරම්භක යුගයේ සිට දමිළ ජනකොටස් වතු ආශ්රිත සේවාවන්හි නියුක්තවීමේ අරමුණින් මේ ගම්මානයන්හි පදිංචිකරුවන් බවට පත්වු අතර, මේ ගම් ආශ්රිත බහුතර ප්‍රදේශය සිංහල ජනකොටස් වෙතින් සමන්විත ජනාවාස බවට පත්විය.
2015 වසරින් ආරම්භ වූ සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන ශ්‍රී ලාංකික ජන සමාජයේ නිවාස සංවර්ධන අවශ්‍යතාව පවත්නා විවිධ ජනකොටස්හි නිවාස අවශ්‍යතාවන් සපුරාලීම අරමුණු කොට විවිධවු සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ අතර,එයින් ප්‍රමුඛතම වැඩපිළිවෙළක් වුයේ ආදර්ශ ගම්මාන වැඩපිළිවෙළයි. දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ජීවත්වන්නා වු ජනකොටස්හි සැබෑ නිවාස අවශ්‍යතාවන් හඳුනාගනිමින් එයට තිරසාර විසඳුමක් ලබාදීම අරමුණ කොට මේ ආදර්ශ ගම්මාන ක්‍රියාපිළිවෙත ක්‍රියාත්මක වු අතර, එම කාර්යයයේ මුලික අපේක්ෂාව වුයේ අදාළ ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාවගේ ජන ජීවිතයට සරිලන අයුරින් මොවුනගේ මූලික ජාතික හා සංස්කෘතික අනන්‍යතාවන් සුරක්ෂිතවන ආකාරයෙන් මේ ආදර්ශ ගම්මාන ක්‍රියාපිළිවෙත ක්‍රියාත්මක කිරීමයි.
කවර හෝ සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමේදී එහි ප්රතිලාභ ලබන ජනතාව ඒ සඳහා සැබෑ ලෙසින්ම ප්‍රවිෂ්ට නොවීම එයට සහභාගිත්වයක් නොදී එය තමන්ගේම සංවර්ධන වැඩසටහනක් බවට පත්නොකර හුදෙක් රජයෙන් හෝ වෙනත් පාර්ශ්වයකින් හිමිවු ආගන්තුක සංවර්ධන වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාවට නැංවුවහොත් එය ඵලදායි අර්ථතාන්විත වූු සංවර්ධන වැඩසටහනක් බවට පත්වේ. මෙය වඩාත් නිවැරදිව තේරුම්ගත් සැමට සෙවණ ජාතික නිවාස වැඩපිළිවෙළ සිය ආදර්ශ ගම්මාන වැඩසටහන ක්‍රියාවට නැංවීමේදී මේ ජන සම්මතයනට අනුකූලව යමින් මේ සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.
මෙය එක්තරා ආකාරයට සැබෑ ලෙසම අත්දුටු එමගින් ඵලදායි ප්‍රතිඵල හිමිවු ආදර්ශ ගම්මානයක් ලෙස කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඹකොටේවත්ත ග්‍රාමයේ උදාවු නව ආදර්ශ ගම්මානය හඳුන්වාදිය හැකිවේ. අඹකොටේවත්ත ජනාවාසයේ නව නිවාස හිමිකරුවන් බවට පත්ව ඇත්තේ එම ගම්මානය අවට ප්‍රදේශයන්හි දෛනික රැකියාවන්හි නියුතු දමිළ පවුල් 26කි. ඔවුන් ජීවත්වන අවට ගම්මාන බහුතරය උඩරට පාරම්පරික සිංහල ගම්වැසියන්ගෙන් සමන්විත වේ. අතීතයේ සිටම මේ බහුතර සිංහල ජනකොටසත් සීමිත දමිළ පවුල් සමූහයත් සාමුහික සංහිඳියාවකින් වඩාත් හොඳ දිවිපෙවෙතක් ගතකරනු ලැබිය. ඒ නිසාම සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන හඳුන්වාදීමත් සමඟ 2017 වසරේදි මේ නව ආදර්ශ ගම්මානයේ උදාව ආරම්භ විය. එම පවුල් සමූහය එකට රැස්වී තමන්ගේම කිවහැකි නිවහනක අයිතියේ අපේක්ෂාවෙන් නව නිවාස ඉදිකරලීම මේ ක්‍රියාදාමයෙන් ආරම්භ කරනු ලැබීය. උපතින් හින්දු භක්තිකයන් වු මේ ජන සමූහය නිරන්තරයෙන් සිංහල බෞද්ධ ජනකොටස සඟ සම්මිශ්‍රිතව ජිවත්වීමේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් ඉටුකරන බොහෝ සිරිත් විරිත් හා වතාවත් සිය සංස්කෘතික කාර්යයනට පමණක් සීමා නොකොට සිංහල සහ බෞද්ධ සංස්කෘතික ගුණාංග සමඟ එක්ව කටයුතු කිරිම මෙහිදී දැකගත හැකි විශේෂ ලක්ෂණයකි.
එම කාර්යය සනිටුහන් කරමින් එදා මේ ගම්මානයේ නව නිවාස ඉදිකිරීම් ඇරැඹි අවස්ථාවේදි මේ සියලු වැසියන් සිය ගම්මානයන්හි හින්දු චාරිතානුකුලව නිවාස ව්‍යාපෘතින්හි ඉදිකිරීම් කාර්යයන් ඇරැඹීමට සමගාමීව බෞද්ධ ආගමික වතාවත් ඉටුකරලීම අගය කළයුතු කාර්යයක් වේ.
එවන්වු ක්රියාදාමයකින් අඹකොටේවත්ත ගම් ප්‍රදේශයේ උදාවූ මේ නව ආදර්ශ ගම්මානය දමිළ පවුල් සමූහයකට එහි අවට ප්‍රදේශයන්හි ජීවත්වන සිංහල ජනකොටසකගේ සාමුහික දායකත්වයෙන් නිර්මාණයවීම හා මේ නිවාස සංවර්ධන කාර්යයදාමයේ මේ ද්විත්ව ජනකොටස් අතර ඇතිවු මනා සංහිඳියාව හේතුවෙන් මේ නව ආදර්ශ ගම්මානය ,සංහිඳි ග්‍රාමම්, නම්විය.
සංහිඳියාව, ගතවු දශක කිහිපයේ නිවාස සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රායෝගිකව අත්දුටු සත්‍යයකි. ආදර්ශ ගම්මාන ක්‍රියාවලියේදී මෙන්ම ඒහා බැඳි ක්‍රියාත්මක වු සෙසු සංවර්ධන වැඩපිළිවෙළ නිරන්තරයෙන් මේ ජාතික සංහිඳියාව මනාව පෙන්නුම් කළ අතර, එයට තවත් එක් නවතම නිදසුනක් ලෙස මේ ,සංහිඳිියා ග්‍රාමම්, නව ආදර්ශ ගම්මානය හඳුන්වාදිය හැකිවේ. මේ නිවාස සංවර්ධන ක්‍රියාපිළිවෙතින් ඉදිවු සෑම නිවසක් සඳහාම රුපියල් ලක්ෂ 05ක මූල්‍ය දායකත්වයක් නිවාසලාභියෙක් වෙනුවෙන් ප්රදානය කළ අතර, සෑම නිවාසලාභියෙකුම සිය දෛනික ඉතිරිකිරීම් සමඟ ශ්‍රම දායකත්වයෙන් අදාළ නිවාස ඉදිකරලීම සිදුකරනු ලැබීය. නිවාස ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මඟපෙන්වීමෙන් ක්‍රියාත්මක කරන වඩු හා මේසන් කාර්මිකයන් පුහුණුකරලීමේ ශීල්පීය වැඩපිළිවෙළින් මනා පුහුණුවක් ලැබූ තරුණ පිරිස් මේ ගම්මානයන්හි ඉදිකිරීම් කටයුතු සඳහා සිය දායක්වය ලබාදී තිබේ.
සංහිඳි ග්‍රාමම් තුළ ඉදිවි ඇත්තේ හුදෙක් නිවාස පමණක් නොවේ. ඉදිවූ සෑම නිවසකම ගෙවත්ත විවිධ බෝග වගාවන්ගෙන් පරිපූර්ණවීම මෙහිලා දැකිය හැකි විශේෂිත ලක්ෂණයකි. ආර්ථික වශයෙන් වටිනාකමකින් යුත් විවිධ වු භෝගයන්ගෙන් සමන්විත මේ ගෙවතු සංවර්ධන ක්‍රියාවලිය ඉතාමත් සැලසුම්ගතව සිදුකර ඇති අතර,මේ ආදර්ශ ගම්මානය ඇසුරෙහි සකස්ව ඇති ඔසු උයන දෛනික දිවිපෙවෙතට අවශ්‍ය විවිධ ඔසු වර්ගයන්ගෙන් යුක්ත වේ. අංග සම්පුර්ණ ජනාවාසයකට අවශ්‍ය ප්‍රවේශ මාර්ග හා අභ්‍යන්තර මාර්ග සමඟ සෑම නිවසක් සඳහාම විදුලිය පහසුකම් හා ජල පහසුකම් ද එක්වීම හේතුවෙන් මෙය සැබෑ ලෙසින්ම අංගසම්පුර්ණ ආදර්ශ ගම්මානයක් ලෙස සකස්ව තිබේ.
මේ නව ආදර්ශ ගම්මානයේ සියලු සංවර්ධන කාර්යයන් නිමාවීමෙන් අනතුරුව එම ගම්මානය පිහිටි වසමේ ජිවත්වන්නා වු ජනතාවගේ මූලික ගැටලු සඳහා විසඳුම් ලබාදීම වෙනුවෙන් සැමට සෙවණ ජංගම මෙහෙවරක් පැවැත්වූ අතර, එය මේ නව ආදර්ශ ගම්මානයේ ප්‍රතිලාභීන් හා අවට ගම්වැසියන් අතර සැබෑ සංහිඳියාවක් නිර්මාණයවීමට හේතුවිය. දැනට දින කිහිපයකට ප්‍රථම පැවති මේ ජංගම මෙහෙවර හේතුවෙන් අවට ගම්වැසියන්ගේ නිවාස හා ජනාවාස ගැටලුවට හා ඒ ආශ්රිත ප්‍රශ්න සඳහා ද කිසියම් වු විසඳුමක් ලබාදීමට හැකියාව ලැබි තිබේ. සංහිඳි ග්‍රාමය නිර්මාණයවීම අඹකොටේවත්ත ප්‍රාදේශිකයේ පුළුල් නිවාස සංවර්ධන වැඩපිළිවෙළක ආරම්භයකි.
මේ නව ආදර්ශ ගම්මානයේ සංවර්ධන කාර්යයන් ආරම්භ කිරීමට සමගාමීව ඒ ආශ්රිත ඉඩම් කොටස් කිහිපයක් ඇසුරෙහි තවත් නව නිවාස 75 කට ආසන්න ප්‍රමාණයක ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම හෝ සැළසුම් කිරීම සිදුවී ඇත. සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහනේ මූලික අපේක්ෂාව වන්නේ සැබෑ නිවාස අවශ්‍යතාව පවත්නා කවර හෝ ප්‍රදේශයක ආරම්භ කරන්නා වු නව නිවාස ව්‍යාපෘතියක් ඒ ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන ඒකාබද්ධ ජනාවාස සංවර්ධන ක්‍රියාවලියකට මුලිකත්වය ගැනීමයි. අඹකොටේ ග්‍රාමයේ උදාවු මේ සංහිඳි ග්‍රාමය එම ව්‍යාපෘතියේ නිවාස ඇතුළු අවට ප්‍රදේශයේ පවුල් 100කට අධික ප්‍රමාණයකට නිවාස සම්පාදනය කරන ඒකාබද්ධ සංවර්ධන වැඩපිළිවෙළක් බවට පත්ව තිබේ.
සමස්තයක් ලෙස ගත්කළ රුපියල් මිලියන 100කට අධික මුදලක් වැයකර සංහිඳි ග්‍රාමයේ නව නිවාස ඇතුළු සෙසු සංවර්ධන කාර්යයන් සිදුකරලීමට සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන සමත්ව ඇත. එමෙන්ම තවත් රුපියල් මිලියන 100කට අධික මුදලක් මේ නව ගම්මානය ආශ්රිත ප්‍රදේශයේ ජීවත්වන ප්‍රතිලාභීන් සඳහා ලබාදෙන ප්‍රතිලාභයේ වටිනාකම වේ.
මේ සියලුම ප්රතිලාභ හිමිකරදෙනු ලැබූ සැමට සෙවණ ජාතික නිවාස වැඩපිළිවෙළ යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ උදාවු නවතම ආදර්ශ ගම්මානය වන කුණ්ඩසාලේ ප්‍රාදේශිකයේ සංහිඳි ග්‍රාමම් ආදර්ශ ග ම්මානය නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා අතින් අද( 01) ජනතා අයිතියට පත්කිරීම සිදුකෙරේ.
සැමට සෙවණ එම ආදර්ශ ගම්මාන ක්‍රියාවලියේ 172 වන ආදර්ශ ගම්මානය ලෙසින් උදාවන මේ නව ආදර්ශ ගම්මානය ශ්‍රී ලාංකික ජන සමාජයේ සැබෑ අපේක්ෂාවන් වන ජාතික සංහිඳියාව සැබෑ ලෙසින්ම සංකේතවත් වන අවස්ථාවක් ලෙසින් මෙය හඳුන්වාදිය හැකිවේ.
ලක්විජය සාගර පලන්සූරිය
0 Comments