ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර පැවැත්වෙන 18වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පදක්කම් බලාපොරොත්තු ඉසව්වක් වන මලල ක්‍රීඩා ඉසව් තරග අද (25) ග්ලොරා බන් කර්නෝ ක්‍රීඩාගණයේදී ආරම්භ වෙයි.
අද පෙරවරුවේ අරුණ දර්ශන සහ කාලිංග කුමාර මීටර් 400 මූලික වටයේ තරගයට එක්වන අතර ජානක ප්‍රසාද් විමලසිරි දුර පැනීමේ ඉසව්වේ සුදුසුකම් ලැබීමේ තරගයටත්, හිරුණි විජේරත්න මීටර් 10000 අවසන් තරගයටත් එක්වන්නේ පස්වරුවේදීය.
මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේදී ඉතිහාසය අලුතින් ලියවිය හැකි බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද පැවසූහ.
ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලකදී අවසන් වරට මලල ක්‍රීඩාවෙන් පදක්කමක් දිනා ඇත්තේ 2006 වසරේදීය. එවර සුසන්තිකා ජයසිංහ රිදී හා ලෝකඩ පදක්කම බැගින් දිනාගත් අතර මීටර් 400 සහාය දිවීමේ කණ්ඩායම ලෝකඩ පදක්කමක් දිනා තිබේ.
මෙවර එක්වන මලල ක්‍රීඩා කණ්ඩායමේ වැඩි දෙනකු ආසියානු ක්‍රීඩා උළෙලක් නියෝජනය කරන්නේ පළමු වරට වීම විශේෂත්වයක් වුවද ඔවුන් ජාත්‍යන්තර තරග රැසක අත්දැකීම් ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වෙති.
මෙවර පදක්කම් දිනා ගැනීමට වැඩි අවස්ථාවක් ඇති බවත්, ශ්‍රී ලංකාව තුළ පෙන්වූ දස්කම් මේ තරගාවලියේදී පෙන්නුව හොත් අනිවාර්යයෙන්ම පදක්කම් දිනාගත හැකි වනු ඇති බවත් ඊයේ මලල ක්‍රීඩා කණ්ඩායම සමග ග්ලොරා බන් කර්නෝ ක්‍රීඩා සංකීර්ණයේ පුහුණුවීම්වලට එක්ව සිටි කණ්ඩායමේ පුහුණුකරු සජිත් ජයලාල් මහතා පැවැසීය
‘අපිට මෙවර ක්‍රීඩා උළෙලේදී පදක්කම් කිහිපයක් දිනාගත හැකියි. විශේෂයෙන් මීටර් 800 කාන්තා ඉසව්වෙන් පදක්කම් එකක් හෝ දෙකක් දිනාගත හැකි තත්ත්වයක ඉන්නවා. අපිට ප්‍රබල තර්ජනයක් වන ඉන්දියානු ක්‍රීඩිකාවත් මෙවර තරගාවලියට නැහැ. ඒ නිසා අපිට වැඩි අවස්ථාවක් තියෙනවා. මේ දෙදෙනා ආධුනිකත් නැහැ. අපේ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ලංකාවේ කරපු දේ මෙහෙත් කළොත් පදක්කම් දිනාගත හැකියි.’ ජයලාල් මහතා කියා සිටියේය.
අමෙරිකාවේ සිට පැමිණි හිරුණි විජේරත්න මීටර් 10000 ඉසව්ව නියෝජනය කරමින්ද, කේනයාවේ පුහුණුවීම් කටයුතු කළ මීටර් 800 ක්‍රීඩක අරුණ දර්ශන ද ශ්‍රී ලංකා කණ්ඩායමට එක්ව සිටිති.
අද මීටර් 10000 ඉසව්වට එක්වන හිරුණි විජේරත්න පැවැසුවේ මේ තරගයේදී තමාගේ වැඩි අවදානය යොමුවී තිබෙන්නේ වේගය වැඩිකර ගැනීම සඳහා බවයි.
‘මම මේ තරගයේදී මගේ අවධානය යොමු කරන්නේ වේගය වැඩි කරගන්නයි. මැරතන් තරගයක් දුවන්න පුහුණු වෙනකොට සතියකට කිලෝමීටර් 120ක පමණ දුරක් දුවන්න වෙනවා. දැන් මට අඩු දුර ප්‍රමාණයකින් වැඩි වේගයකින් දුවන්න අවස්ථාවක් තියෙනවා. ඒ නිසා මේ ඉසව්වේ දී මම වේගය වැඩි කරන ගැනීමට උත්සහ කරනවා. මම මීටර් 10000 තෝරා ගෙන ටික කාලයයි ගත වුණේ. ඒත් ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරන්න හැකිවුණා.’ යැයි පැවැසූ හිරුණි මේ ඔක්තෝබරයේ පැවැත්වෙන චිකාගෝ මැරතන් තරගයත් සමගින් නැවත මැරතන් තරග සමග එක්වන බවද කීය.
මේ අතර ඊයේ පැවැති බැඩ්මින්ටන් කේවල ඉසව්වේ 32 දෙදෙනාගේ වටයේදී නිලූක කරුණාරත්න තායිලන්තයේ කොසිට් පෙට්ප්‍රදාබ් සමගින් තරග වැදුණු අතර නිලුකගේ සොහොයුරු දිනූක කරුණාරත්න මැකාවෝහී පන් ෆොන්ග් සමගින් තරග වැදුණි.
එහිදී නිලුක ලකුණු 21-12ක් සහ 21-12ක් ලෙස වට 2-0කින් පරාජයට පත්ව තරගාවලියේ ඉවතට විසිවූ අතර දිනූක වට 2-0ක ජයක් වාර්තා කළේය. තරගයේ පළමු වට 21-14ක් ලෙස ජයගත් දිනූක දෙවැනි වටයේ ජය හිමිකර ගත්තේ 21-15ක් ලෙසිනි. මේ ජය සමගින් 16දෙනාගේ වටයට පිවිසීමට සමත්වූ දිනූක කරුණාරත්න හොංකොංහී ඇන්ගස් ලෝන් ට එරෙහිව අද තරග බිමට පිවිසෙයි.
ජයග්‍රහණයෙන් අනතුරුව දිනූක පැවැසුවේ මේ තරගයේදී සැහැල්ලුවෙන් ක්‍රීඩාවේ නිරතවූ බවත් හෙට (අද) පැවැත්වෙන තරගයේදී හොංකොං ක්‍රීඩකයාට ප්‍රබල සටනක් දීමට බලාපොරොත්තු වන බවත්ය.
16 දෙනාගේ වටයේදී කවිඳි සිරිමාන්නගේ තායිලන්තයේ නිච්ඔන් ජින්ඩාපෝල් සමගින් කේවල ඉසව්වෙනුත්, සචින් ඩයස් සහ බුවනෙක ගුණතිලක පාකිස්තානයේ රිස්වාන් ඒසම් සහ සුහිරි අලි සමගින් පිරිමි යුගල තරගයටත් අද (25) එක්වෙති.
ශ්‍රී ලංකා පිරිමි බාස්කට්බෝල් පිල (3x3) ඊයේ වියට්නාමය සහ සත්කාරක ඉන්දුනීසියාවට එරෙහි තරග කිරීමට නියමිතව තිබූ අතර බස්කට්බෝල් කාන්තා පිල අද (24) කොරියාව සහ සිරියාවට එරෙහිව තරග වැදීමට නියමිතය.
බොක්සිං ඉසව් ආරම්භ කරමින් ඊයේ රාත්‍රියේ කේෂානි හංසිකා කිලෝග්‍රෑම් 57 බර පන්තියෙන් කසකස්තානයේ සානිය සුල්තැන්ක්සි සමගින් තරග වැදීමට නියමිතව තිබූ අතර අද දිනයේ කිලෝගෑම් 49 බර පන්තියෙන් තිවංක සඳරුවන් රණසිංහ සත්කාරක ඉන්දුනීසියාවේ මාරියෝ ලසියුස් කලී සමගින්ද, කිලෝග්‍රෑම් 64 බර පන්තියෙන් දිනිඳු සපරමාදු ටජිකිස්තානයේ බැකොදූර් උස්මොනොව් සමගද, දුලාංජලී ධර්මතිලක (කි.ග්‍රෑ.60) ටජිකිස්තානයේම ෂෝරා සුල්කිනරෝවා සමගින්ද තරග වදිති.
ශ්‍රී ලංකා පිරිමි හොකී කණ්ඩායම සහභාගීවන දෙවැනි තරගය ඊයේ හොංකොං පිලට එරෙහිව පැවැත්වීමට නියමිතවූ අතර ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල් පිල එක්වන මූලික වටයේ අවසන් තරගය අද චීනය සමගින් පැවැත්වෙයි. ක්‍රීඩා උළෙලේ කරාටේ ඉසව්ද අද ආරභ වෙයි. මේ ඉසව්වට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් 4ක් සහ ක්‍රීඩිකාවෝ දෙදෙනෙක් එක්ව සිටිති.

0 Comments