සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර කොළඹ සී.සී.සී ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි දෙදින පුහුණු තරගයත් ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.
තරගයේ පළමු දිනයවූ වර්ෂාව හේතුවෙන් අත්හැර දැමූ අතර තරගයේ දෙවැනි දිනය වූ ඊයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්තය කඩුලු 6ක් දැවී ලකුණු 210ක් ලබාසිටියදී පළමු ඉනිම අත්හිටවූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ක්‍රිකට් ආයතන කණ්ඩායම තරගය නතර කරනවිට පළමු ඉනිම සඳහා කඩුලු 7ක් දැවී ලකුණු 250ක් රැස්කර තිබිණි.
ඊයේ දිවා විවේකයෙන් අනතුරුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ක්‍රිකට් ආයතන කණ්ඩායමේ නායක ළහිරු තිරිමාන්න ලකුණු 3කට යළිත් ක්‍රීඩාගාරයට හරවා යැවීමට සෑම් කරන් සමත්වූ අතර සදීර සමරවික්‍රමට ලබාගත හැකිවූයේ ලකුණු 10ක් පමණි. ආරම්භක පිතිකරු විශ්ව ප්‍රනාන්දු ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස දුවද්දී දැවී යෑමට හසුවනවිට මුළු ලකුණු සංඛ්‍යාව 64ක් විය. පන්දු 47කට මුහුණදුන් ප්‍රනාන්දු හතරේ පහර 7ක් සහ හයේපහර 2ක් සමගින් ලකුණු 47ක් රැස් කළේය.
අනතුරුව පිටියේ එක්වූ රොෂෙන් සිල්වා සහ චරිත් අසලංක ලකුණු 94ක සබඳතාවක් ගොඩනැගීමට සමත් වූහ. මුළු ලකුණු 158 දී ඔවුන් දෙදෙනාම අනෙක් පිතිකරුවන්ට අවස්ථාව දෙමින් පිටියෙන් ඉවත්ව ගියහ.
සිල්වා ලකුණු 29ක් සහ අසලංක ලකණු 68ක් රැස්කර තිබිණි. පන්දු 64කට මුහුණදුන් අසලංක හතරේ පහර 6ක් සහ හයේ පහර 3කින් ඉනිම වර්ණවත් කර ගත්තේය.
අශාන් ප්රියංජන් ලකුණු 3කටත්, කමිඳු මෙන්ඩිස් ලකුණු 14කටත් දැවී ගිය අතර තරගය නතර කරනවිට මනෝජ් සරත්චන්ද්‍ර ලකුණු 14ක් සහ ශෙහාන් මදුසංක ලකුණු12ක් ලබා නොදැවී සිටියහ.
එංගලන්ත ඉනිමේ 7 වැනි ඕවරයේ තෙවැනි පන්දුවෙන් රොරී බර්න්ස් (19) දවාගත් ළහිරු කුමාර, 5 වැනි පන්දුවෙන් ජෝ ඩෙන්ලි ලකුණු ලබාගැනීමට පෙර පිටියෙන් ඉවත් කළ අතර ඔහු යැවූ 9 වැනි ඕවරයේ පළමු පන්දුවෙන් ඔලී පොපේද ලකුණු ලබාගැනීමට පෙර දවා ගත්තේය. තෙවැනි කඩුල්ල දැවී යනවිට මුළු ලකුණු සංඛ්‍යාව 28ක් විය.
ඉන් අනතුරුව ආරම්භක පිතිකිරු කීටන් ජෙනිංග්ස් සමග එක්වූ බෙන් සටොක්ස් සිවුවැනි කඩුල්ලට ලකුණු 80ක සබඳතාවක් ගොඩනගමින් මුළු ලකුණු සංඛ්‍යාව 108 දක්වා ඉදිරියට ගෙන ගියේය. පන්දු 58කදී හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 53ක් ලබාසිටි ස්ටොක්ස් අනෙක් පිතිකරුවන්ට අවස්ථාව දෙමින් පිටියෙන් ඉවත්ව ගිය අතර මුළු ලකුණු 128දී ජෙනිංග්ස්ද ලකුණු 45ක් ලබාසිටියදී ස්ටොක්ස් මෙන් පිටියෙන් ඉවත්ව ගියේය.
දැවී ගිය අනෙක් පිතිකරුවූයේ ජොස් බට්ලර් ය. ඔහු ලකුණු 25ක් ලබාසිටියදී ජෙෆ්රි වැන්ඩසේගේ පන්දුවක් හමුවේ කමිඳු මෙන්ඩිස් උඩ පන්දුවක් රැක ගැනීමෙන් දැවී ගියේය. දිවා විවේකය සඳහා තරගය නතර කිරීමත් සමග ඉනිම අත්හිටුවීමට එංගලන්තය තීරණය කළේය. සෑම් කරන් ලකුණු 48ක් සහ බෙන් ෆොකස් ලකුණු 19ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.
ශ්‍රී ලංකාව සහ සංචාරක එංගලන්තය අතර ටෙස්ට් තරගාවලිය මේ 6 වැනිදා ගාල්ලේදී ආරම්භ වෙයි.
0 Comments