Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මේ ආණ්ඩුව අසමත් ආණ්ඩුවක් – විජිත හේරත්.

Vijitha_Herath_23

දින 100 පාලනය තුළ ඉටුකරනවා කියපු කිසි දෙයක් සාර්ථකව නිම කරන්න මේ ආණ්ඩුවට බැරි වුණ බවත්  ඒ තුළින් මේ ආණ්ඩුව අසමත් ආණ්ඩුවක් බවට තහවුරු කළ බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් ප්‍රකාශ කර සිටී. ඔහු මෙලෙස ප්‍රකාශ කර සිටියේ, අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරත්,

2015 ජනවාරිවලට කලින් අපේ රටේ පැවතුණේ ඒකාධිපති, පවුල් පාලනයක් සහිත කැලෑ නීතිය කි‍්‍රයාත්මක වුණු ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී බිහිසුණු පාලනයක්. එය පෙරළා දැමීමේ වුවමනාවක් රටේ ජනතාවට තිබුණා. ඒ අනුව තමයි 2015 ජනවාරි ජනාධිපතිවරණයෙන් එම පාලනය පරාජයට පත් කළේ. එතැනින් එහාට ගොස් රටේ ආර්ථික, සමාජයීය, දේශපාලන වෙනසක් සිදුකරන්න වුවමනාවක් රට තුළ පැන නැගී තිබුණා. ඒ අනුව තමයි ජනතාව මේ ආණ්ඩුවට ඡන්දය දුන්නේ. ජනාධිපතිවරණයෙන් බලයට ඇවිත් මුල් දින 100 ඇතුළත විධායක ජනාධිපතිධුරය අහෝසි කරනවා කියන එක තමයි මූලික සටන් පාඨය වුණේ. නමුත් දින 100 තුළ තියා මේ වනතෙක් විධායක ජනාධිපතික‍්‍රමය අහෝසි කරන්න කටයුතු කළේ නැහැ. මේ වනවිට ආණ්ඩුවට ඒ පිළිබඳව කිසිදු වුවමනාවක් නැතිවෙලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, දින 100 පාලනය තුළ ඉටුකරනවා කියපු කිසි දෙයක් සාර්ථකව නිම කරන්න මේ ආණ්ඩුවට බැරි වුණා. ඒ තුළින් මේ ආණ්ඩුව අසමත් ආණ්ඩුවක් බවට තහවුරු කළා.

නැවත 2015 අගෝස්තු මාසයේ මැතිවරණයෙන් ජනතාවට විශාල බලාපොරොත්තුවක් දීලා මේ ආණඩුව බලයට ආවා. ඊට පස්සේ හදාගත්ත හවුල් ආණ්ඩුවේ මාස 60න් අලූත් රටක් හදනවා කියලා පංචවිධ ප‍්‍රතිපත්තියක් ගෙනාවා. කැබිනට් මණ්ඩලය 30කට සීමා කරන බවත් විද්‍යාත්මකව ඇමතිධුර ලබාදෙන බවත් කිව්වට ආණ්ඩුවෙ එය ඉටුකළේ නැහැ. හොරකමට දූණයට වංචාවට තිත තියනවා කියලා ජනතාවට පොරොන්දු වුණාට මහ දවල් මහ බැංකුව කොල්ලකෑවා. හොරුන්ට දඬුවම් දීම සඳහා නීතිය කි‍්‍රයාත්මක කළේ නැහැ. වසර 3ක් ගතවෙලත් මේ ආණ්ඩුවට එක හොරෙක් අල්ලගන්න බැරිවුණා. මහ බැංකු හොරකම වෙනුවෙන් කසුන් පලිසේන වගේ කෙනෙක් අල්ලගෙන උසාවියට ගෙනාවට ඒ හොරකමේ මහ හොරාවත් මහ මොළකරුවත් අත්අඩංගුවට ගත්තේ නැහැ.

මාස 60න් අලූත් රටක් හදන්න ආව මේ ආණ්ඩුව වසර 3ක් ගතවෙනකොට ඇමති මණ්ඩලය හතර වතාවක් සංශෝධනය කළා. 2015 සැප්තැම්බර් මාසයේ හදාගත්ත ඇමති මණ්ඩලය ඇමතිධුර වැඩිකරගනිමින් කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව හදාගත්තා. 2017 මැයි මාසයේදී 2018 පෙබරවාරි මාසයේදී, 2018 මැයි මාසයේදීත් ඇමති මණ්ඩලය සංශෝධනය කළා. මාස 60න් රට හදනවා නම් ආණ්ඩුවට නිශ්චිත වැඩපිළිවෙළක් තිබිය යුතුයි. වසර 3ක් ඇතුළත ඇමති මණ්ඩලය හතර වතාවක් වෙනස් කිරීම තුළින්ම පේනවා මේ ආණ්ඩුවට රට හදන්න වුවමනාවක්වත් වැඩපිළිවෙළක්වත් නැහැ කියලා. දිනෙන් දින රටේ ජනතාවගේ ජීවන වියදම වැඩිවෙනවා. 2015 පෙබරවාරි මාසයේ 108.9ක් වුණු ජීවන අංකය මේ වසරේ ජූලි මාසය වනවිට 126.5කට ඉහළ ගිහිල්ලා. ආණ්ඩුවේ සංඛ්‍යාලේඛනවලට අනුවම මේ වසර තුනේ ජීවන වියදම වැඩිවීම රුපියල් 5649.60ක්. මේ වැඩිවුණු ජීවන වියදම රාජ්‍ය අංශයේ, පෞද්ගලික අංශයේ සියලූම දෙනාටම ගෙවිය යුතුව තිබෙනවා. නමුත් ආණ්ඩුව පඩි වැඩිකළේ නැහැ.

මේ ආණ්ඩුවේ වසර 3 ඇතුළත ඉතිහාසයේ පළමු වතාවට අපේ රටේ රාජ්‍ය සේවකයින්ගේ විශ‍්‍රාම වැටුප කප්පාදු කළා. 2016 සිට රාජ්‍ය සේවයට බඳවා ගන්නා සේවකයින්ට විශ‍්‍රාම වැටුප අහිමි කොට තිබෙනවා. ඒ වෙනුවට වැටුපෙන් 6%ක් කපාගෙන දායක මුදලක් ස්ථාපිත කරනවා කියලා රාජ්‍ය සේවකයින්ගෙන් මුදල් කපාගත්තට එම මුදල නැවත ගෙවීම සඳහා තවමත් නීතියක් සම්මත කර නැහැ. ඒ නිසා එම 6% කපා ගැනීම නීති විරෝධීයි. ඒ වගේම මේ වනවිට දිනෙන් දින උද්ධමනය වැඩි වෙමින් තිබෙනවා. බඩු මිල, බදු බර, වැඩිවෙලා තිබෙනවා. රාජපක්‍ෂ පාලනයේ විදේශ ණය ගැනීම සම්බන්ධයෙන් විශාල විවේචනයක් තිබුණා. නමුත් මේ ආණ්ඩුවත් දිනෙන් දින විදෙස් රටවලට ණය වෙමින් තිබෙනවා. මේ වන විට රාජ්‍ය ණය දශලක්‍ෂ 313කින් වැඩිවෙලා තිබෙනවා.

ආණ්ඩුව කියනවා, වසර 3ක් තුළ ආණ්ඩුව නිදහසේ හුස්ම ගත්තා කියලා. ආණ්ඩුව තිබුණත් නැතත් ජනතාව හුස්ම ගන්න එක නතර කරන්නේ නැහැ. ජනතාව නිදහසේ හුස්ම ගන්නවා කියන ආණ්ඩුව සිසු අරගලවලට අමානුෂික ලෙස පහර දෙනවා. උද්ඝෝෂණ මර්දනය කරනවා. රටේ සම්පත් විකුණනවා. නකල්ස් රක්‍ෂිතයේ වනාන්තර කපා දමලා හෝටල්වලට ඉඩම් ලියලා දෙනවා. ජනතාව හුස්ම ගන්න ඔක්සිජන් නිෂ්පාදනය කරන කැලෑ කපන ආණ්ඩුවක් ජනතාවට හුස්ම ගන්න පුළුවන් වුණා කියලා පම්පෝරි ගහනවා. රට ආර්ථික වශයෙන් බරපතළ අගාධයකට වැටී තිබෙනවා. මේ වසර වනවිට අපේ රටේ වෙළඳ ශේෂය රුපියල් මිලියන 9619ක් දක්වා ඉහළ ගිහින් තිබෙනවා. අසීමිත ලෙස භාණ්ඩ ආනයනය නිසා වෙළඳ ශේෂය ඉහළ ගොස් ආර්ථිකය විශාල අර්බුදයකට ගමන් කරමින් තිබෙනවා.

ඒ වගේම රටේ විශාල අපරාධ රැල්ලක් වර්ධනය වෙමින් තිබෙනවා. කුඩු ගෙන්වීම, කේරල ගංජා ගෙන්වීම, බැංකු මංකොල්ලය, ස්තී‍්‍ර දූෂණ වැනි විශාල අපරාධ රැල්ලක් රට තුළ වර්ධනය වෙමින් තිබෙනවා. මේ ආකාරයට අපරාධ වර්ධනය වෙන්නේ රටේ ආර්ථිකය කඩා වැටීම නිසයි. වයසක අම්මලා පවා යට ඇඳුම් අස්සේ කුඩු පැකට් හංගාගෙන ඇවිත් අලෙවි කරන්නේ මේ ආර්ථික අර්බුදය නිසයි. දරුවන්ට කන්න දෙන්න ආදායමක් නැති නිසා විවිධ ආකාරයෙන් මුදල් හම්බ කරන්න පෙළඹෙනවා. මරණ දඬුවම කි‍්‍රයාත්මක කරනවා කිවුවත් ඇතැම් අය එයට බය නොවී කුඩු පැකට් එකක් විකුණ ගන්න හදන්නේ ජීවත් වෙන්න ක‍්‍රමයක් නැති නිසා. මෙම ආර්ථික අර්බුදය අද සමාජ අර්බුදයක් බවට පත්වෙලා එය දේශපාලන අර්බුදයක් දක්වා වර්ධනය වෙලා තිබෙනවා. මේ ආණ්ඩුව රටේ ජනතාවගේ ප‍්‍රශ්න විසඳන්න අසමත් බව දිනෙන් දින ඔප්පු කරනවා. තරුණ තරුණියන්ට රැුකියා දශ ලක්‍ෂයක් දෙනවා කිව්වා. බයිසිකලේ යන අයට කාර් එකක් ගන්න ආර්ථිකය හදනවා කිව්වා. අධි කර්මාන්ත කලාප 11ක් ගේනවා කිව්වා. ෆොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් දානවා කිවුවා. නමුත් මේ ආණ්ඩුවට තරුණ තරුණියන්ට රක්‍ෂාවක් දෙන්න බැරිවුණා. කාර් එකට ගහපු බද්ද වැඩි කළා. ෆොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් තියා එක කර්මාන්ත ශාලාවක් ආරම්භ කරගන්න ආණ්ඩුවට බැරිවුණා.

ජනතාවගේ දුප්පත්කම නැති කරන්න වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැහැ. ජනතාවගේ ජීවන වියදම වැඩිවීමේ ප‍්‍රශ්නයට විසඳුම් දුන්නේ නැහැ. දවසින් දවස අසමත් වුණු මේ ආණ්ඩුව ඡන්දවලට යන්න බය වුණා. ඒ නිසා ඡන්ද කල් දාන කි‍්‍රයාමාර්ගයකට යන්න පෙළඹුණා. පළාත් පාලන මැතිවරණය මේ විදිහට විවිධ හේතු ඉදිරිපත් කරමින් කල් දැම්මා. අන්තිමේදී ජනතාවගේ විරෝධය නිසා ඡන්දය පැවැත්වීම සිදුවූ අවස්ථාවේදී ආණ්ඩුවේ නියෝජිතයින් ලවා ඡුන්දය කල්දමා ගැනීමට නඩු ගොනු කරන්නත් උත්සාහ කළා. මේ වෙනකොට පළාත් සභා මැතිවරණයත් දිනෙන් දින කල් යමින් තිබෙනවා. මේ වනවිට පළාත් සභා කිහිපයක් කාලය ඉකුත් වෙලා තිබෙනවා. තවත් පළාත් සභා 3ක් ඉදිරි මාස කිහිපය තුළදී විසුරුවා හැරිය යුතුව තිබෙනවා. එම පළාත් සභාවල මැතිවරණය පවැත්විය යුතු වුවත් ආණ්ඩුව තවමත් ඒ පිළිබඳව අවධානය යොමුකර නැහැ. මේ ආණ්ඩුව පළාත් සභා ඡන්ද ක‍්‍රමය වෙනස් කරන්න පනතක් සම්මත කළා. ඒ අනුව 2017 මාර්තු මාසයේදී ඡුන්දය පවත්වන බවට ආණ්ඩුව පොරොන්දුවක් දුන්නා. නමුත් ආණ්ඩුව සීමා නිර්ණ කටයුතු සම්පූර්ණ කළේ නැහැ. කල්මරලා ගෙනාපු සීමා නිර්ණ කොමිසමේ වාර්තාව 24වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. නමුත් දැන් බරපතළ ප‍්‍රශ්නයක් වෙලා තිබෙන්නේ එම පනත ගෙනාපු ආණ්ඩුවේ කොටස්කාරයෙක් වන එක්සත් ජාතික පක්‍ෂය කොට්ඨාස ක‍්‍රමයට විරුද්ධයි කියන එකයි. මනාප ක‍්‍රමය වෙනුවට කොට්ඨාස ක‍්‍රමයත් කාන්තා නියෝජනය වැඩි කිරීමටත් මේ ආණ්ඩුවම ගෙනාපු පනතට ආණ්ඩුවේ එක් පාර්ශ්වයක් විරුද්ධ වීම බරපතළ ප‍්‍රශ්නයක්. එජාපය කියන්නේ මෙම නව පළාත් සභා පනත ඔවුන්ට සිදුවූ වැරදීමක් බවය. ලොකුම විහිළුව වන්නේ එයයි. ආණ්ඩුව ගෙනාපු පනත මාස 5කින් එජාපයට නරක් වෙන්නේ කොහොමද? අනෙක් විහිළුව වන්නේ සීමා නිර්ණ වාර්තාවට ශී‍්‍රලනිපය එකඟ වීමත් අලූත් පනතට අනුව මැතිවරණය පැවැත්විය යුතු බවට ඔවුන් ප‍්‍රසිද්ධියේ කියා සිටීමත්ය. එයින්ම පේනවා මේ ආණ්ඩුවට දුරදක්නා ප‍්‍රතිපත්තියක් නැහැ කියලා. ආණ්ඩුවේ පාර්ශ්ව දෙකෙන් අභ්‍යන්තර අර්බුද නිසා රටේ පනත් නිතර නිතර වෙනස් කරන්න සිදුවෙනවා. මේ ආණ්ඩුව ජනතාවගේ පරමාධිපත්‍ය බලය එක්ක සෙල්ලම් කරන්න පටන් අරගෙන. මෙහි යටි අරමුණ වෙලා තිබෙන්නේ ඡුන්දය කල්දමා ගැනීමයි.

ජනතා විමුක්ති පෙරමුණ මනාප ක‍්‍රමය වෙනුවට කොට්ඨාස මත පදනම් වූ නව පළාත් සභා මැතිවරණ ක‍්‍රමයට එකඟයි. අපි එදා හිටපු ස්ථාවරයේම අදත් ඉන්නවා. මොකද, මනාප ක‍්‍රමය පැවති කාලයේදී ජවිපෙ අපි මැතිවරණයේදී මනාප ඉල්ලූවේ නැහැ. ඒ නිසා අපි කියන්නේ මැතිවරණ කල් දාන්නේ නැතිව වහාම පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි. නව පනතට අනුව මැතිවරණයට යාම සඳහා සීමා නීර්ණ කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවේ සම්මත කළ යුතුයි. එයට පක්‍ෂව අපි ඡන්දය දෙනවා. සම්මත නොවුණොත් මැතිවරණ කොමිසමට මැතිවරණය සඳහා යන්න පුළුවන්කමක් නැහැ. එසේ වුවහොත් කළ යුතුව තිබෙන්නේ නව පනත බල රහිත කළ යුතුයි. ඒ සඳහා පාර්ලිමේන්තුවේ 2/3ක කැමැත්තක් ලබාගත යුතුයි. ඒ වගේම දැනට බල රහිත වී තිබෙන පැරණි පනත නැවත බලාත්මක කළ යුතුයි. ඒ සඳහාද පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයක් අවශ්‍යයයි. එය සංකීර්ණ කි‍්‍රයාවලියක්. ආණ්ඩුව මෙම සීමා නීර්ණ කොමිසමේ වාර්තා සකස් කිරීමට විශාල මුදලක් වැය කළා. ඒ වියදම් කළේ ජනතාවගේ බදු මුදල්. දුම්රිය ගාස්තු, බස් ගාස්තු වැඩිකරමින් ජනතාවගෙන් අයකර ගන්නා බදු මුදල් ආණ්ඩුවට මේ විදිහට නාස්ති කරන්න දෙන්න බැහැ. ඒ නිසා මේ වසර 3 පුරාවටම ආණ්ඩුව ඔප්පු කරලා තිබෙන්නේ තමන්ගේ අසමත්කමයි. මේ වසර 3 පුරාවටම ආණ්ඩුව කළේ ආණ්ඩුවක් නොකරන එකයි. ආණ්ඩුව හරියට ආණ්ඩුව පාලනය කළා නම් රට මේ තරම් අර්බුදයකට යන්නේ නැහැ.

එනිසා මේ තත්වය වෙනස් කළ යුතුව තිබෙනවා. ආණ්ඩුව ජනතාවගේ බලාපොරොත්තු කඩකළා. හොරකම් නතර කරනවා කියලා ඇවිත් හොරකම් කරන්න පටන් ගත්තා. හොරු අල්ලපු නැති නිසා ඒ හොරුන්ම අද ආණ්ඩුව හොරු ඇල්ලූවේ නැහැ කියලා පෝස්ටර් ගහන තත්වයකට පත්වෙලා තිබෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව ජනතාවගෙන් සමාව ගත යුතුයි. ඒ වගේම ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි. මේ

ආණ්ඩුවට තවදුරටත් ජනතාවගේ ප‍්‍රශ්න විසඳන්න පුළුවන්කමක් නැහැ. මාස 60න් රට හදනවා කිවුවාට දැන් මාස 36ක් ගෙවිලා ඉවරයි. ඒ නිසා අපි පක්‍ෂයක් විදිහට මෙම අර්බුදය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරනවා. මහ බැංකු හොරකමේ ඉඳලා බස්නාහිර පළාත් සභාවේ රු. හයලක්‍ෂ හතළිස් දාහේ පුටුව දක්වා හෙළිදරව් කළේ ජනතා විමුක්ති පෙරමුණයි. පාර්ලිමේන්තුව ඇතුළු සියළුම ආයතනවලදී අපි අපේ කාර්යභාරය හරියට කරනවා. ඒ විතරක් නෙවෙයි ඉදිරියේදී ජනතාව සහභාගි කරවා ගනිමින් ආණ්ඩුවට එරෙහි විශාල සටනකට ජනතාව සංවිධානය කරනවා. මේ වනවිටත් අපි රට හදන, රට රකින ජනතාවාදී පාලනයක් මැයෙන් ජනතාව දැනුවත් කිරීමේ ජනහමු දස දහසක් රට පුරා පවත්වමින් තිබෙනවා. ඒ වගේම උගතුන්, බුද්ධිමතුන් ඒකරාශී කරගනිමින් රට ගොඩනැගීමේ ජාතික වැඩපිළිවෙළක් සකස් කිරීම අපි ආරම්භ කොට තිබෙනවා. ඉදිරි මාස 06 තුළ එම වැඩපිළිවෙළ රටට ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා යැයි පැවසීය.

මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දුන් ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්,

පළාත් සභා මැතිවරණ පනතට මෛතී‍්‍ර පාර්ශ්වය එකඟයි කියනවා. ඒ අනුව මැතිවරණය අලූත් ක‍්‍රමයට පවත්වන්න ඕනෑ කියනවා. එජාපය පැරණි ක‍්‍රමයට යමු කියනවා. නමුත් අපේ ස්ථාවරයේ වෙනසක් නැහැ. අපි යෝජනා කරන්නේ නව පනතේ අඩුපාඩු තිබෙනවා නම් ඒවා සකස් කරගෙන කඩිනමින් මැතිවරණයකට යා යුතුයි කියලා. පනතේ අඩුපාඩු සකස් කළ යුත්තේද පාර්ලිමේන්තුව මගිනුයි. නමුත් ආණ්ඩුවේ වුවමනාව වෙලා තිබෙන්නේ මැතිවරණය කල් දමා ගැනීමයි. ඒ නිසා තමයි ආණ්ඩුව මෙම තුරුම්පු පාවිච්චි කරන්නේ. මැතිවරණ කල් දමනවාට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි.

විශේෂ අධිකරණය පිහිටුවන්න ආණ්ඩුව පොරොන්දු වුණේ දින 100 කාලය තුළයි. නමුත් මේවනවිට වසර 3ක් ගතවෙලා තිබෙනවා. ආණ්ඩුවට දැන් තමයි විශේෂ අධිකරණ පිහිටුවන්න හැකිවෙලා තිබෙන්නේ. ඒත් පිහිටුවනවා කියපු අධිකරණ 3න් පිහිටුවලා තිබෙන්නේ එකක් පමණයි. එක අධිකරණයක් පිහිටුවන්න වසර 3ක් ගතවුණු එකේ නඩු කටයුතු ආරම්භ කරනකොට ඉතිරි වසර 2 ගතවෙලා තියෙයි. එතකොට මේ ආණ්ඩුවේ කාලයත් ඉවරයි. හොරුන්ට දඬුවම් දීම අපේ රටේ ජනතාවගේ ප‍්‍රධාන ඉල්ලීමක්. නමුත් ආණ්ඩුව එය ඉටුකළේ නැහැ. ආණ්ඩුව කියන්නේ විශේෂ අධිකරණ පවත්ගෙන යන්න අවශ්‍ය පහසුකම් නැහැ කියලයි. නමුත් ආණ්ඩුව ඊට වඩා විශාල ලෙස නාස්තිකාර වියදම් කරනවා. අපි ආණ්ඩුවට බලකරන්නේ නාස්තිකාර වියදම් නවත්වලා රටේ ජනතාවගේ ප‍්‍රධාන ඉල්ලීමක් වන ¥ෂිතයින්ට දඬුවම් දීම සඳහා විශේෂ අධිකරණ පිහිටුවන්න ප‍්‍රමුඛතාවය දෙන්න කියලා.

උතුරේදී විග්නේෂ්වරන් ජාතිවාදය අවුස්සනවා. ඊට සාපේක්‍ෂව දකුණේ ජාතිවාදීන් අවුස්සනවා. හමුදා කඳවුරු සම්බන්ධයෙන් තීන්දු-තීරණ ගත යුත්තේ ජාතික ආරක්‍ෂාව මත පදනම් වෙමින් රටේ ආරක්‍ෂක මණ්ඩලයයි. එසේ නැතිව දේශපාලකයින් නොවෙයි. හමුදා කඳවුරු සඳහා උතුරේ ජනතාවගේ ඉඩම් ලබාගෙන තිබෙනවා නම් ඒවා නැවත ජනතාවට ලබාදීමේ වගකීමත් ආණ්ඩුවට තිබෙනවා. මොකද, මේවනවිට යුද්ධය අවසන් වෙලා වසර 9කුත් ගතවෙලා ඉවරයි. නමුත් මෙම හමුදා කඳවුරු ප‍්‍රශ්නය දේශපාලන වාසි ලබාගැනීම වෙනුවෙන් පාවිච්චි කරනවා. විග්නේෂ්වරන්ට කිසිසේත්ම හැකියාවක් නැහැ, හමුදා කඳවුරු ඉවත් කිරීම පිළිබඳව තීරණ ගන්න. උතුරු පළාත් සභා පාලන කාලය තුළදී එම ජනතාවගේ ධීවර ප‍්‍රශ්නයටවත් ගොවි ජනතාවගේ ප‍්‍රශ්නවලටවත් එදිනෙදා ජීවිතයේ පැන නගින දෛනික ප‍්‍රශ්නවලටවත් විසඳුම් ලබාදෙන්න අසමත් වුණා. පළාත් සභාවට වෙන් කරපු මුදල් පවා ජනතාවගේ කටයුතු වෙනුවෙන් වියදම් කරන්න පළාත් සභාවට බැරි වුණා. ඉන්දීය ට්‍රෝලර් යාත‍්‍රා ඇවිත් අපේ මුහුදු සීමාවේ මාළු අල්ලාගෙන ගියත් ඒ සම්බන්ධයෙන් විග්නේෂ්වරන්ගේ කිසිදු විරෝධයක් නැහැ. ජනතාවගේ ප‍්‍රශ්න වෙනුවෙන් මැදිහත් නොවන විග්නේෂ්වරන්ගේ ඇත්ත වුවමනාව වෙලා තිබෙන්නේ ජාතිවාදය ඇවිස්සීමේ ප‍්‍රකාශ නිකුත් කිරීම පමණයි.

ඕනෑම රටක අණ්ඩුවක් තමන්ගේ ජාතික වුවමනාව තේරුම් ගනිමින් එයට ප‍්‍රමුඛතාවය දෙනවා. නමුත් අපේ රටේ ආණඩුව ඉතාම දීනවෙලා ඇමරිකාව, චීනය, ඉන්දියාව, ජපානය වැනි රටවල වුවමනාවන් ඉටුකරන තත්වයකට පත්වෙලා තිබෙනවා. පහුගිය පාලන කාලයේදී ගෝඨාභය රාජපක්‍ෂ මැදිහත් වෙලා ඇමරිකාව සමඟ ආරක්‍ෂක හරස් ගිවිසුමක් අත්සන් කළා. එමගින් ඇමරිකානු හමුදාවට ශී‍්‍ර ලංකා භූමියේදී සියලූම පහසුකම් ලබාගැනීමට අවස්ථාව උදාකරලා දෙනවා. එනිසා එම ගිවිසුම දේශද්‍රෝහී, ජනතාද්‍රෝහී ගිවිසුමක්. වසර 10කට අත්සන් කරපු එම ගිවිසුම කාලය ඉකුත් වූ පසුව මෙම ආණ්ඩුව නැවත දීර්ඝ කළා. ඒ නිසා අපේ රටේ සියලූම ආණ්ඩු රටවල් ඉදිරියේ දණ ගහලා ඔවුන්ගේ වුවමනාවල් ඉටුකරගැනීමට ඉඩ ලබාදෙනවා.

මාධ්‍ය මර්දනය කිරීම විවිධ ආකාරයෙන් සිදුවෙනවා. මාධ්‍යයට තර්ජනය කරලා මෙන්ම මාධ්‍ය ආයතනවලට, මාධ්‍යවේදීන්ට කප්පම් ලබාදීලත් කරන්නේ මාධ්‍ය මර්දනය කිරීමක්ම තමයි. තවත් අවස්ථාවලදී විවිධ නීති පැනවීම මගින් ආණ්ඩු මාධ්‍ය මර්දනය කරනවා. පැවති ආණ්ඩුව වගේම මේ ආණ්ඩුවත් මාධ්‍ය මර්දනය කරනවා. ජනාධිපති විවේචනය කළා කියලා ටී.එන්. එල්. ආයතනයේ විකාශන මධ්‍යස්ථානය පහුවදාම විකාශනය නැවැත්වුවා. ඒ නිසා අපේ රටේ හැම ආණ්ඩුවක්ම මාධ්‍ය මර්දනය කරනවා. ආණ්ඩුව පත්වුණු මුල් කාලයේදී මාධ්‍ය මර්දනය අඩු වුවත් ආණ්ඩුවේ අවසාන කාලය වන විට ආණ්ඩුවට එරෙහිව විවේචන වැඩිවන විට මාධ්‍ය මර්දනය වැඩිකරනවා.

The post මේ ආණ්ඩුව අසමත් ආණ්ඩුවක් – විජිත හේරත්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();