Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පළමු වටය නිමාවේදී මහනුවර අපරාජිතයි

Author(s): 
ෆවුස් මොහොමඩ්

තිළිණ විජේසිංහ එල්ල කළ තීරණාත්මක දඬුවම් පහරින් ලකුණු 22-20කින් නාවික හමුදා ක්‍රීඩා සමාජය පරාජය කළ වත්මන් ලීග් ශූර මහනුවර ක්‍රීඩා සමාජය එකම අපරාජිතව කණ්ඩායම ලෙස පෙරමුණ ගනිමින් අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ පළමු වටය නිමාවට පත් කරගත්තේය. පළමු වටය නිමාවට පත්වනවිට තරග 7කින් 7ම ජයගෙන ප්‍රසාද ලකුණු 41ක් ලබා පෙරමුණ ගැනීමට මහනුවර පිල සමත්විය.

වැලිසර නාවික හමුදා පිටියේ පෙරේදා පස්වරුවේ පැවැති මේ තරගය නිමාවීමට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබියදී ලකුණු 20-19කින් පෙරමුණ ගෙන ජයග්‍රහණය පෙනි පෙනී සිටි නාවික හමුදා පිලට අනපේක්ෂිත පරාජයක් උරුමකළ මහනුවර පිල මෙවර තරගාවලියේ පළමු වටයේ මුහුණ දුන් තරග 7ම ජයගැනීමට සමත්විය.

මහනුවර පිල ගෝල් 2ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් වාර්තා කළ අතර නාවික හමුදා පිල ගෝලයක්, උත්සාහක දිනුම් 2ක් සහ දඬුවම් පහරක් රැස් කළේය. තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 14-8කින් පෙරමුණ ගෙන සිටියේ මහනුවර පිලය.

සී.එච්.පිල ජය ගනී

මේ අතර කොළඹ තුරඟ තරග පිටියේදී පොලිස් ක්‍රීඩා සමාජය ලකුණු 29-24කින් පරාජය කිරීමට සී.එච්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත්විය. පළමු භාගය නිමාවනවිට ලකුණු 24-10කින් පෙරමුණ ගත් සී.එච්.පිල තරගය පුරා ගෝල් 3ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් එල්ල කළ අතර පොලිස් පිලට රැස් කිරීමට හැකිවූයේ ගෝල් 3ක් සහ දඬුවම් පහරක් පමණි.

හැව්ලොක්ස් පිලට ජය

ගුවන් හමුදා පිලට එරෙහිව ලකුණු 31-25ක ජයක් වාර්තා කිරීමට හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සමත්විය. මේ ජයග්‍රහණයත් සමග පළමු වටය නිමාවනවිට ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැන රැක ගැනීමට හැව්ලොක්ස් පිලට හැකිවිය.

පොලිස් පිටියේ පැවැති මේ තරගයේදී හැව්ලොක්ස් පිල ගෝල් 4ක් සහ දඬුවම් පහරක් සාර්ථක කරගත් අතර පොලිස් පිල ගෝල් 2ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 2ක් එල්ල කළේය. තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 22-21කින් පෙරමුණ ගැනීමට සමත්වූයේ පොලිස් කණ්ඩායමය.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();