Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වූෂු පදක්කම ශ්‍රී ලංකාවට මඟ හැරෙයි

Author(s): 
නිරෝෂාන් ප්‍රියංකර

18 වැනි ආසියානු ක්‍රීඩා උළෙල

කාන්තා කබඩි පිලේ ගමනට ඉන්දියාව හරස්වෙයි

ආසියානු ක්‍රීඩා ඉතිහාසයේ පළමු වූෂු පදක්කමක් දිනා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමිවී ගියේය.

පිරිමි කිලෝග්‍රෑම් 60 බර පන්තියෙන් සන්ධා අංශයේ අර්ධ අවසන් පූර්ව තරගයට එක්වූ පැතුම් නුවන් ධර්මවර්ධනලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක 2 ක ක්‍රීඩක වියට්නාමයේ වැනියි න්ගියෑම් හමුවේ 2-0කින් පරාජයට පත්වීමේ මේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමිවිය. පැතුම් එම තරගයෙන් ජය ගත්තේ නම් අවසන් පූර්ව වටයට පිවිසෙන අතර එම වටයේ තරග වදින ක්‍රීඩකයන් සිවුදෙනාටම පදක්කම් හිමිවෙයි.

තරගයෙන් අනතුරුව පැතුම් නුවන් පැවැසුවේ තරගාවලියේ මෙතෙක් පැමිණි දුර ගැන සතුටට පත්වන බවත්, ශ්‍රී ලංකාවට පදක්කමක් ලබාදීමට නොහැකිවීම ගැන කනගාටුවට පත්වන බවත්ය.

‘එයා දක්ෂ ක්‍රීඩකයෙක්. මම තරග කළේ 2017 ලෝක ශූරයාත් එක්ක. මගේත් අඩුපාඩු තිබුණා. ඊයේ තරගයේදී මගේ කකුල ඩැමෙජ් වුණා. ඒ අවාසියත් මට තිබුණා. මම පළමු වටය පැරදුණේ ලකුණු 1-2කින්. දෙවැනි වටයේදී මම උත්සාහ කළා ලකුණු අතරට යන්න. ඒත් කකුලේ ආබාධය ඒකට බලපෑවා.’

‘මම හිතනනවා පුුහුණුකරු සහ මම තැනකට ආවා කියලා. අපිට තියෙන පහසුකම් එක්ක මේ ආපු දුර හොඳටම ඇති කියලා හිතනවා. මම තරග කළේ හුඟ කාලේක ඉඳලා පදක්කම් අත්තර ඉන්න ක්‍රීඩකයෙක් එක්ක. ඒත් මම ෆයිට් එක අතාරියේ නෑ. මොකද මම ඊට වඩා පුහුණුවීම් කළා. පුහුණුකරුත් හැම වෙලාවෙම මට කිව්වේ ඔයාට මේක කරන්න පුළුවන් කියලා. පදක්කම් සිහිනය බොඳවීම ගැන කනගාටුයි. මම දැන් ඉන්නේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල 5 වැනි තැන. මගේ බලාපොරොත්තුව ලබන වසරේ පැවත්වෙන ලෝක ශූරතාවලිය සහ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව පදක්කම් දිනා දීමයි.’ පැතුම් ‘දිනමිණ’ ට අදහස් දක්වමින් පැවැසීය.

පැතුම්ගේ පුහුණුකරු සහ ජාතික පුහුණුකරු වන කපිල සභාපති මහතා පැවැසුවේ ඔහු ලෝකයේ අංක දෙක ක්‍රීඩකයා සමගින් තරග කළත් පෙර දිනයේ සිට ඔහුව පරාද කිරීමේ සැලසුම් සැකසූ බවයි.

‘අපි කලින් සැලසුම් හැදුවා. ඔහු ලොව අංක 2 ක්‍රීඩකයා. ඩ්‍රෝ එකේදී අපිට මෙයාව හමුවුණේ. මේ ක්‍රීඩකයා හැර වෙන ක්‍රීඩකයෙක් හමුවුණා නම් අපිට පදක්කමක් දිනන්න තිබුණා.’

මේ අතර කබඩි ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ පසුවන ඉන්දියාව සමග ඊයේ ටාමෑන් ඉන්දා හිදී පැවැති මූලික වටයේ අවසන් තරගයෙන් ලකුණු 38-12ක පරාජයක් ශ්‍රී ලංකාවට හිමිවිය.

මේ පරාජයත් සමග තරගාවලියෙන් ඉවත්වීමේ අවදානමකට මුහුණදීමට ශ්‍රී ලංකාවට සිදුවුයේ සහභාගිවූ තරග 4න් 2ක් පරාජයට පත්වීම හේතුවෙනි. ඔවුන් තරගාවලිය ආරම්භ කරමින් තායිලන්තය සමග පැවැති තරගයෙන් ද ලකුණු 41-15කින් පරාජයට පත්විය. සත්කාරක ඉන්දුනීසියාව සහ ජපානය අතර පැවැති තරග ජය ගැනීමට සමත්වුවද ප්‍රසාද ලකුණු සටහනේ හිමිවූයේ තෙවැනි ස්ථානයයි.

කෙසේ වෙතත් මේ ජයත් සමගින් ඉන්දියාව (4) අපරාජිත අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. තායිලන්තය ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන අතර ඔවුන්ද තරග 2ක් ජයගෙන තිබේ. තායිලන්තය අද (22) සත්කාරක ඉන්දුනීසියාව සමග මූලික වටයේ අවසන් තරගයට එක්වෙයි. එහිදි තායිලන්තය ජයගතහොත් ඔවුන් පහසුවෙන්ම අවසන් පූර්ව වටයට එක්වන අතර ඉන්දුනීසියාව ජයගතහොත් තායිලන්තය, ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ලකුණු සමාන වෙයි.

ශ්‍රී ලංකා පිරිමි කබඩි කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ඊයේ පැවැති තරගය තියුණු මුහුණුවරක් ගත් අතර බංග්ලාදේශයට ලකුණු 4ක ජයක් අත්විය.

තරගයේ පළමු භාගය ලකුණු 17-10ක් ලෙස පෙරමුණ ගැනීමට බංග්ලාදේශය සමත් විය. එහෙත් දෙවැනි භාගයේදී තම ග්‍රහණය දැඩිකළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 15ක් රැස්කර ගැනීමට සමත් වෙද්දී බංග්ලාදේශයට ලබාගත හැකිවූයේ ලකුණු 12ක් පමණි. එහෙත් පළමු භාගයේ ලබාගත් වාසිය හේතුවෙන් බංග්ලාදේශයට ජය හිමිවිය.

අද දිනය පිරිමි කබඩි කණ්ඩායමට විවේක දිනයක් වන අතර හෙට (23) කොරියාව සමග තරගය පැවැත්වෙයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දුනු විදීමේ ඉසව්වට එක්වූ සජීව් ද සිල්වා ක්‍රීඩකයන් 79ක් අතුරින් 64 වැනි ස්ථානයට පත්වූ 3x3 බාස්ක්බෝල් ඉසව්වේදී ශ්‍රී ලංකා පිල චීනය හමුවේ ලකුණු 21-14කින්ද, තායිලන්තය හමුවේ 20-10කින්ද පරාජයට පත්විය.

මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලේ නව තරග වාර්තා 3ක් බිහි කරමින් දක්ෂතම ක්‍රීඩකයා වූ තිලංක පළඟසිංහ ඊයේ කිලෝග්‍රෑම් 62 බර පන්තියෙන් තරග බිමට පිවිසි අතර මුල් උත්සාහයන් තුනම අසාර්ථක වීමෙන් තරගයෙන් ඉවත් වීමට සිදුවිය.

එම ඉසව්වේ කිලෝග්‍රෑම් 69 බර පන්තියෙන් තරග වදින පොදු රාජ්‍ය මණ්ඩලයීය රිදී පදක්කම්ලාභී ඉන්දික දිසානායක අද (22) තරග බිමට පිවිසීමට නියමිතය. කිලෝග්‍රෑම් 80 ට වැඩි පිරිමි බර පන්තියෙන් ටයිකොන්ඩෝ ඉසව්වට එක්වූ බිලේෂ් ප්‍රනාන්දු ලකුණු 13-8ක් ලෙස ඉන්දියාවේ අක්ෂේ කුමාර් හමුවේ පරාජයට පත්විය. එම ඉසව්වේ කාන්තා කිලෝග්‍රෑම් 67ට වැඩි බර පන්තියෙන් තරග කළ රනුරි වන්තිලා ට කාම්බෝජයේ ක්‍රීඩිකා සෝර්න් සිව්මේ ගේ පළමු පහරින්ම තරගයෙන් ඉවත් වීමට සිදුවූයේ ඇයට නිතරග ජයක් හිමිකර දෙමිනි.

මේ ඉසව්වේ කිලෝග්‍රෑම් 63 ට අඩු බර පන්තිය නියෝජනය කරමින් අවසන් 32 දෙදෙනාගේ වටයේදී චලින්ද සම්පත් අද තරග බිමට පිවිසෙයි.

ඊයේ පිහිනුම් ඉසව්වට එක්වූ අබේසිංහ සොයුරන්ටද තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.

මීටර් 50 නිදහස් ආර ඉසව්වේ 6 වැනි මූලික වටයේ තරගයට එක්වූ මැතිව් අබේසිංහ තරගය නිම කළේ තත්පර 22.88කිනි. එම කාණ්ඩයේ 5 වැනි ස්ථානය පත්වූ මැතිව්ට සමස්ත සටහනේ හිමිවූයේ 12වැනි ස්ථානයයි. එය ඔහුගේ පෞද්ගලික දෙවැනි හොඳම කාලය වෙයි. පසුගිය පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී දැක්වූ තත්පර 22.65 ඔහුගේ හොඳම කාලයයි. එම ඉසව්වේ 7වැනි මූලික වටයේ තරගයට එක්වූ මැතිව්ගේ සොයුරු කයිල් අබේසිංහ නිම කිරීමට තත්පර 23.36ක කාලයක් ගත කළේය. එම කාණ්ඩයේ අවසන් ස්ථානයට පත්වූ ඔහුට ක්‍රීඩකයන් 51ක් අතුරින් හිමිවූයේ 20 වැනි ස්ථානයයි.

අබේසිංහ සොයුරන් සමගින් කාවින්ද්‍ර නුගේරා සහ අකලංක පීරිස් එක්වන මීටර් 100 නිදහස් ආර සහාය තරගය අද පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා පිරිමි හොකී කණ්ඩායම අද දකුණු කොරියාව සමග තරග බිමට පිවිසෙයි.

ඡායාරූප - තුසිත් විජේදෝරු ජාතික ඔලිම්පික් කමිටුව

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();