පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ලවී ඇති ශ්‍රී ලංකා පිලේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය ඒ සඳහා පරීක්ෂණයකට මුහුණ දීමට ඊයේ රාත්‍රී ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය බැවින්ඔහු වෙනුවට 21 හැවිරිදි යොවුන් පිට දඟ පන්දු යවන ක්‍රීඩක නිෂාන් පීරිස් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ඇතුළත් කර තිබේ.
එංගලන්ත පිල සමග ගාල්ල ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගය අතරතුර අකිල ධනංජයගේ පන්දු යැවීම සැක සහිත බවට තරග විනිසුරුවරුන් විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට වාර්තා කරනු ලැබීමෙන් පසුව දින 14ක් ඇතුළත ඔහු සිය පන්දු යැවීමේ ඉරියව්ව නිවැරැදි බවට තහවුරු කළ යුතුව තිබිණි. පරීක්ෂණයකට මුහුණ දීමේ අභියෝගය කරපින්නා ගෙන පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පසුගියදා නිමාවට පත්වූ දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ අකිල ධනංජය එංගලන්ත දෙවැනි ඉනිමේදී කඩුලු 6ක් දවාලිමට සමත්විය. ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව පරීක්ෂණය මේ මස 23 වැනිදා ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර දී පැවැත්වෙයි. සංචාරක එංගලන්ත පිලට එරෙහි තුන්වැනි හා අවසන් ටෙස්ට් තරගය එදිනම එස්.එස්.සී.පිටියේදී ආරම්භ කෙරේ.
මෙතෙක් ටෙස්ට් වරම් නොලැබු නිෂාන් පීරිස් මේ වනවිට පළමු පෙළ තරග බිමේ දී කඩුලු 38ක් දවාලීමට සමත්වී ඇත්තේ තරග 12කදීය. රාගම ක්‍රිකට් සමාජය නියෝජනය කරන නිෂාන් එංගලන්ත පිල සමග පැවැති පුහුණු තරගවලට ක්‍රීඩා කළේය.
0 Comments