“ලාංකේය මහා නළු පරපුරේ අවසන් සුපිරි තරුව” හේමාලි විජේරත්න පළ කළ නවතම කෘතියයි. එහෙත් ඈ සනත් ගුණතිලක මූලික කර ගනිමින් මෙය සම්පාදනය කළේ කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යාපති පශ්චාද් උපාධි පාඨමාලාවේ අවශ්‍යතාව සපුරනු වස් ඉදිරිපත් කළ පර්යේෂණ නිබන්ධය ඇසුරෙනි. නිබන්ධයක් කෘතියක් ලෙස පළ කිරීම සම්බන්ධයෙන් හේමාලි විජේරත්න සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි මෙය. මෙම කෘතිය පිළිිබඳව සනත් ගුණතිලකගේ අදහස් දැන ගැනීමට උත්සාහ කළද ඔහුගේ රෝගී තත්වය නිසා කතා කිරීමට අපහසු බව දන්වා සිටියේය.හේමාලි විජේරත්න දීර්ඝ කාලයක් මුළුල්ලේ ලේක්හවුස් ආයතනයේ මාධ්‍යවේදිනියක ලෙස කටයුතු කරයි.
ඔබේ පර්යේෂණ නිබන්ධය සඳහා සනත් ගුණතිලක කලාකරුවාවම තෝරා ගැනීමට විශේෂ හේතුව කුමක්ද?
සමාජීය විද්‍යාපති පශ්චාද් උපාධි පාඨමාලාවේ මගේ විෂය වූයේ සිනමාව. අනෙක මම දීර්ඝ කාලයක් සරසවිය පුවත්පතේ සේවය කළ නිසා සිනමාව ගැන තොරතුරු රාශියක් මා ගවේෂණය කර තිබුණා. එහිදී මට පෙනී ගියා සනත් ගුණතිලක කියන රංගන ශිල්පියා සම්භාවනාවට පාත්‍ර විය යුතු කලාකරුවෙක් බව. එහෙත් කිසිම අවස්ථාවක ඔහු ගැන ශාස්ත්‍රීය අධ්‍යයනයක් කර තිබුණේ නැහැ. ඒ නිසයි මගේ නිබන්ධයට මා සනත් ගුණතිලකව තෝරා ගත්තේ.
මෙම මාතෘකාව ශාස්ත්‍රීය නිබන්ධයකට ඔබ ගළපා ගත්තේ කොහොමද?
මගේ නිබන්ධන මාතෘකාව වුණේ දේශීය සිනමාව මාධ්‍ය කලාව හා දේශපාලන ලෝකය තුළ සනත් ගුණතිලකගේ භූමිකාව. ඒත් ඒ නම පොතකට ගැළපෙන්නේ නැහැනේ. ඒ නිසා මම “ලාංකේය මහා නළු පරපුරේ අවසන් සුපිරි තරුව” ලෙස නම වෙනස් කළා. මගේ ශාස්ත්‍රීය නිබන්ධයේදී මාතෘකාව ගැන මට ගැටලුවක් මතු වුණේ නැහැ. ඒ ගැන කවුරුත් ශාස්ත්‍රීය අධ්‍යයනයක් කර තිබුණේ නැති නිසා මට ඊට අවසරය ලැබුණා.
ඔබේ ශාස්ත්‍රීය නිබන්ධය පොතක් විදිහට පළ කිරීමේදී වෙනස් කළේ නම පමණ ද? අන්තර්ගතය සංශෝධනය කළේ නැතිද?
ඔව්. පොතකට ගැළපෙන විදිහට නම වෙනස් කළා. නිබන්ධයට ඇතුළත් කර තිබුණු දීර්ඝ වගුගත කිරීම් ලඝු කළා. ඒ හැර තොරතුරු සංශෝධනය කිරීමක් සිද්ධ කළේ නැහැ.
ඔබේ පොතේ පරිච්ඡේද හතරෙන් එක් පරිච්ඡේදයක පමණයි සනත් ගුණතිලකගේ රංගනය හා භූමිකා අධ්‍යයනය පිළිබඳ සාකච්ඡා කෙරෙන්නේ. සෙසු පරිච්ඡේද ඔබ යොදා ගත් පර්යේෂණ ක්‍රමවේද සහ අපදාන ලියැවුණු දෙස් විදෙස් නළු නිළියන් සඳහා වෙන් කර තිබෙනවා. එය සනත් ගුණතිලකට කළ අසාධාරණයක් නොවේද?
සනත් ගුණතිලකට අසාධාරණයක් වුණා කියලා මම කිසිසේත් හිතන්නේ නැහැ. මම මේ සඳහා පාදක කර ගත්තේ 1979 සිට 2000 වසර දක්වා ඔහු රඟපෑ චිත්‍රපට 133ක්. ඔහුගේ චිත්‍රපට 133ක් අධ්‍යයනය කර ලිවීමෙන් ඔහුට සාධාරණයක් වුණා කියලා මම විශ්වාස කරනවා. අනෙක, මෙය ශාස්ත්‍රීය පර්යේෂණ ග්රන්ථයක්. ඊට ඔහුගේ ජීවන වෘත්තාන්ත එකතු කළා නම් මෙය ශාස්ත්‍රීය නොවෙන්න තිබුණා. ඊට එම තොරතුරු නොගැළපෙන්න ඉඩ තිබුණා.
සනත් ගුණතිලක යන නළුවා අප හඳුනා ගන්නේ වාණිජ, කලාත්මක සහ මැද මාවතේ සිනමා නළුවකු වශයෙන්. ඔබ ඒ පිළිබඳව විස්තරාත්මකව සාකච්ඡා කිරීමට එතරම් උනන්දුවක් දක්වා නැති බවයි මගේ හැඟීම?
එය ඔබගේ හැඟීම. මම විශ්වාස කරනවා මම සනත් ගුණතිලකගේ සිනමා රංගනය ගැන ඉතාමත් හොඳින් විශ්ලේෂණය කර තිබෙනවා කියලා. සනත් ගුණතිලක රඟපෑ චිත්‍රපට 133 කලාත්මක චිත්‍රපට 30ක් වාණිජ චිත්‍රපට 95ක් මැද මාවතේ චිත්‍රපට 8ක් ලෙස බෙෙදනවා. එයින් සියයට ගණනක් නියැදියක් වශයෙන් තෝරාගෙනයි මම සනත් ගුණතිලකගේ රංගනය පිළිබඳව සාකච්ඡා කළේ. ඒ අනුව කලාත්මක චිත්‍රපට 14 කුත් වාණිජ චිත්‍රපට 04ක්ද මැද මාවතේ චිත්‍රපට 07ක්ද මම සාකච්ඡාවට භාජනය කර තිබෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා මම සනත් ගුණතිලකගේ සිනමා රංගනය ගැන විස්තරාත්මකව සාකච්ඡා කළ බව.
මෙම ශාස්ත්‍රීය නිබන්ධය රචනා කිරීමේදී සනත් ගුණතිලකගෙන් ඔබට ලැබුණු සහයෝගය කොහොමද?
ඔහුගෙන් මට විශාල සහයෝගයක් ලැබුණා. ඇත්තටම ඔහු මගේ දීර්ඝ කාලීන මිතුරෙක්. ඒ මිත්‍රත්වයත් මට මේ පොත රචනා කිරීමට බලපෑවා. මම ඔහු රඟපෑ චිත්‍රපට 133 න් 100 ක් නැරඹුවා. ඊට ඉඩ ප්‍රස්ථා සැලසුවේ සනත් ගුණතිලක. ඒ වගේ ම ඔහු සතු දුර්ලභ ඡායාරූප මට ලබා දුන්නා. ඔහු ඇසුරු කළ හිත මිතුරන්, ඔහුගේ ඥාතීන් සහ ගුරුවරුන් මට තොරතුරු සොයා ගැනීම සඳහා සම්බන්ධකර දුන්නා. ඒ ආකාරයට ඔහු මගේ නිබන්ධය රචනා කිරීම සඳහා බොහෝ උපකාර කළා.
සනත් ගුණතිලකගේ දේශපාලන භූමිකාව ගැන කතා කරන විට ඔහුට එල්ල වූ අපවාද, විවේචන පිළිබඳව සටහන් කර තිබෙනවා. ඊට සනත්ගෙන් විරෝධයක් එල්ල වුණේ නැතිද?
අපොයි නැහැ. සනත් ගුණතිලක දේශපාලන ක්ෂේත්‍රයේ අසාර්ථක චරිතයක් බව මම මෙහි ලියා තිබෙනවා. ඔහුට එල්ල වූ අපවාද සහ විවේචන සඳහන් කර තිබෙනවා. ඒ විතරක් නොවෙයි. සනත් ගුණතිලක යන රංගන ශිල්පියාගේ රංගනයේ දුර්වලතා පිළිබඳවත් මම සාකච්ඡා කර තිබෙනවා. ගඟ අද්දර චිත්‍රපටයේ ඔහුගේ රංගන දුර්වලතා වගේ ම එකමත් එක රටක චිත්‍රපටයේ රඟපෑමේ අඩුපාඩු මම සඳහන් කළා. ඒ කිසිම දෙයක් පොතේ සඳහන් කරනවාට ඔහු විරුද්ධ වුණේ නැහැ. සනත් ගුණතිලක සුදු කරන්න මට වුවමනා වුණේ නැහැ වගේ ම සනත්ට වුවමනා වුණෙත් නැහැ.
ඔබේ ශාස්ත්‍රීය නිබන්ධය ඒ ආකාරයටම පොතක් ලෙස මුද්‍රණද්වාරයෙන් එළිදැක්වීමට සිතුණේ ඇයි?
එය මගේ අදහසක් නොවෙයි. සනත් ගුණතිලකගේ අදහසක්. මෙම නිබන්ධයේ ඔහු රඟපෑ චිත්‍රපට නාමාවලිය සහ චිත්‍රපටවල තොරතුරු, ඔහු ලබාගත් සම්මාන, රංගන දායකත්වය ලබාදුන් චිත්‍රපට සහ ටෙලිනාට්‍ය චරිත, ඔහු ලියූ ගීත, ඔහුගේ දේශපාලන ගමන් මඟ ආදී වශයෙන් තොරතුරු රාශියක් ඇතුළත් වෙනවා. සනත් ගුණතිලක විශ්වාස කළා ඔහු ගැන තොරතුරු සොයන කෙනෙකුට ඔහු ගැන හදාරන කෙනෙකුට මෙය පොතක් ලෙස පළ කළොත් ප්‍රයෝජනවත් වේවි කියලා. ඒ නිසයි මගේ නිබන්ධය පොතක් ලෙස ප්‍රකාශයට පත් කළේ. ඇත්තටම මට පොත මුද්‍රණය කර ගැනීමට පොත් ප්‍රකාශකයා වන ඉමාෂි පබ්ලිකේෂන් පවා සොයා දුන්නේ සනත් ගුණතිලක විසින්.
ඔබ සනත් ගුණතිලකගේ හොඳ මිතුරියක්. සනත්ගේ ජීවන තොරතුරු, පෞද්ගලික ජීවිතයේ රසමුසු තැන් යනාදිය ඇතුළත් කරමින් මෙම කෘතිය වඩාත් පුළුල් වූවා නම් මෙය මීට වඩා රසවත් පොතක් වීමට ඉඩ තිබුණා නේද?
එම තොරතුරු ඇතුළත් කරලා මම වෙනත් පොතක් ලියනවා. මෙම පොත ශාස්ත්‍රීය මට්ටමෙන් රචනා කළ පොතක් නිසා ඊට ජීවන තොරතුරු වැනි දේවල් අඩංගු කිරීම සුදුසු නැති බවයි මගේ හැඟීම. ඒ නිසයි මම සනත්ගේ අපදානය වෙනම කෘතියක් හැටියට ලියන්න තීරණය කළේ.
සනත් ගුණතිලකගේ අපදානය ළඟදීම ප්‍රකාශයට පත් වේවිද?
ලබන අවුරුද්දේ පළ කරන්න මම අදහස් කරගෙන සිටිනවා.
හර්ෂා සුගතදාස
සේයාරුව - නිශ්ශංක විජේරත්න - silumina

0 Comments