ගයාන් කුමාර වීරසිංහ
ශ්‍රී ලංකාව සහ සීෂෙල්ස් අතර සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ විශේෂ විමර්ශනයක් පැවැත්වීමට පොලිස් කණ්ඩායමක් මෙරටින් පිටත්ව ගොස් තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක සුබෝධ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් යන නිලධාරීන් එම විමර්ශන කණ්ඩායමට ඇතුළත් ය.
මෙම නිලධාරීන් විමර්ශන කටයුතු සඳහා සීෂෙල්ස් බලා පිටත්ව ගොස් ඇත්තේ පෙරේදා (24) ය.
විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පසුගිය වසරේ දෙසැම්බර් 18වෙනි දා බේරුවල දී අත්අඩංගුවට ගැණුනු හෙරොයින් කිලෝ 231කේ විමර්ශනයන්හී දිගුවක් ලෙස සීෂෙල් දිවයිනට ගොස් කෙරෙන විමර්ශන පෙන්වා දිය හැකි බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
මුහුදු මාර්ග ඔස්සේ ධීවර බෝට්ටුවල සඟවා පකිස්තානයෙන් මෙරටට ගෙන එන හොරායින් තොග නැවතත් ධීවර බෝට්ටුවල සඟවා සීෂෙල්ස් දිවයින වෙත මෙරට ජාවාරම්කරුවන්රැගෙන යන බව හෙළිවන්නේ එම වැටලීමේ දීය. එම ජාවාරම සම්බන්ධයෙන් බේරුවල පදිංචි කෝටිපති බහුදින යාත්‍රාහිමිකරුවෙක් ද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අත්අඩංගුවට ගත්තේය. කිලෝ සිය ගණනින් හෙරොයින් තොග ඔහු අවස්ථා කිහිපයකදී ම බහුදින යාත්‍රාවකින් සීෂෙල්ස් වෙත රැගෙන ගිය බවද එහිදී අනාවරණය විය.
එම බෝට්ටු හිමිකරුට සීෂෙල්ස් හී බිරියක් සිටින බවත්, එම බිරියගේ සහෝදරයෙක් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන බවත් මෙරට දී කෙරුණූ විමර්ශනවලින් හෙළි වී ඇත. ඒ සම්බන්ධයෙන් වාර්තාවක් නිල වශයෙන් සීෂෙල්ස් බලධාරීණ්ට ලබා දී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙරටින් විශේෂ පොලිස් කණ්ඩායමක් විමර්ශන සඳහා එරට බලා පිටත්ව ගිය බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.
0 Comments