පසුගිය කාලයේ වසා පැත්තකට දමා තිබූ කුළුබඩු ආයතනය අද රටට විදේශ විනිමය ගෙන එන ප්‍රධාන ප්‍රවාහයක් බවට තමන් පත් කර තිබෙන බව ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් ඇමැති දයා ගමගේ මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන කුළුබඩු වර්ග හතරක සිතුවම් නිරූපිත මුද්දර සහ සිහිවටන පත්‍රිකා එළදැක්වීම 26දා බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ පැවැති මහෝත්සවයේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.
මෙම උත්සව අවස්ථාවේ දී ඉතිහාසයේ පළමු වරට කුරුඳු , ගම්මිරිස් , කරාබුනැටි සහ සාදික්කා කුළුබඩුවල සිතුවම් ඇතුළත් රුපියල් 15 බැගින් වූ මුද්දර 04ක් ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් ඇමැති දයා ගමගේ මහතා සහ තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු ඇමැති එම්.එස්. අබ්දුල් හලීම් මහතාගේ ප්‍රධානත්වයෙන් නිකුත් කළේ ය.
කුළුබඩු කියන්නේ අපේ රටේ නම ලෝකයට ගෙන ගිය එකම කෘෂිකාර්මික භෝගයයි. එදා විදේශිකයන් අපේ රට සොයා ගෙන ආවේ කුළුබඩු නිසයි. විශේෂයෙන් ගම්මිරිස් කුරුඳු වැනි භෝග නිසයි. විදේශිකයන් අපේ රටේ තේ වගා කර හොඳ මිලක් ලබාගන්නා විට ඔවුන් කුරුඳු ගලවා තේ වගා කරන්න පටන් ගත්තා. කුරුඳු ශ්‍රී ලංකාවට ආවේණික භෝගයක්. කුරුඳු පොතු ගලවා කුරුඳු කූරු ලෙස සකසා වෙළඳපොළට ඉදිරිපත් කිරීම ශ්‍රී ලංකාවට ම ආවේණික ක්‍රමවේදයක් වන අතර මෙම සැකසීම ශ්‍රී ලංකාවේ කුරුඳුවල අනන්‍යතාව ආරක්ෂා කිරීමට හේතුවක් වී තිබේ. ලෝක වෙළඳපොළේ ප්‍රධාන කුරුඳු වර්ග දෙකක් දක්නට ලැබෙනවා . ඒ අතර ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වන කුරුඳු , සත්‍ය කුරුඳු වශයෙන් ප්‍රචලිත වුවත් මෙයට ආදේශකයක් වන කැසියා කුරුඳු ඉන්දුනීසියාව, වියට්නාමය , චීනය වැනි රටවලින් වෙළඳපොළට ඉදිරිපත් කරයි. මෙම කැසියා චීන කැසියා සහ ඉන්දියන් කැසියා ලෙස ලෙස හඳුන්වයි. මෙම කැසියා කුරුඳුවල ගුණාත්මය සත්‍ය කුරුඳුවලට වඩා බෙහෙවින් අඩුය. මෑතදී කරන ලද විද්‍යාත්මක පර්යේෂණවලට අනුව තහවුරු වී ඇත්තේ කැසියා කුරුඳු විශේෂවල කුමරීන් නමැති පිළිකා කාරක රසායනය බහුලව අඩංගු වන බවයි.
කෘෂි අපනයන භෝග ආදායම 2015 වසරට සාපේක්ෂය අද වන විට 39 % ක වර්ධනයක් පෙන්නුම් කරයි. මෙම ආදායම ඩොලර් මිලියන 500 ඉක්මවිය හැකි බවට මම විශ්වාස කරනවා. ලෝක බැංකු ව්‍යාපෘතිය මඟින් අපේ අපනයනකරුවන්ගේ කර්මාන්තශාලාවල ධාරිතාව වැඩි කරන්න සහන මුදලක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා අපි ඒකට එකතු කර තිබෙනවා. ජාත්‍යන්තරය ජයගත හැකි මට්ටමට 20-25 වෙන්න කලින් එදා ඉතිහාසයේ අපේ කුළුබඩු භෝග තේ වලට වඩා ඉදිරියට ගෙන ඒම අපේ ඉලක්කය බව අමාත්‍යවරයා මෙම අවස්ථාවේ දී කීය.
මේ වැඩ කරන්න ගියහම කකුලෙන් අදින කට්ටිය ගොඩක් ඉන්නවා. කුළුබඩු මණ්ඩලයේ වැඩකරන සේවකයෝ ඉන්නේ 24 දෙනයි. අද රට වැටිලා. ණය වෙලා. අපි අනෙක් රටවලින් ණය ගන්න ඕන ජාතියක් නෙමෙයි. අපි සුද්දට බැන්නට සුද්දා අපේ භාණ්ඩාගාරයේ මුදල් ඉතුරු කරලයි ගියේ.
අපි වැඩ කළ යුත්තේ ඡන්දය ලබා ගැනීම සඳහා ම පමණක් නොවෙයි. අපි වැඩ කළ යුත්තේ රට සහ ජනතාව වෙනුවෙන් යැයි අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ ය.
තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු ඇමැති එම්.එස්. අබ්දුල් හලීම් මහතා -
හාරිස්පත්තුවේ තමයි කුළුබඩු භෝග වැඩිපුරම වගා කරන්නේ. සුළු භෝග වර්ගවල මිල අඩුවීම නිසා ප්‍රශ්නවලට මුහුණපාන්න සිදු වුණා. එදා අපේ ජනතාවට මුදල් අතින් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. දයා ගමගේ ඇමැතිතුමා මේ අමාත්‍යාංශය බාරගත් පසු කුළුබඩු වර්ගවලට හොඳ මිලක් ලබාගැනීමට හැකි වෙලා තිබෙනවා. ඒ වගේම වගාව තවත් වැඩිදියුණු කර තිබෙනවා.
සංචාරක ආකර්ෂණය ලබාගන්නා පරිදි තමයි අපි මුද්දර නිකුත් කළේ. මුද්දර එකතු කිරීම නිහඬ විනෝදාංශයක්. අපේ රට අතීතයේ කුළුබඩු දිවයිනක්. යටත් විජිත සමයේ කුළුබඩුවලට ලෝකයේ විශාල වටිනාකමක් තිබුණා. ඒ වටිනාකම වැඩිවීම නිසාම තමයි විදේශිකයෝ අපේ රට ආක්‍රමණය කළේ.
වසර 2018 දී අපනයන ආදායමෙන් රුපියල් මිලියන 450 ක් සියයට හැටක හැත්තෑවක දායකත්වයක් ලබා දී ඇත්තේ කුළුබඩුවලින් බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී. හීන්කෙන්ද මහතා මෙම අවස්ථාවේ දී කියා සිටියේ ය.
මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රිනී වෛද්‍ය තුසිතා විජේමාන්න, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මරීනා මොහොමඩ් මහත්මීහු ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.
මානෙල් පුෂ්ප කුමාරි සහ තරුෂි බෝපෙආරච්චි
ඡායාරූප - දුෂ්මන්ත මායාදුන්න
0 Comments