Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකා-එංගලන්ත ටෙස්ට් තරගාවලියේ අන්තිම සටන අද සිට

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස දැනටමත් ජයග්‍රහණය කොට සිටින එංගලන්ත ක්‍රිකට් පිල මෙවර සංචාරයේදී සහභාගීවන අවසන් තෙවැනි ටෙස්ට් තරගය අද කොළඹ එස්. එස්. සී. පිටියේදී ආරම්භ වෙයි. නිමාවූ ටෙස්ට් තරග දෙකම දිනක් ඉතිරිව තිබියදී ජයගත් එංගලන්තය මේ සංචාරය නිමාවීමටත් පෙර ලොව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානයට පත්වීමේ අවස්ථාව උදාකර ගත්තේය.

ටෙස්ට් තරග දෙකේ පරාජයත් සමග ලොව ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ හයවැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව හත්වැනි ස්ථානය දක්වා පල්ලම් බැස්සේය. මේ තත්ත්වය මත ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවට පහළින් කොදෙව්, බංග්ලාදේශ හා සිම්බාබ්වේ යන රටවල් රැදී සිටිති.

දින 45කට ආසන්න ශ්‍රී ලංකා සංචාරයේදී එක්දින, විස්සයි 20 හා ටෙස්ට් යන අංශ තුනෙන්ම සාර්ථකවී සිටින එංගලන්ත පිල අද තරගයට ඉතා සැහැල්ලුවෙන් මුහුණ දෙන ආකාරයක් පෙනෙන්නට ඇත. එහෙත් ඔවුන්ගේ එකම අපේක්ෂාව ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස නිමාකර ගැනීම බව ඉතා පැහැදිලිය. වසර 2009දී බංග්ලාදේශය සමග බංග්ලාදේශයේ පැවැති ටෙස්ට් තරගාවලිය 2-0කින් ජයගත් එංගලන්තය වසර 9කදී තවමත් එංගලන්තයෙන් පිටත සම්පූර්ණ තරගාවලියක් ජයගෙන නොමැති හෙයින් සියලුම තරග ජයග්‍රහණයකින් නිමාකිරීම මේ අවසන් ටෙස්ට් තරගයේ ඉලක්කය බවට පත්ව ඇත.

ශ්‍රී ලංකා පිලේ නායක දිනේෂ් චන්දිමාල් ආබාධයක් හේතුවෙන් මේ තරගයට ක්‍රීඩා නොකරන අතර ඒ වෙනුවට ධනුෂ්ක ගුණතිලක කණ්ඩායමට කැඳවා ඇත. ගුණතිලක අවසන් වරට දකුණු අප්‍රිකාව සමග මේ වසරේ ජූලි මාසයේ පැවැති ටෙස්ට් තරගාවලියේදී අර්ධ ශතක දෙකක් සමග ලකුණු අතර සිටි පිතිකරුවෙක් බැවින් චන්දිමාල්ගේ අඩුව මකා දමනු ඇතැයි විශ්වාසයවී තිබේ.

දඟ පන්දු යවන අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බව පැවැසීමෙන් ඔහු ඔස්ට්‍රේලියාවේදී විශේෂ පරීක්ෂණයකට අද මුහුණ දෙන අතර ඒ වෙනුවට අද මංගල ටෙස්ට් වරම් හිමිකර ගන්නා 21හැවිරිදි නිශාන් පීරිස් කැඳවා ඇත. මීගමුව සාන්ත පීතර විදුහලෙන් බිහිවූ නිශාන් පීරිස් වයස 19න් පහළ ශ්‍රී ලංකා පිලට එක්ව දස්කම් දැක්වූ අතර එංගලනත්යට එරෙහි එන්. සී. සී. පිටියේ පුහුණු තරගයේදී කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

“අපට නිශාන් පීරිස් හා ලක්ෂාන් සඳකැන් යන දඟ පන්දු යවන්නන් දෙදෙනාම සිටිනවා. නමුත් ඒ දෙදෙනාගෙන් තරගයට ක්‍රීඩා කරන්නේ කවුද කියා තවමත් තීරණය කොට නෑ. එස්. එස්. සී. පිටිය දඟ පන්දු යවන්නන්ට උචිත තණතිල්ලක්. ඒ නිසා දඟ පන්දු යවන්නන්ගෙන් විශාල කාර්යක් බලාපොරොත්තු වෙනවා. අපේ ශක්තිය දඟ පන්දු යවන්නන්. නමුත් පසුගිය තරග දෙකේදී අපේ දඟ පන්දු යවන්නන්ට කඩුලු ලැබුණේ නෑ. ඒත් ඔවුන් හොඳින් පන්දු යැව්වා” ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක සුරංග ලක්මාල් පැවැසීය.

“අද ආරම්භවන තරගයේදී කිසියම් වෙනසක් කිරීමට අපේක්ෂා කරන බව ද ලක්මාල් සඳහන් කළේය.” එංගලන්තයේ මුල් කඩුලු 5ක් අඩු ලකුණු ගණනකට ලබා ගත්තත් අවසන් පිතිකරුවන් ලකුණු 150ක් විතර ගහනවා. ඒක නවත්වා ගන්න මේ තරගයේදී අපි විශේෂ සැලසුමක් යොදනවා. එංගලන්ත පිතිකරුවන් දඟ පන්දු යවන්නන්ට ඉතා හොඳින් ක්‍රීඩා කිරීම ඔවුන්ට වාසියක්”

කුසල් මෙන්ඩිස් අද තරගයට ක්‍රීඩා කරන බවද හෙතෙම පැවැසීය. “කුසල් ඊළඟ සංචාරයේදී අපට වැදගත්. ඒ නිසා මේ තරගාවලියේ අවසන් තරගයටත් ඔහු යොදා ගන්නවා. ඔහු අපට සිටින දක්ෂතම ක්‍රීඩකයෙක් බැවින් එක් ඉනිමකදී පසු බැසීම සැලකිය යුතු වන්නේ නෑ. පිතිකරුවෙකු ලෙස එක්වන ධනුෂ්ක ගුණතිලක පන්දු යැවීමට දක්ෂ ක්‍රීඩකයෙක් බැවින් ඔහුගෙන් කණ්ඩායමට විශාල සහයෝගයක් ලබාගත හැකියි” සුරංග ලක්මාල් පැවැසීය.

එංගලන්ත ක්‍රිකට් නායක ජෝ රූට් පැවැසූවේ එංගලන්ත කණ්ඩායම ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ අංක එකට පත්වීමට උත්සහා කරමින් සිටින බවය. “අප මේ සංචාරයේදී ලෝකයේ දෙවැනි තැනට පත්වී සිටිනවා. දැන් අංක එකට පැමිණීමේ මාවතට අප පිවිස සිටිනවා. අපට වඩා ඉදිරියෙන් සිටින්නේ ඉන්දියාව. ඔවුන් පසු කිරීම පහසු දෙයක් වෙන්නේ නෑ” එංගලන්ත ක්‍රිකට් නායකා පැවැසීය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();