Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආසියානු සම්මේලනයේ ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකාව සහය දැක්වීම විදෙස් පිළිවෙත උල්ලංඝනය කිරීමක්

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ආසියානු පාපන්දු සම්මේලනයේ මතභේදාත්මක ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකාව සහය දැක්වීම විදේශ ප්‍රතිපත්තිය උල්ලංඝණය කිරීමක් බැවින් සම්මේලනයේ නිලධාරීන්ට එරෙහිව ඉදිරියේදී දැඩි ක්‍රියා මාර්ග වලට එළැඹෙන බව ක්‍රීඩා ඇමැති ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා පවසයි.

ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන අයෙකු වෙනත් රටක යෝජනාවකින් ආසියානු පාපන්දු සම්මේලනයට පත්වී ශ්‍රී ලංකාවට විරුද්ධව කටයුතු කිරීමේ හැකියාව මේ සංශෝධන තුළින් විවෘතවන නිසා මේ සඳහා සහයෝගය දැක්වීම සුදුසු නොවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ලිඛිතව දැනුම්දී ඇතැයි ක්‍රීඩා ඇමැතිවරයා පැවැසීය.

“මේ සම්බන්ධව විදේශ ඇමැතිවරයාගේ හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නීති අංශයේ අදහස් මා ලිඛිතව ලබා ගත්තා. මා ඔවුන් හමුවි මේ ගැන විමසුවා. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අදහස වුණේ ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන ලාංකිකයකු වෙනත් රටක යෝජනාවකින් ආසියානු සම්මේලනයේ විධායක සභාවට පත්වීමේ අවස්ථාව මේ සංහෝධනය මගින් සිදුවිය හැකි බවයි. ඒක භායනක තත්ත්වයක් බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ අදහසයි. ශ්‍රී ලංකාවේ අනු දැනුමක් නොමැතිව පත්වන එවැනි නිලධාරියකු අපේ මවුබිමට විරුද්ධව වැඩ කළ හැකි බවත් ඔවුන් පෙන්වා දුන්නා” ඇමැතිවරයා පැවැසීය.

“මා පාපන්දු සම්මේලනයට කිව්වේ හරි දේ කරන ලෙසයි. රටටත් පාපන්දුවටත් නිවැරදි දේ කිරීම තමයි පාපන්දු සම්මේලනයේ වගකීම. ආසියානු පාපන්දු සම්මේලන ව්‍යවස්ථා සංශෝධනයේදී ඔවුන් වගකීමෙන් කටයුතු කර නෑ” මුස්තාපා මහතා පැවැසීය. මේ සම්බන්ධව ඉදිරියේදී දැඩි ක්‍රියා මාර්ගයක් ගන්නා බවත්, අවශ්‍ය වුවහොත් පාපන්දු පරිපාලනයට අතුරු කමිටුවක් පත්කිරීමට පියවර ගන්නා බවත් ක්‍රීඩා ඇමැතිවරයා සඳහන් කළේය.

මේ පිළිබඳව පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා පැවැසූවේ දකුණු ආසියාවේ රටවල් සියල්ලම ඡන්දය ප්‍රකාශ කළ බවත්, ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකාව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් මෙරට පාපන්දු ක්‍රීඩාවට කිසිදු අගතියක් සිදු නොවන බවත් පැහැදිලි කොට ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා වෙත ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ලිපියක් යොමු කරන බවයි.

මේ ප්‍රකාශය සම්බන්ධව ක්‍රීඩා ඇමැතිවරයා පැවැසූවේ කව්රුන් ඡන්දය දුන්නේද? නොදුන්නේද? යන්න තමන්ට වැදගත් නොවන බවයි. “යෝජනාවට පක්ෂව ඡන්ද වැඩි පුර ලැබුණා. ඡන්ද 4ක් විරුද්ධ වුණා යන්න අදාළ වෙන්නේ නෑ. අපේ රටට ගැලපෙන දේ ඔවුන් කර නැත්නම් දඬුවම් කළ යුතුයි” ඇමැතිවරයා පැවැසීය.

මැලේසියාවේ ක්වාලාලම්පූර් හී පැවැති ආසියානු පාපන්දු සම්මේලන ව්‍යවස්ථා සංශෝධන ඡන්ද විමසීමේදී සෞදි අරාබියා, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කොරියාව හා උස්බෙකිස්තානය විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අතර ශ්‍රී ලංකාව ඇතුළු අනෙකුත් රටවල් 42ක් පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

ආසියානු පාපන්දු සම්මේලනයේ විධායක සභාවට හා අනු කමිටුවල තනතුරු පිරවීමේදී මෙතෙක් අනුගමනය ක්‍රමය වෙනුවට සාමාජිකත්වය දරන ඕනෑම රටකට ඉදිරිපත්වීමේ අවස්ථා සලසාදීම නව ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදුවිය. ව්‍යවස්ථා සංශෝධනය අනුව සාමාජික රටවල් 3ක යෝජනා ස්ථීරත්වයෙන් ඕනෑම රටක අයෙකු තනතුරු සඳහා නම් කිරීමේ අවස්ථාව හිමිවන අතර එම නම්කරන පුද්ගලයන් එම රටේ පාපන්දු ක්‍රීඩා කිරීම හෝ අදාළ රටේ පාපන්දු පරිපාලනයට සම්බන්ධවීම අනිවාර්ය නොවේ.

ආසියානු පාපන්දු සම්මේලනයේ සභාපති බහරේන් ජාතික ෂෙයික් සල්මන් මහතා ලබන වසරේ පැවැත්වෙන ආසියානු පාපන්දු සමුළුවේ සභාපති ධුරයට යළිත් තරග වැදීමට අපේක්‍ෂාවෙන් පසුවන බවත් මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔහුට පක්ෂපාතී කණ්ඩායමක් නිර්මාණය කර ගැනීමේ අවස්ථා උදාවී ඇති බවත් සෞදි අරාබියා, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කොරියාව හා උස්බෙකිස්තානය වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඡන්දය දුන් රටවල චෝදනාවවී තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();