Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආසියානු ක්‍රීඩා නව වාර්තා 3ක් සමග ශ්‍රී ලංකා පැරා ක්‍රීඩකයෝ සිහ ධජ නංවති

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

*ටොරින්ටන් ක්‍රීඩාංගණයට විසි කිරීමේ පුහුණු පථයක් දෙන්න
* පදක්කම් දිනූ ක්‍රීඩකයන්ගේ පුහුණුකරු ඉල්ලයි

ජාකර්තා ගෙලෝරා බන්ග් කරානෝ ක්‍රීඩා සංකීර්ණයේදී පෙරේදා නිමාවට පත්වු ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ආසියානු පැරා ක්‍රීඩා උළෙල වාර්තා තුනක් සමග ලක් මාතාවට ගෞරවය ගෙන දුන්හ. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පරා ක්‍රීඩා උළෙලකදී වාර්තා කළ වැඩිම වාර්තා ගණන ලෙස එය ඉතිහාසයට එක්විය.

එක් අතක් අප්‍රාණික ක්‍රීඩක වර්ගීකරණය යටතේ (F 46) හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකා කණ්ඩායම් නායක දිනේෂ් ප්‍රියන්ත හෙට්ටිආරච්චි මීටර් 61. 84ක දක්ෂතාවකින් නව වාර්තා පිහිටවූ අතර එහි පැරණි වාර්තාව 2014දී චීනයේ ගුවෝ චුන් ලියෑන්ග් 58.89කින් කොරියාවේදී 2014 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී පිහිටුවා තිබිණි.

දණහිසෙන් පහළ පාදයක් අහිමි හෝ පාදය අප්‍රානික ක්‍රීඩකයන් සහභාගීවූ (T 42/ 63) මීටර් 100 පිරිමි අවසන් තරගයේදී අමිල ප්‍රසන්න තත්පර 12. 56කින් ආසියානු පැරා ක්‍රීඩා නව වාර්තාව බිහිකළ අතර එහි පැරණි වාර්තාව ජපානයේ යමමෝටා හට්සුහාරී 2015දී දෝහා කටාර්හීදී තත්පර 12. 61කින් වාර්තා කළේය.

අනෙක් නව ආසියානු පැරා ක්‍රීඩා වාර්තාව අතක් අහිමි හෝ අතේ ඉහළ කොටස ආබාධිත ( T 45, 46 හා 47) කාන්තා දුර පැනීමේ ඉසව්ව මීටර් 4. 62ක් සාර්ථක කළ අමරා ඉන්දුමතී රිදී පදක්කම දිනා පිහිටවූ අතර එහි පැරණි වාර්තාව වසර 2014දී කොරියාවේ ඉන්චියොන් ක්‍රීඩා උළෙලේදී චීනයේ වෑන්ග් යෙන් පින්ග් මීටර් 4. 41කින් පිහිටුවා තිබිණි.

මලල ක්‍රීඩාවෙන් හා රෝද පුටු ටෙනිස් ක්‍රීඩාවෙන් පමණක් මෙවර ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පදක්කම් දිනාගත් අතර මලල ක්‍රීඩාවෙන් රන් පදක්කම් 4ක්, රිදී පදක්කම් 6ක් හා ලෝකඩ පදක්කම් 3ක් හිමිවිය. ඉතිරි ලෝකඩ පදක්කම රෝද පුටු ටෙනිස් ක්‍රීඩාවෙන් සටහන් වූවේය. එය රෝද පුටු ටෙනිස් ක්‍රිඩා ඉතිහාසයේ ආසියානු පැරා ක්‍රීඩා උළෙලකදී හිමි කරගත් පළමු ඓතිහාසික පදක්කම ලෙස එය සටහන් විය. රෝද පුටු ටෙනිස් යුගල තරගයේදී සුරේෂ් රංජන් ධර්මසේන හා ලසන්ත සුරේෂ් රණවීර 2-0කින් තායිලන්තය පරදවා ලෝකඩ පදක්කම දිනා ගත්හ.

මෙම ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී දණහිසෙන් පහළ පාදයක් අහිමි හෝ පාදයක් අප්‍රාණික ( T 42, 63) මීටර් 100 හා 200 පිරිමි ඉසව්වලින් අමිල ප්‍රසන්න වර්ණකුලසූරිය රන් පදක්කම් දෙකක් හා පිරිමි දුර පැනීමේ ඉසව්වෙන් චරිත නිර්මල බුද්ධික රන් පදක්කමක් දිනා ගත්හ.

දණ හිසෙන් පහළ පාදයක් අහිමි හෝ කකුලේ දිග වෙනස්වීම, කකුලක් අප්‍රාණිකවීම ( T 42 – 44/ 61 - 64) හෙල්ල විසි කිරීමෙන් සම්පත් චමින්ද හෙට්ටිආරච්චි, යගුලිය විසි කිරිමෙන් පාලිත බණ්ඩාර, පිරිමි දුර පැනීමෙන් නුවන් ඉන්දික හා දණහිසෙන් පහළ පාදයක් අහිමි හෝ පාදයක් අප්‍රාණික ( T 42, 63) මීටර් 100 හා මීටර් 200 පිරිමි ඉසව්වලින් උපුල් ඉන්දික චූලදාස රිදී පදක්කම් දෙකක් දිනා ගත්හ.

දණහිසෙන් පහළ පාදයක් අහිමි හෝ පාදය අප්‍රාණික ක්‍රීඩකයන් සහභාගීවූ මීටර් 200 පිරිමි ඉසව්වෙන් චරිත නිර්මල බුද්ධික, මීටර් 100 පිරිමි තරගයේදී කීර්ති බණ්ඩාර හා පාදයක් අහිමිවීම හෝ පාදයේ දිග වෙනස්වීම (T44 / 64) මත වර්ගීකරණයවූ පිරිමි උස පැනීම ඉසව්වෙන් ලාල් පුෂ්පකුමාර ලෝකඩ පදක්කම් දිනා ගත්හ.

අතක් අහිමි හෝ අතේ ඉහළ කොටස ආබාධිත ( T 45, 46 / 47) කාන්තා මීටර් 100 ඉසව්වට සහභාගීවූ කුමුදු ප්‍රියංකා තම පෞද්ගලික හොඳම කාලය සටහන් කරමින් තත්පර 14. 28ක කාලයක් වාර්තා කිරීමද විශේෂත්වයකි.

******************

පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත

රියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී රන් හා රිදී පදක්කම් දෙකම දිනාගත් ක්‍රීඩකයන් පරාජය කොට හෙල්ල විසි කිරීමෙන් දිනේෂ් ප්‍රියන්ත රන් පදක්කම දිනාගත් අතර, හෙල්ල විසි කිරීමෙන් තවත් ඉසව්වකදී සම්පත් හෙට්ටිආරච්චි හා යගුලිය විසි කිරීමෙන් පාලිත බණ්ඩාර රිදී පදක්කම දිනා ගත්තේ පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත මහතා යටතේ පුහුණු වෙමිණි. ප්‍රදීප් නිශාන්ත මහතා ඉන්දුනීසියාවේ ජාකර්තා සිට මෙම ක්‍රීඩකයින්ට අවසන් මොහොත දක්වා අවශ්‍ය පුහුණු උපදෙස් ලබා දෙමින් කටයුතු කළේය. ඒ මහතා පවසන්නේ වසර 2020දී පවත්වන ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව විශේෂ දස්කම් අපේක්ෂාවෙන් සැලසුම් සහගතව කටයුතු කළ බවය. ඒ සඳහා හොඳ පුහුණුවක් කල් ඇතිව ලබාදීම අනිවාර්ය බව ප්‍රදීප් නිශාන්ත මහතාගේ අදහස වේ.

“ ආබාධිත අය පුහුණුකරද්දී විශේෂත්වයක් තිබෙනවා. විශේෂයෙන්ම පුහුණුව සමග ලබාදෙන බර ඉසිලීමේදී සැලකිළිමත් විය යුතුයි. පිටියේදී ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා අනෙකුත් අයට වෙනස් පුහුණුවක් කරන්නේ නෑ. මොකද එහෙම වෙනසක් පෙන්නුවාම මානසිකව වැටෙනවා. ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු කිරීමේදී කිසියම් අවදානමක් තිබුණත් එය ඉතා සියුම් ලෙස කළමනාකරණය කරගෙන ඔවුන්ගෙන් අවශ්‍ය දේ ලබාගන්න පුහුණුකරු දැනගත යුතුයි. ආබාධිත අය පුහුණු කරන්න ශ්‍රි ලංකාවේ පුහුණුකරුවන් තවම ඉන්නේ හතර පස් දෙනයි. මේ ප්‍රමාණය වැඩි කරගත යුතුයි. මා ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ දෙවැනි කාණ්ඩයේ පුහුණුව ලබා තිබෙනවා. එයට අමතරව ක්‍රීඩා ඩිප්ලෝමාව කළා. නමුත් මෙයට වඩා ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් පුහුණුකරුවන්ට අවශ්‍යයි“ ප්‍රදීප් නිශාන්ත මහතා පැවැසීය.

“ අපට ටොරින්ටන් ක්‍රීඩාංගණයේ විසි කිරීමේ ඉසව් සඳහා පුහුණු වෙන්න වෙනම ධාවන පථයක් අවශ්‍යයි. ඉල්ලීම් කළත් මේවන තෙක් ලැබුණේ නෑ. ඒ වගේම පැරා ක්‍රීඩකයන් දෙස වෙනස් විදිහට බලන්න එපා කියා මා සියලු දෙනාගෙන් ඉල්ලිම් කරනවා. මේ අය අාබාධිත වුණේ යුද්ධයට ගිහින්. එයට කලින් හොඳට හිටිය අය. මේ අයට ශ්‍රී ලංකාවේ තරගාවලි මදි. ජාතික මහා ක්‍රීඩා උළෙලට මේ අයගේ ක්‍රීඩා සම්බන්ධ කොට ඔවුන්ට තව තවත් තරග වැඩි කළ යුතුයි. දක්ෂතා ඇති තවමත් ක්‍රීඩාවට සම්බන්ධ නොවූ අය ඉන්නවා නම් සැඟවී නොසිට අප හමුවන්න කියා ඉල්ලා සිටිනවා. විසි කිරීමේ ඉසව්වලින් ඉදිරියට යන ඕනෑම කෙනෙකු වෙනුවෙන් ඕනෑම වේලාවක අප කැපවෙන්න සූදානම්“ පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත මහතා පැවැසීය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();