එස්.එල්.ටී. ස්පීඩ් අප් පාපැදි සවාරිය
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් සංවිධාන කරන එස්.එල්.ටී. ස්පීඩ් අප් පාපැදි සවාරියේ පළමු අදියර ජය ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුවේ ඩේන් නුගේරා සමත් විය. කොළඹ ගාලුමුවදොර ඉදිරිපිටින් ඊයේ (4) ආරම්භ වූ පළමු අදියර කි.මී. 159.5කින් සමන්විත විය.
මෙහි දෙවැනි ස්ථානය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සොනාල් ද සිල්වා විසින් දිනා ගනු ලැබූ අතර ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කළ තුෂාන් රාජපක්ෂ තෙවැනි ස්ථානයට පත් විය.
ඊයේ පෙ.ව. 8.30ට ආරම්භ වූ මෙම තරගය ගාලුමුවදොර සිට දෙහිවල දක්වා සාම සවාරියක් (නිදහස් ධාවන තරගයක්) ලෙස ක්‍රියාත්මක කෙරිණි. දෙහිවල ගුවන් පාලම අසලින් පෙ.ව. 9.00ට නිල වශයෙන් තරගය ආරම්භ විය. ආරම්භයේ සිටම තරගය වේගවත් වූ අතර කි.මී. 2.1ක් පසුකර ගල්කිස්ස නගරයට පැමිණෙන විට පැයට කි.මී. 41ක සාමාන්‍ය වේගයක් තිබිණි.
පාපැදි සවාරිය ගාල්ල වටරවුමට පැමිණෙන විට කි.මී. 106.5ක සමස්ත දුරක් අවසන්ව තිබිණි. එතැන් පටත් අවසානය දක්වා තරගය වඩාත් වේගත් මුහුණුවරක් ගත්තේය. කි.මී. 159.5ක දුරක් ගෙවා දමා පළමු අදියරේ අවසානය වූ මාතර නගරයට පැමිණෙන තරගයේ වේගය පැයට කි.මී. 46ක් දක්වා වර්ධනය විය. මෙම වේගය සැලකෙනුයේ මෙරට පැපැදි ඉතිහාසයේ අදියරක් අවසන් කිරීම සඳහා වාර්තා වූ වේගවත්ම කාලය ලෙසය. මීට ඉහත පැවැති තරගාවලි අතර වාර්තා වී ඇති උපරිම වේග සීමා පැයට කි.මී. 44 මට්ටමේ පැවතියේය.
පළමු අදියර සඳහා තරගකරුවන් 122 දෙනෙකු සහභාගි වූ අතර ඔවුහු ගුවන් හමුදාව, නාවික හමුදාව, දෙහිවල ගල්කිස්ස මහනගර සභාව, වරාය අධිකාරිය, පොලීසිය, යුද හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, යන් වීල්, වින්ගෙඩ් වීල්, ද ෆ්‍රෙන්ඩ්ස්, සුපර් වීලර්ස්, සුපර් බේරු ක්‍රීඩා සමාජ නියෝජනය කළහ. පාපැදි සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත්වෙන මෙම සවාරිය ජාත්‍යන්තර පාපැදි තරග නීති යටතේ පැවැත්වේ.
ඊයේ උදෑසන පැවැති සමාරම්භක උත්සවයට විදුලි සන්දේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, පළාත් පාලන හා පළාත් සභා හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය, ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා, සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී අජන්ත සෙනෙවිරත්න මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නිලධාරීහු සහභාගි වූහ.
මාතරින් අවසන් වූ පළමු අදියරේ ත්‍යාග ප්රදානය සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සාමාන්‍යාධිකාරී (දකුණු පළාත) සමන් අබේසේකර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී දිනේෂ් ගාල්ලගේ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (විකුණුම්) හසරංග විධානපතිරණ, මාතර ප්‍රාදේශීය කළමනාකාරිනී චන්ද්‍රිකා සමරසිරි, මාතර නඩත්තු හා මධ්‍යස්ථාන කළමනාකාරිනී තිලංකා මැණිකේ, ගයාන් එදිරිසිංහ මහත්ම මහත්මීහු සහභාගි වූහ.
මෙරට තුළ වාර්ෂිකව පැවැත්වෙන පාපැදි තරගාවලි අතරින් ප්‍රමුඛතම තරගාවලිය වන එස්.එල්.ටී. ස්පීඩ් අප් පාපැදි සවාරිය අදියර පහකින් (දින පහක්) සමන්විතය. මෙහි දෙවැනි අදියර අද (5) පෙ.ව. 8.30ට මාතර සිට බලන්ගොඩ දක්වා (කි.මී. 161.4) පැවැත්වේ.
0 Comments