Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දිමුත් බලාපොරොත්තු ගොඩ නගයි

ක්‍රයිස්චර්ච් නුවර තණකොළ සහිත, පන්දුව වැඩිපුර ඉහළ නගින, වේගවත් තණතීරුවක අද නවසීලන්තයට එරෙහිව ඇරැඹෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ප්‍රතිවාදීන්ගේ අභියෝගය ජයගැනීමට නම් කැපවීමෙන් ක්‍රීඩා කළ යුතු බව ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න පවසයි.

මේ තණතීරුවේදීම මීට වසර 4කට පෙර එනම්, 2014 පැවැති ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී විශිෂ්ට පිතිහරඹයක නිරතවෙමින් ලකුණු 152ක් රැස් කළ මේ පිතිකරුවා අද තරගයට එක්වන්නේ එම පිතිහරඹයේ මතකයත් සිතෙහි තැන්පත් කරගනිමිනි.

මෙවර තරගාවලියේ උපනායකයා ලෙස කටයුතු කරන 30 හැවිරිදි මේ දකුණත් පිතිකරුවා පසුගියදා වෙලින්ටන් නුවරදී ජයපරාජයෙන් තොරව නිමාවට පත්වූ පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී අගනා ලකුණු 79ක් රැස් කිරීමට සමත්විය.

වසර 2014 දී මේ ක්‍රීඩාංගණයේ පැවැති ටෙස්ට් තරගයේදී සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ දිමුත් අද තරගයේදී ශ්‍රී ලංකා පිලේ වැඩිම බලාපොරොත්තු තබා ඇති පිතිකරුවෙකි. ඔහුගේ මංගල ටෙස්ට් ශතකය වාර්තා වූ ඉනිමේදී මිනිත්තු 483ක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 363කට මුහුණදුන් දිමුත්

‘2014දී මේ ක්‍රීඩාංගණයේ මා වාර්තා කළේ මගේ පළමු ටෙස්ට් ශතකයයි. දිගු ඉනිමක් ක්‍රීඩා කිරීමට මා ඉගෙන ගත්තේ එම ඉනිම අතරතුරදියි. මගේ ක්‍රිකට් ජීවිතයේ දී මා එවැනි පන්දු සංඛ්‍යාවකට මුහුණදී නෑ. ඒ ඉනිමෙන් පසුව මා සිතන ආකාරය සෑහෙන දුරට වෙනස්වුණා.‘ ඔහු කියයි.

වසර 2018දී මෙතෙක් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් රැස් කළ ලොව ටෙස්ට් පිතිකරුවන් අතර 5 වැනි තැන පසුවන දිමුත් ශතක 3ක් සහ අර්ධ ශතක 3ක් සමග ලබා සිටින ලකුණු සංඛ්‍යාව 736කි. එම ලැයිස්තුවේ පළමු තැන ඉන්දීය පිලේ නායක විරාත් කෝලි හිමිකරගෙන ඇත්තේ ලකුණු 1240ක් රැස් කරමිනි. එංගලන්ත පිලේ නායක ජෝ රූට් ලකුණු 948ක් ලබා දෙවැනි තැන පසුවන අතර ශ්‍රී ලංකා පිලේ යොවුන් පිතිකරු කුසල් මෙන්ඩිස් ලකුණු 941ක් ලබා තුන්වැනි තැන සිටී. මේ තරගයේදී කුසල්ට ලකුණු දහසේ සීමාව පසු කිරීමට හැකිවුවහොත් මේ වසරේදී ටෙස්ට් ලකුණු දහස ඉක්මවූ එකම ශ්‍රී ලාංකික පිතිකරුවා මෙන්ම ලොව දෙවැනි පිතිකරුවා ලෙසත් වාර්තාපොතට එක්වීමට හැකිවනු ඇත.

පසුගිය වසරේදී ටෙස්ට් ලකුණු දහස ඉක්මවූ දිමුත් කරුණාරත්න මේ වසරේදී ද එම දස්කම පෑමේ බලාපොරොත්තුවෙන් පසුවිය. ඒ සඳහා ඔහුට තවත් ලකුණු 264ක් අවශ්‍යවී තිබේ.

‘මම ඇත්තටම මේ අවුරුද්දේත් ලකුණු දහස පසුකිරීමටයි බලාපොරොත්තු වුණේ. මා දන්නා හැටියට පිට පිට වසර දෙකකදී ටෙස්ට් ලකුණු දහස පසුකළ ශ්‍රී ලාංකික පිතිකරුවන් නෑ. කුමාර් සංගක්කාර වසර 5කදී ටෙස්ට් ලකුණු දහසේ සීමාව පසු කළත් ඔහුට පිට පිට වසර දෙකකදී එම වාර්තාව රැක ගැනීමට හැකිවුණේ නෑ. නමුත් අවාසනාවට මට අතේ ආබාධයක් ඇතිවීම නිසා ටෙස්ට් ඉනිම් 6ක් මඟ හැරුණා.‘ ඔහු කීවේය.

එසේ වුවත් කණ්ඩායමට ලබාදෙන දායකත්වය පිළිබඳ සෑහීමකට පත්වී සිටින දිමුත් අද ඇරැඹෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිලේ අභිමානය රැකගැනීමට උපරිම දස්කම් දැක්වීමේ බලාපොරොත්තුවෙන් පසුවෙයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();