Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආර්ථික අර්බුදයට විසදුම ආනයනය සීමා කිරීම නම්, විවෘත ආර්ථිකය අවසන් කියලා පිළිගන්න – පුබුදු ජයගොඩ.

Pubudu_Jayagoda_FLSP

ආර්ථික අර්බුදයට විසදුම ආනයනය සීමා කිරීම නම්, විවෘත ආර්ථිකය අවසන් කියලා පිළිගන්න යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ප්‍රකාශ කර සිටී. ඔහු මෙම අදහස් පළකර සිටියේ රටතුළ උත්සන්න වෙමින් පවතින ආර්ථික අර්බුදය සහ විශේෂයෙන් රුපියල අවප්‍රමාණ වීම සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අදහස් පළ කරන මාධ්‍ය හමුවකට පසුගියදා එක්වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ,

රුපියලේ අගය අවප්‍රමාණයවීම සම්බන්ධ සාකච්ඡාවක් සහ ආර්ථික අර්බුදය සම්බන්ධ සාකච්ඡාවක් තිබෙනවා. රුපියලේ අගය වෙනස් වෙන්නෙ ඩොලරයට සාපේක්ෂව. ඩොලරයේ වටිනාකම ලෝකයේ එක් එක් රටවල විනිමය අනුපාතික වෙනස් වෙනවා. මේ විනිමය අනුපාත තීරණය කරන ක්‍රම දෙකක් ලෝකයේ ක්‍රියාත්මක වෙනවා. එකක ස්ථාවර විනිමය අනුපාතික ක්‍රියාත්මක වෙන ක්‍රමය. එහෙම කරන රටවල ඩොලරයට සාපේක්ෂව තමන්ගෙ රටේ මුදල් ඒකකය එකම අගයක් ගන්නවා. ඒ සදහා එක් එක් රටවල මහබැංකු හරහා මැදිහත්වීමක් කරනවා. උදාහරණයක් හැටියට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩොලර් එකක් ඩිරාම් 3.67ක් වෙනවා. ඒක වෙනස් වෙන්නෙ නෑ. දෙවැනි එක නම්‍යශීලි විනිමය අනුපාතික, පාවෙන විනිමය අනුපාතික ක්‍රමය. දැන් රැපියල ඩාලරයට සාපේක්ෂව වෙනස් අගයන් බවට පත් වෙනවා. ඒ වෙනස්වීමත් ක්‍රම දෙකක් අනුව සිදු වෙනවා. එකක් තමයි ලංකාවෙ මහබැංකුවෙ පාලනය යටතේ එය විසින් තීරණය කරන අගයන් අනුව විනිමය අනුපාත වෙනස් වෙනවා. දෙවැනි එක තමයි කිසිම පාලනයක් නැතිව වෙළදපොළේ ඉල්ලුම සැපයුම අනුව රුපියලේ අගය පාවෙන්නට ඉඩ සැලැස්වීම. මේ නිසා ලංකාවෙ රුපියල තීරණය වන්නට ඉඩහැරීම රදා පවතින සාධක කිපයක් තිබෙනවා. එකක් තමයි ආනයන හා අපනයන කියන සාධකය. විදේශ විනිමය ලංකාවට එන්නෙ කොහොමද යන්නෙ කොහොමද කියන කාරණය. සාමාන්‍යයෙන් අපනයනයන් නිසා ලංකාවට ආදායමක් ලැබෙනවා. ඒ ආදායම ඩොලර්වලින් හෝ වෙනත් විදේශ විනිමය හරහා එනවා.ඒ නිසා විදේශ විනිමය රටට ගලා එන ප්‍රධාන ක්‍රමයක් ලෙස අපනයන ආදායම තිබෙනවා. ඒ වගේම විදේශ විනිමය වැය වෙනවා ආනයනයන් සදහා කරන ගෙවීම් නිසා. මේ නිසා ආනයන හා අපනයන අතර වෙනස, වෙළද ශේෂය එහෙමත් නැත්නම් වෙළද හිගය ලෙස තීරණය වෙන්නෙ අපනයන ආදායම් හා ආනයන වියදම් අතර පරතරයයි. ලංකාවේ මේ වනවිට තත්වය ගත්තොත් ආනයන සදහා වියදම ඩොලර් බිලියන 19ක් පමණ වෙනවා. පමුත් අපනයනයෙන් අපට ලැබෙන්නෙ ඩොලර් බිලියන 10ක් වගේ අගයක්. මෙ නිසා සාමානයයෙන් ඩොලර් බිලියන 9-10 අතර වෙළද ශේෂයක් ඇති වෙනවා. මේ හිගය පියවා ගන්න ඩොලර් බිලියන 10ක් විතර අවශ්‍ය වෙනවා. දැනට මේ හිගය පියවන්න දායක වෙන්නෙ විදේශගත ලාංකික ශ්‍රමිකයන්. ලංකාවෙ දැනට විදේශගත ශ්‍රමිකයන් ලක්ෂ 19ක් පමණ විදේශගතව සේවය කරනවා. ඒ අය වාර්ෂිතව ඩොලර් බිලියන 6-7ක් පමණ මේ රටට එවනවා. එකේන් ගමයි ප්‍රදාන වශයෙන් වෙළද හිගය පියවා න්න ලැබෙන්නෙ, ඉතිරි හිගය පියවා ගන්න විවිධ උපක්‍රම ආණ්ඩුව විසින් පාවිච්චි කරනවා. ණය එහි ප්‍රධානම කොටසක් ලෙස තියෙනවා.

ඒ නිසා ආනයන අපනයන නම් විදේශ විනිමය අනුපාතයට ප්‍රධාන වශයෙන් බලපාන්නෙ ආනයන අපනයන පාලනය කිරීම ඉතා වැදගත්. 1977ට කළින් ලංකාවෙ පැවති ආර්ථික ප්‍රතිපත්තියට අනුව ජංගම ගිණුම වහලා තිබුණෙ. ඒ කියන්නෙ ආනයන හා අපනයන පාලනය කළා. කැමති කැමති දේවල් ආනයනය කරන්න හෝ ඕනැම දෙයක් අපනයනය කරන්නයි අවසර ලැබුණෙ නෑ. ඒවට අදාළ සීමාවන් පැවතුණා. නමුත් 1977න් පස්සෙ නවලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ යටතේ විවෘත ආර්ථකය යටතේ ජංගම ගිණුම විවෘත කළා. ඒ නිසාම කිසිම පාලනයක් නැතිව ආනයන හා අපනයන සිදුවුනා. දැන් පවා ප්‍රිපත්තියක් නැතිව ආනයන හා අපනයන කරන්න අවස්ථාව තිබෙනවා. මොනවා හරි භාණ්ඩයක මිල වැඩි වෙනකොට ආනයනය කරනවා. දැන් පහුගිය කාලෙ හාල් මිල වැඩි වුණා කෘත්‍රිම ලෙස. සහල් මෝල් මාෆියාව විසින් තමයි මේ හාල් මිල වැඩිවීමට අදාළ ක්‍රියාදාමය සිදු කළේ. සහල් මෝල් මාෆියාවට ජනාධිපතිවරයාගේ ඥාතීන් සම්බන්ධයි. දේශපාලන බලය අනුව සහල් පාලන මිල සම්බන්ධ ගැසට් නිවේදනය අහෝසි කරණු ලැබුවා. ඒ විතරක් නෙවෙයි, සැගවූ සහල් තොග අනාවරණය කරගැනීමට නිලදාරින් සතුව තිබුනු නීතිමය හැකියාව පවා අහොසි කර දැමුවා. අවසානයේදි පිටරටවලින් හාල් ආනයනය කරන්න තීරණය කළා. මේ නිසා ලංකාවෙ විදේශ විනිමය සංචිතය සැලකිය යුතු ප්‍රමාණයකින් පහත වැටෙන්න එවැනි තත්වයන් බලපෑවා. ඒ නිසා ජංගම ගිනුම විවෘත කිරීම නිසාත් අවිධිමත් ලෙස ආනයන සදහා රජය පෙළඹීම යන හේතු නිසා රුපියල අවප්‍රමාණවීම බරපතල ලෙස සිදු වෙනවා. විනිමය අනුපාත තීරණය කිරීමෙදි බලපාන මීළග සාධකය තමයි ආනයන මත තීරු බදු අය කිරීම. මේ විධියට තීරු බදු මගින් කරුණු දෙකක් බලාපොරොත්තු වෙනවා. එකක් තමයි විදේශ විනිමය ආදායමක් රජය සතුකර ගැනීම. ලංකාවෙ ආනයන හරහා රජයට ඩොලර් බිලියනයක් පමණ තීරු බදු ආදායමක් හිමි වුණා. දෙවැනි බලාපොරොත්තුව තමයි ආනයනය කරන භාණ්ඩයෙ මිල වැඩිවන නිසා ඒ භාණ්ඩයම ලංකාවෙ නිෂ්පාදනය කරනවිට මිල අඩු නිසා දේශීය නිෂ්පාදනයට වැඩි වාසියක් ලැබෙනවා. පැවතුණු හැම ආණ්ඩුවක්ම නිදහස් වෙළද ගිවිසුම් අත්සන් කරමින් වෙනත් ද්විපාර්ශ්වික ගිවිසුම් අත්සන් කරමින් තීරු බදු අහෝසි කිරීමේ පිළිවෙතකට ගියා. උදාහරණ හැටියට චන්ද්‍රිකා බනෟඩාරණායක කුමාරතුංග ආණ්ඩුව 1998දි ඉන්දියාව සමග නිදහස් වෙළද ගිවිසුමක් අත්සන් කළා. දැන් ඔය දේශීය ආර්ථිකය ආරක්ෂා කරන්න ඕන, තීරු බදු පනවන්න ඕන කියන මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව පාකිස්ථානය සමග නිදහස් වෙලෙද ගිවිසුමක් අත්සන් කළා. වත්මන් ආණ්ඩුව පහුගිය පෙබරවාරියෙදි සිංගප්පූරුව සමග නිදහස් වෙළද ගිවිසුමක් අත්සන් කලා. මේ ගිවිසුම් හරහා සිදුවෙන්නෙ භාණ්ඩ විශාල ප්‍රමාණයකට තීරු බදු අහෝසි කිරීමයි. ඒ නිසා තීරු බදු ආදායම රජයට විශාල ප්‍රමාණයකින් අහිමි වෙනවා. දැන් සිංගප්පූරුව සමග නිදහස් වෙළද ගිවිසුම අත්සන් කළාට පස්සෙ ඒ රටේ වෙළද හා කර්මාන්ත අමාතයංශය නිවේදනයක් නිකුත් කර තිබුණා, මේ ගිවිසුම නිසා වාර්ෂිකව ඩොලර් මිලියන 10ක ඒ කියන්නෙ රුපියල් කෝටි 170ක විතර ලාභයක්. මේ ලාභය ලැබෙන්නෙ ලංකාවෙන් තීරු බදු අයකිරීම නවතා දැමුණ නිසා. මේ නිසා පහුගිය කාලෙ ඉන්දියාවෙන්, පාකිස්ථානයෙන් හා දැන් සිංගප්පූරුවෙන් ආනයන කරණ භාණ්ඩවලට තීරු බදු ආදායම රජයට අහිමිවී තිබෙනවා. දැන් අගමැති රනිල් වික්‍රමසිංහ කියනවා මැලේසියාව, චීනය වගේ වෙනත් රටවල් එක්ක නිදහස් වෙළද ගිවිසුම් අත්සන් කරන්න යනවා කියලා. ආණ්ඩුවේ ප්‍රතිප්තිය වෙලා තියෙන්නෙ වෙළදාම ලිබරල්කරණය කරලා තීරු බදු ආදායම අහිමි කරගැනීම.

රුපියල අවප්‍රමාණය වැලැක්වීය හැකි විනිමය අනුපාතය පාලනය කෙරෙන ඊළග ක්‍රමය තමයි විදේශ ආයෝජන. අපි දන්නවා 1977 ඉදලා ආණ්ඩු ගණනාවක් ආර්ථික ප්‍රතිසංස්කරණ කරමින් කිව්වෙ විදේශ ආයෝජකයො එනවා, විදේශ ආයෝජන ගේනවා කියලා කියනවා, ඇති බක්කක් නෑ. හැමදාම කිව්වට 1978 විදේශ ආයෝජන ගෙන්වාගැනීමේ උපායමාර්ගය පටන්ගත්ත දවසෙ ඉදලා ගෙවිච්ච අවුරුදු 40ටම වාර්ෂිකව විදේශ ආයෝජන වටිනාකම ඩොලර් මිලියනය ඉක්මවා ගිය අවස්ථා දෙක තුනක් තියෙන්නෙ. අවුරුද්දකට සාමාන්‍ය අගය ලෙස ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය ඩොලර් මිලියන 500-800 අතර රැදිලා තිබුණෙ. සමහර අවුරුදුවල එක් ඩොලර් මිලියන තුන්සිය ගානක්. පහුගිය අවුරුද්දෙදි 2017 විශාල වර්ධනයක් ලෙස ආණ්ඩුව කියනවා ඩොලර් බිලියන 1.63ක් ලැබුණා කියලා. ඊට කලින් ඩොලර් බිලියන 1.61 ක් ලැබුණෙ 2014 අවුරුද්දෙ. නමුත් මේක මහා ලොකු අගයක් කියන්න බෑ. මොකද අසල්වැසි ඉන්දියාවට ඩොලර් බිලියන 44ක් ආයෝජන ලැබුණා. සිංගප්පූරුවට ඩොලර් බිලියන 66ක් විදේශ ආයොජන ලැබුණා. ලංකාවට වඩා කුඩා රටක් වන හොංකොං දේශයට ඩොලර් බිලියන 100ක විතර ඍජු විදේශ ආයෝජන ලැබිලා තියෙනවා. ඒ නිසා ඍජු විදේශ විනිමය ආකර්ෂණය කරගැනීමෙන් විනිමය අනුපාතය පවත්වා ගැනීමත් අසාර්ථක වෙලා තියෙනවා. ආනයන වැඩිවීම, අපනයන අඩුවීම නිසාත්, වෙලෙද ගිවිසුම් අත්සන් කිරීම හරහා තීරු බදු අහිමිකර ගැනීම සහ විදේශ ආයෝජකයන් නොපැමිණීම යන සියල්ල හරහා ලංකාවට විදේශ විනිමය හිගයක් ඇති වෙලා තියෙනවා. ඒ ගැටලුව තිබියදී අඩුම ගානෙ මහබැංකුව මැදිහත් වෙලා විනිමය අනුපාතිකය පාලනය නොකර නවලිබරල් ප්‍රතිපත්තිය යටතේ රුපියල පාවෙන්න හැරීම සදහා මේ ආණ්ඩුව තීන්දුවක් ගත්තා.

1950 දි ඩොලර් එකක් රුපියල් 4.76ක තිබුණෙ. 1977දි එය රුපියල් 8.81ක් වුණා. 1977 නොවැම්බර් 16 වැනිදා තමයි තීරණයක් ගත්තෙ රුපියලේ අගය වෙළදපොළේ ඉල්ලුම සැපයුම මත තීරණය වෙන්න ඉඩ හරිනවා කියලා, නමුත් මහබැංකුවේ පාලනයක් යටතේ. ඒ තීරණය ගත්ත වෙලාවෙම ඩොලර් එකක් රුපියල් 8.81 සිට 15.56 දක්වා රුපියලේ අගය වැටුණා. ඒ වෙලාවෙ තමයි ජේ.ආර්.ගෙ ආණ්ඩුවෙ පන්ඩිතයෙක් කිව්වෙ රුපියල අවප්‍රමාණය වෙන බව සමහරු කියනවා, එහෙම වෙලා නෑ, රුපියලට එදත් සත සීයයි අදත් සත සීයයි කියලා. එහෙම ජනතාව නොමග යවමින් තමයි මේ ආර්ථික පිළිවෙත ඉදිරියට ගෙනාවෙ. ඒ නිසා රුපියලේ අගය අවප්‍රමාණ වෙන්න බලපෑම තීරණාත්මක අවස්ථා දෙකක් තියෙනවා. එයින් එකක් තමයි 1977 නොවැම්බර් 16 වැනිදා රුපියලේ අගය, මහබැංකුවේ අධීකරණයට යටත්ව වෙළෙදපොල ඉල්ලුම සැපයුම මත තීරණය කරන්න ඉඩ හැරීම. දෙවැනි අවස්ථාව තමයි වත්මන් රනිල් මෛත්‍රි හවුල් ආණ්ඩුව විසින් 2015 සැප්තැම්බර් 4 වැනිදා රුපියලේ අගය පිළිබදව මහබැංකුවේ මැදිහක්වීම අවසන් කරන්න තීරණය කිරීම. ඒ නිසා රුපියල කඩා වැටෙන්න පටන් ගත්තා. මේ නිසා 2015 ජනවාරි 8 වැනිදා මේ ආණ්ඩුව බලයට පත්වන අවස්ථාවෙ ඩොලරයට රුපියල් 130ක පමණ අගයක් වූ වටිනාකම මේ වනවිට රු. 170 දක්වා රුපියල අවප්‍රමාණය වීම. මේ කාලය අතරතුර ජගම ගිනුම විවෘත කළා. ආනයන අපනයන සීමා ඉවත් කළා. ඕනැම දෙයක් රටතුළට එන්න ඉඩ දුන්නා. ප්‍රාග්ධන ගිනුම විවෘත කරන්න තීරණය කළා. අද ඔය කෑගහන මහින්ද රාජපක්ෂ තමයි 2011 අවුරුද්දෙ අයවැය යෝජනාවලින් ප්‍රාග්ධන ගිනුම විවෘත කිරීමට යෝජනා කළේ. ඉන්පස්සෙ රවි කරුණානායකගෙ අයවැයෙන් ‘නොනිමි කර්තව්‍යයන් ඉටු කිරීම- මුල්‍ය වෙළද පොල ලිබරල්කරණය’ ලෙස ඒ කාරණයම කිව්වා. පහුගිය අවුරුද්ද‍ෙ මංගල සමරවීර අයවැය ඉදිරිපත් කරමින් කිව්වා, මුල්‍ය වෙළදපොළ ලිබරල්කරණය කරන්න ඕන, ඒකට ප්‍රාග්ධන ගිණුම විවෘත කරන්න වෙනවා කියලා. ජංගම ගිනුම කියන්නෙ ලංකාවෙන් යවන හා ගෙන්වන භාණ්ඩ සම්බන්ධ ආනයන අපනයන සම්බන්ධ ගිනුමක්. ප්‍රාග්ධන ගිණුම කියන්නෙ ලංකාවට එන සහ ලංකාවෙන් පිටත යන විදේශ විනිමය සම්බන්ද ගිනුම. ප්‍රාග්ධන ගිනුම වහලා කියලා කියන්නෙ ලංකාවට විදේශ විනිමය ගෙන එන එක හෝ විනිමය පිටකරන එක හරි පාලනයකට යටත්කර තිබීමයි. දැන් මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ සිට මේ ආන්ඩුව දක්වා හැම ආණ්ඩුවකම උපායමාර්ගය වුනේ ප්‍රාග්ධන ගිනුම විවෘත කිරීමයි. ලංකාවට එන සහ පිටතට යන විදේශ විනිමය පාලනය අහෝසිකර දැමීමයි එයින් සිදුවෙන්නෙ. ඒ කියන්නෙ ලංකාවට ගෙන ආව ඩොලර්වල වටිනාකම වැඩිවෙන කොට ඒ ඩොලර් ගෙන ආ ආයෝජකයන් කිසිම වගවිභාගයකින් තොරව ඒ ඩොලර් ආපහු අරගෙන යනවා. දැන් ඇවිල්ලා තියෙන්නෙ ඒ වගේ තත්වයක්. ඒ ඩොලර් පැමිණීම හා පිටවීම මිට කලින් පාලනය කෙරුණා. එකවර ඩොලර් අරගෙන යන්න බෑ. කොටස් වශයෙන් මහබැංකුවෙන් අවසර ඇතිව අරගෙන යන්න වෙනනෙ.කාග නිර්ණයක් තියෙනවා. අද ගෙනයන්න බෑ මාස 3කින් ගෙනයන්න කියනවා. අන්න ඒ නීතිමය ක්‍රියාවලිය තමයි අහෝසි කෙරුණේ. මේ නිසා දැන් ලංකාවෙ තියෙන ඩොලර් වේගයෙන් පිටතට ඇදී යමින් තිබෙනවා.

මේ නිසා ප්‍රාග්ධන ගිනුම විවෘත කිරීම සහ ජංගම ගිනුම විවෘත කිරීමත් ආයෝජකයන් කැදවීම තමයි එකම උපායමාර්ගය කියලා ඒ වෙනුවෙන් ලකංාවෙ තියෙන සියලු කර්මාන්ත විනාශ කිරීම හරහා මේ ප්‍රශ්නය අද මේ තත්වයට ඇවිත් තියෙනවා. ඒ නිසා මේක පැහැදිලිවම ආර්ථික ප්‍රතිපත්ති පිළිබද ප්‍රශ්නයක්. දැන් පහුගිය දවස්වල මහින්ද රාජපක්ෂ මාධ්‍ය හමුවක් තියලා කිව්වා එයාගෙ කාලෙ රුපියල ස්ථාවරව තිබුණා කියලා. කොහොද එයාගෙ කාලෙ එහෙම ස්ථාවර අගයක් තිබුණෙ? 2005ත 2015ත් අතර රාජපක්ෂ පාලනය යටතේ 29%කින් රුපියල අවප්‍රමාණ වුණා. මේ ආණ්ඩුව යටතේ 30%න් රුපියල අවප්‍රමාණ වෙලා. ලංකාවෙ වැඩියෙන්ම රුපියල අවප්‍රමාණ වුනේ ජේ.ආර්.ගෙ කාලෙ. 1977ත් 1989ත් අතර 350%න් රුපියල බාල්දු වුණා. මහින්ද රාජපක්ෂ කොච්චර කෑ ගැහුවත් මේ ආණ්ඩුව මට්ටමටම එයාගෙ කාලෙත් රුපියල බාල්දු වුණාත එයා කියනවා එයාගෙ පාලන කාලයෙ තිබුනෙ නිස්පාදන ආර්තිකයක්ලු. දැන් මේ වෙළදපොළ ආර්ථිකය නිසාලු රුපියලට මෙහෙම වෙන්නෙ. මහින්ද රාජපක්ෂගෙ කාලෙ නිෂ්පාදන ආර්තිකයක් තිබුණද? මොනවද ඇති කරපු නිෂ්පාදන? ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව වගේ අධිරාජ්‍යවාදී මුල්‍ය ආයතනවල පදේට නටමින් ලංකාවෙ කර්මාන්ත විනාශ කිරීම සහ නිෂ්පාදන විනාශ කරන එක තමයි මේ ආණ්ඩුව වගේම රාජපක්ෂ ආණ්ඩුවත් කළේ. කොහෙද ලංකාවෙ නිෂ්පාදන ආර්ථිකයක් ? ඊළගට මහින්ද රාජපක්ෂ දැන් කියනවා මේකට විසදුම ජාතික ආර්ථිකයක් හදන එක කියලා. දැන් මේක දෙපැත්තකින් ඇවිත් තියෙනවා. එක පිරිසක් ඉන්නෙ නවලිබරල් උපායමාර්ගයෙන් මේක විසදනවා කියලා. නමුත් මාස 6කට කලින් නවලිබරල් ධනවාදය තමයි වෙන විකල්පයක් නෑ කියපු මහත්වරුම දැන් ඇවිත පාපොච්චාරණය කරනවා මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියලා. සැප්තැම්බර් 22 වැනිදා අගමැති රනිල් වික්‍රමසිංහ කිව්වා ‘ආනයන වියදම් පාලනය කරන්න ඕන, ආනයන සීමා කරන්න ඕනැ එහෙම නැත්නම් උත්තරයක් නෑ’ කියලා. එයා කියන්නෙ ‘අඩුම ගානෙ අවුරුද්දකට ඩොලර් මිලියන 500 සිට ඩොලර් බිලියනය දක්වා ප්‍රමාණයකින් ආනයන වියදම් අඩු කරගන්න ඕන, එහෙම නැත්නම් අපට ගැලවිල්ලක් නෑ’ කියලා. ඉතින් ඕක තමයි අපි කිව්වෙ. ආනයන වියදම් පාලනයක් කළ යුතුයි කියලා. නවලිබරල් ප්‍රතිපත්තිය කියන්නෙ ආනයන වියදම් පාලනය නොකිරීමයි. නවලිබරල් ප්‍රතිපත්තියට විරුද්ධ ප්‍රතිපත්තිය තමයි ආනයන වියදම් යම් පාලනයක් කිරීම. දැන් රනිල් වික්‍රමසිංහ මේ දක්වා පිළිගත්ත ප්‍රතිපත්තිය අමතක කරලා අපට කියනවා ආනයන වියදම් පාලනය කළ යුතුයිලු. ආනයනය පාලනය කරනවා නම් ඒක විවෘත ආර්ථිකය නෙවෙයි. එහෙම නම් පිළිගන්න විවෘත ආර්තිකයෙ ප්‍රශ්නයක් තියෙනවා කියලා. බොරුවට කෑ ගහන්නෙ නැතිව ඒක පිළිගන්න. සැප්තැම්බර් 25 වැනිදා මුදල් ඇමති මංගල සමරවීර කිව්වා වාහන ඇතුළු සුඛෝපභෝගි භාණ්ඩ සදහා වැට බදිනවා, ආනයන සීමා කරනවා කියලා. දැන් මොනවද මේ සුඛෝපභෝගි භාණ්ඩ? පුවත්පත් වාර්තාවල සදහන් වෙන විදියට රූපවාහිනි යන්ත්‍ර, ශිතකරණ, ජංගම දුරකථන, ඔන්න ඕව තමයි ඒ කියපු සුඛෝපභෝගි භාණ්ඩ. දැන් සෙරෙප්පුත් අයිති වෙනවලු ඒ ලැයිස්තුවට. ඒවා සුඛෝපබෝගි භාණ්ඩ වෙන්නෙ කොහොමද? ඒවා මේ එදිනෙදා ජනතාව පාවිච්චි කරන බඩු. ඊයෙ පෙරේදා සරත් ෆොන්සේකා ඇමතිවරයා කිව්වෙ රුපියල අවප්‍රමාණ වෙනවා කියලා අපට හෑල්ලු වෙන්න බෑ, අපි යන වාහනය වෙනස් කරන්න බෑ කියලා. ඒ වාහන අයිති වෙන්නෙ මොන ගනයටද? රූපවාහිනි, ජංගම දුරකථන, සෙරෙප්පු සුඛෝපභෝගි භාණ්ඩ නම් ඒ අය යන සුඛෝපභෝගි වාහන අයිති වෙන්නෙ මොන ගොඩටද? සැප්තැම්බර් 29 වැනිදා මේ ආණ්ඩුව ලොකු බොරුවක් කළා තීරුබදු රහිත වාහන බලපතුවලින් වාහන ගෙන්වීම නවත්වනවා කියලා. ඒක රජයේ සේවකයන්ටත් එකයි, මැති ඇමතිවරුන්ටත් එකයි කියලා කිව්වෙ. දැන් මේ වෙනකොට පාර්ලිමේන්තුවෙ මැති ඇමති 225 දෙනාම තීරු බදු රහිත වාහන බලපත්‍රවලින් වාහන ගෙන්වා ගෙන ඉවරයි. ඒ වාහන ගෙන්වලා විකුණාගෙනත් ඉවරයි. මන්ත්‍රවරු ඇමතිවරු තීරු බදුරහිත වාහන ගෙන්වීම අවුරුද්දකින් කල් දැමුවා කියලා කියපු මංගල සමරවිර තමයි තමන් තීරු බදු රහිත වාහන බලපත්‍රයෙන් සුඛෝපභෝගි වාහනයක් ගෙන්වාගෙන ඒක මුලින්ම විකුණපු කෙනා. එයා දැන් කියනවා අවුරුද්දක් යනකං වාහන ගන්නෙ නැල්ලු. තව අවුරුද්දක් යනකං කොහොමටත් වාහන ගන්න බෑ. ඒ තීරු බදු රහිත වාහන බලපත්‍ර දෙන්නෙ අවුරුදු 5ට සැරයක් මේ අවුරුදු 5 ඒක දීලා ඉවරයි. මේ තීරණයෙන් ගැටලුවක් එන්නෙ රජයේ නිලධාරින්ට. රජයේ නිලධාරින්ට තීරු බදු රහිත වාහන බලපත්‍ර දෙනවා. මේ තීරණයෙන් අහෝසි වෙන්නෙ ඒකයි. රජයේ නිලධාරින්ගෙ බඩට ගහලා තියෙන්නෙ, මන්ත්‍රවරු ඇමතිවරු ඔක්තොම ඒක අරගනෙ තියෙන්නෙ. ෆොන්සේකා ඇමතිවරයා කියනවා වගේ ඒ ගොල්ලා බාල්දු වෙන්නෙ නෑ රුපියල කොච්චර බාල්දු වුණත්.

ඊයෙ වනාතවිල්ලුවෙ පොලිස් ස්ථානයෙ අලුත් පරිපාලන ගොඩනැගිල්ල විවාත කරන්න ගිය අගමැති රනිල් වික්‍රමසිංහ කියන්නෙ මේක ගෝලීයව පවතින අර්බුදයක්, මේක ලංකාවෙත් අර්බුදයක්, ප්‍රතිපත්තියෙත් අර්බුදයක්, කොහොමටත් මේක 2019 වෙනකං යනවා. තව අවුරුද්දක්වත් මේ අරබුදය පවතිනවා කියලා තමයි අගමැතිවරයා කිව්වෙ. දැන් මේ ජනතාවට කියනවා පටි තදකරගෙන ඉවසාගෙන ඉන්න කියලා.

දැන් මේ ආර්ථික ඔස්තාර්ලා ඇවිත් කියනවා රුපියල අවප්‍රමාණ වුනාට කලබල වෙන්න එපා, එකෙන් වාසිත් තියෙනවා. කියලා. ඔව් ඇත්ත වාසි තියෙනවා. රුපියල අවප්‍රමාණ වීමෙන් වාසි තියෙන්නෙ කාටද? වාසි තියෙන්නෙ අපනයන නිෂ්පාදන කරන ධනපතියන්ට. දැන් ඇගලුම් කම්හලක ඩොලර් එකක් වටින ඇදුමක් නිෂ්පාදනය කරනවා නම් ලංකාවෙ ඇගලුම් කම්හලක ඒ කම්හලේ සේවිකාවට රුපියල් 50ක වැටුපක් ගෙවනවා කියලා හිතුවොත්, කම්හලේ හිමිකාර ධනපතියට 2015දි ලැබෙන්නෙ රුපියල් 130ක්. කමුකරුවට 50ක් ගෙවුවම රුපියල් 80ක් එයාගෙ ලාභය. නමුත් රුපියල අවප්‍රමාණවීම නිසා එයා ඩොලර් එකක ඇදුමට රුපියල් 170ක් ලැබෙනවා. කම්කරු වැටුප් වැඩිකරලා නෑනෙත ඒ නිසා ධනපතියට රුපියල් 120ක් ලාභ ලැබෙනවා. කලින්ට වඩා රුපියල් 40ක් ධනපතියට වාසියි. එතකොට අපනයන නිෂ්පාදන කරන ධනපතියන්ට ලාභයි. පාඩු කාටද? අර ඇගලුම් සේවිකාවට ලැබෙන රු. 50න් 2015 ගත්ත භාන්ඩ ප්‍රමාණය දැන් ගන්න බෑ රුපියල බාල්දු වෙලා නිසා. දා එයා රු.50 වේල් දෙකක් කෑව නම් දැන් කන්න වෙන්නෙ එක වේලයි. අනික රුපියල අවප්‍රමාණවීමත් එක්ක පිටරටවලින් ගේන භාණ්ඩව මිල වැඩි වෙලා. කලින් 2015 ඩොලර් 1ක බාණ්ඩයක් ගෙනාවොත් ඒක 130යි දැන් 170යි. පිටරටවලින් ගෙන්වන්නෙ ඔය කියන සුඛෝපභෝගි  භාණ්ඩ විතරක් නම් ප්‍රශ්නයක් නෑ. හැබැයි, සීනි, කිරිපිටි, පරිප්පු, උම්බලකඩ වගේ අත්‍යවශ්‍ය භාණ්ඩ ඒ විතරක්ද ඖෂධ, ඉන්ධන මේ හැම එකක්ම ගෙන්වන්නෙ පිටරටවලින් ඒ හැම එකකින්ම මිල ඉහළ යද්දි මේ රටේ නිෂ්පාදනය කරන භාණ්ඩවලට අමුද්‍රව්‍ය ගෙන්වන නිසා ඒවාගෙ මිල ඉහළ යනවිට මේ රටේ නිෂ්පාදනවලත් මිල ඉහළ යනවා.

දැන් මේ අර්බුදයට විසදුම් හැටියට යෝජනා කරන කිසිවකින් ආණ්ඩුවට හැකි වෙලා නෑ අර්බුදයෙන් එළියට එන්න. අර්බුදය අස්සටම රිංගලා විසදුම් ලබා ගන්න බෑ. දැන්වත් උගුලෙන් ගැලවෙන්න ඕනෑ. 1977 විවෘත ආර්ථිකය ඇති කරලා ජනතාවට බොරු කිව්ව ජේ.ආර්. ජයවර්ධනගෙ බෑනා දැන් ජනතාවට කියනවා ආනයන සීමා නොකර මේ අර්බුදයෙන් ගොඩ එන්න බැරිලු. අපි කියන්නෙ

ඒ නිසා මේ අර්බුදය විසදන්න ජාතිකවාදීන් ගෙන එන දේශීය ආර්ථිකය කියන්නෙත් නැවත නවලිබරල් ධනවාදයේම පාරෙන් අධිරාජ්‍යවාදී මුල්‍ය සමාගම්වලට අවශ්‍ය ප්‍රතිසංස්කරණ කරමින් යන පාරක්. මහින්ද රාජපක්ෂ 2005 ඉදලා 2015 දක්වා කළේ ඒක. වෙනස් ආර්ථික පිළිවෙතක් ඉදිරිපත්කරන්න ඔවුන්ට බෑ.ඒ නිසා අපි රනිල් වික්‍රමසිංහටයි, මෛත්‍රිපාල සිරිසේනටයි, මහින්ද රාජපක්ෂටයි කියන්නෙ තවදුරටත් බොරු නොකර මේ දක්වා ක්‍රියාත්මක කළ ආර්ථික උපායමාර්ග වැරදියි කියලා පිළිගන්න. මහින්ද රාජපක්ෂ හිතාගෙන ඉන්නවා බොරදියේ මාලු බාන්න. මේ රනිල්ටවත් මෛත්‍රිපාලටවත් බැරි දේ මං ආවොත් කරනවා කියලා බොරු කියන්න ලෑස්ති වෙන්න එපා. ජනතාවට අපි කියන්නෙ ඒ බොරුවලට රැවටෙන්න එපා.

රනිල්-මෛත්‍රි හවුල දිගටම යන්නෙත් ඒ පාරෙමයි. 2015 බලයට එන්න කලින් මහින්ද රාජපක්ෂ විවේචනය කරමින් මොනවා කිව්වත් ඒ අය දැන් අවුරුදු තුන හමාරක්ම ගෙන ගිය පිළිවෙත ඒකමයි. ඉතින් දැන් මෙ අර්බුදය ඔස්සේ තවදුරටත් පීඩා විදින ජනතාවට අපි කියන්නෙ. මේ අර්බුදයේ ගිලී තවදුරටත් අනුන්ගේ ජයග්‍රහණවලට ධනපතියන්ගේ ලාභ ගොඩවල් වෙනුවෙන් පීඩාවට පත්වන ජනතාවට විසදුමක් ලබාගන්න නම් වෙන විකල්පයක් නෑ. එකම විකල්පය වමේ දේශපාලනයෙන් යෝජනා කරන සමාජවාදය. ලෝක මට්ටමෙන් සමාජවාදය ජයග්‍රහනයෙන් මෙහා මේ අර්බුදයට විසදුමක් නෑ. සමාජවාදය මනෝරාජිකය් කියලා සමහරු කියනවා, දැන් නවලිබරල් ධනවාදය ප්‍රශ්න විසදලාද? මනෝරාජික ආර්ථික සැලසුම් ඉදිරිපත් කරලා ජනතාව ලෝක පරිමාණයෙන් පීඩාවට පත්කර තිබෙන තත්වයක් තුළ එකම විසදුම වෙන්නෙ සමානාත්මතාව හා සාමුහිකත්වය ගෙන එන සැලසුම් සහගත ජාතයන්තරවාදී වැඩපිලිවෙළක් ලෙස සමාජවාදය.

The post ආර්ථික අර්බුදයට විසදුම ආනයනය සීමා කිරීම නම්, විවෘත ආර්ථිකය අවසන් කියලා පිළිගන්න – පුබුදු ජයගොඩ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();