රැදවියෝ ඕනම බන්ධනාගාරයකට මාරු කිරීමේ බලය බන්ධනාගාර ඇමති විදිහට පනතෙන් ලබාදීලා තියෙන බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරියටත් මාරු කිරීම් කරන බවත් කිසිම වෙලාවක කවුරු මොනවා කිවුවත් නතර කරන්නේ නැති බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ ප්‍රකාශ කර සිටී. අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ මුල්‍ය අක්‍රමිකතා නඩු කඩිනම් කිරීම සදහා ස්ථාපිත කළ විශේෂ මහාධිකරණ ත්‍රිත්වයේ පළමු මහාධිකරණය විවෘත කිරීමේ අවස්ථාවට 21 (අද) අළුත් කඩේ උපරිමාධිකරණ සංකීර්ණ පරිශ්‍රයේදී එක්වෙමිනි.
එහිදි නව විශේෂ මහාධිකරණ ත්‍රිත්වයේ පළමු මහාධිකරණ තුළ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට ද අමාත්‍යවරිය එක් විය.
එහිදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරිය,
ප්‍රශ්නය -ඇමතිතුමියට සතුටුයි දැන්?
පිළිතුර – විශේෂ සතුටක් නැහැ. 2015 ජනවාරි 08 වෙනිදා ජනතාවට කියපු දෙයක් තමයි රජයේ මුදල් අවභාවිතා තියෙන වෙලාවට ඒ අය සම්බන්ධයෙන් නිසි දඩුවම් දෙන්න කියලා. ඉතිං අපිට කාලයක් ගියා ඊට අවශ්‍ය සංශෝධන ගෙනල්ලා මේවා සම්මත කරලා ස්ථාන හොයා ගෙන පළවෙනි ත්‍රි පුද්ගල මහාධිකරණය පිහිටුවන්න. මං හිතනවා මගේ වගකීමක් ඉටු කළා කියලා.
ප්‍රශ්නය – ඒ එක්කම ඊයේ හිටපු ජනාධිපතිතුමා කියලා තිබුණා ප්‍රශ්න කිරීමේදී අමතක වුණා කියලා. ඒ වගේම මෙතන එන අයත් ඒ න්‍යායම භාවිතා කළොත් එහෙම යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා ද ඇත්ත දැන ගැනීමට .
පිළිතුර – ඒක මගේ වැඩක් නෙමෙයි. ගරු විනිසුරුතුමන්ලාගේ වැඩක් .ඒ කියන්නේ අවශ්‍ය කරුණු අනාවරණය කර ගන්න එක එතුමන්ලාගේ කාර්ය භාරයක් සහ පරීක්ෂණ කටයුතු මෙහෙය වන ආයතනවල වැඩක්.
ප්‍රශ්නය – ඒ වගේම මේ වන විට බන්ධනාගාරවල රැදවියන් උද්ඝෝෂණයක නිරත වෙමින් සිටිනවා. ඇයි මේ එක පාරටම මේ වගේ දිගින් දිගටම සිදු වෙන්නේ.
පිළිතුර – මෙහෙමයි ඉතිං එක පාරටම වෙනවා නෙමෙයි. අපි දැන් බන්ධනාගාර තුළ යම්කිසි පාලනයක් ඇති කරනවා. දැන් අවුරුදු 42 කට පස්සේ බන්ධනාගාර තුළ සිදු කරමින් යන කටයුතු නිසා. මේ බන්ධනාගාර තුළ ඉද ගෙන මත් කුඩු ව්‍යාපාරයේ පවත්වා ගෙන යන අය සම්බන්ධව අපිට රජයක් හැටියට තීරණයක් ගන්න සිදු වෙලා තියෙනවා. ඉතිං බන්ධනාගාරය තුළ ඉන්න සියලුම රැදවියන් මේ අතලොස්සක් කරන වැඩවලට වගකියන්න ඕන නැහැ. විශේෂයෙන් ඔය කාන්තා රැදවියන්ගේ ස්ථානයේ මේ සදහා අපිට තොරතුරු ලැබිලා තියෙනවා. පිටතින් මේ මත් ද්‍රව්‍ය එනවා කියලා ඉතිං ඒ වෙනුවෙන් අපිට ගන්න සිද්ද වුණා තීන්දු තීරණ කිහිපයක් .
හිටපු නිලධාරීන් සම්බන්ධව තීන්දු තීරණ කිහිපයක් ගන්න තිබුණා.ඒ වගේම ඒ සදහා යොමු වුණු රැදවියෝ දැන් ඔය වහලය උඩ ඉද ගෙන හේතුවක් නැතිව කෑ ගහන අය පුරුද්දක් හැටියට කාලයකට ඇවිල්ලා යන අය. ඊයේ පෙරේදා තමයි නඩු ප්‍රමාදය ගැන කථා කරන්නේ. ඉතිං ඒ වෙනුවෙන් අපේ අමාත්‍යාංශය යටතේ තියෙන රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු කඩිනම් කරලා තියෙනවා. අධිකරණය තමයි ඒ අයගේ ඇප සම්බන්ධව. දිගින් දිගටම කාන්තාවන් හැටියට ඒ කටයුතුවලට සම්බන්ධ වෙනවා නම් ඇප දීලා වැඩක් නැහැ කියලා හිතලා ඇති කවුරු හරි.
ප්‍රශ්නය – මහ බැංකුවේ නඩුවත් මේකට එනවා ද.
පිළිතුර – ඒක ඉතිං මට කියන්න බැහැනේ. මම නෙමෙයිනේ ඒවා තීරණය කරන්නේ.
පිළිතුර – එහෙම දැනුම් දීමකින් තොරව බන්ධනාගාර රැදවියෝ මාරු කරන්න පුළුවන් ද.
පිළිතුර – රැදවියෝ ඕනම බන්ධනාගාරයකට මාරු කිරීමේ බලය බන්ධනාගාර ඇමති විදිහට මට පනතෙන් ලබාදීලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඉදිරියටත් මාරු කිරීම් කරනවා. කිසිම වෙලාවක කවුරු මොනවා කිවුවත් නතර කරන්නේ නැහැ. අපි කැප වෙලා ඉන්නේ. අපිට ජනප්‍රිය වෙන්න නෙමෙයි අපිට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා බන්ධනාගාර තුළ ඉද ගෙන මේවා කරන කොට. දිගින් දිගටම මේවා කරනවා නම් ඇබ්බැහි වෙච්ච අය. නිරන්තරයෙන්ම ඉතිරි ටිකත් මාරු කරනවා.
ප්‍රශ්නය – ඊයේ දිනයේ කි දෙනෙක් මාරු කළා ද?
පිළිතුර – ඊයේ දිනයේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඒ ඇති වෙච්ච තත්වය පාලනය කරන්න මේකට නායකත්වය දුන්න 52 ක් මාරු කරලා තියෙනවා.
ප්‍රශ්නය – අගවිනිසුරුතුමාටත් මේ අද උත්සවය සදහා ආරාධනා කලාද?
පිළිතුර – නැහැ. අගවිනිසුරුතුමා ගේ වැඩේ මේක නෙමෙයිනේ එතුමා අධිකරණයේ නායකයා හැටියට එතුමා තීන්දු තීරණ ගන්න එක සහ මේවාට සහභාගිවන එක මට හිතෙන්නේ විශේෂයෙන් අවශ්‍ය තීරණයක් නෙමෙයි. එතුමා සම්බන්ධ කර ගන්න කටයුතුත් අපේ තියෙනවා නේ.
ප්‍රශ්නය – මේ විදිහට කාන්තාවන් දිගින් දිගටම උඩට නගින එක ඒ අය මාරු කිරීමෙන් නතර වෙයි ද ඔබතුමිය හිතන විදිහට.
පිළිතුර – නැහැ මේවාට නායකත්වය දෙන්නේ බන්ධනාගාර ගත වෙලා ඉන්න ඉතා සුළු පිරිසක්. වැලිකඩ බන්ධනාගාරයේ ඉන්න මත් ද්‍රව්‍යවලට සම්බන්ධව ඉන්න පිරිසක් තමයි. නවත්වන එක නොනවත්වන එක ඒ අයගේ වැඩක්. හැබැයි වගකීමක් ඇතිව වැඩ කරන එක අපේ වැඩක්.
ප්‍රශ්නය – අපේ හිටපු ජනාධිපතිතුමා ජනාධිපතිවරණයට තරග කරන්න අදහසක් තියෙනවා කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න යනවා කියනවා. ඔබතුමියගේ යම් අදහසක් තියෙනවා ද ඒ ගැන එහෙම පුළුවන් ද එන්න.
පිළිතු ර- ඒක එතුමාගේ වැඩක් නේ. අපි දන්න විදිහට නම් අමාරුයි. එතුමා ඉතිං 18 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ 2010 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණයෙන් පස්සේ මාස තුනක් යන්න ඉස්සෙල්ලා 18 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා ජේ.ආර්.ජයවර්ධන මහත්තයා හදපු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කළා. ඒ ව්‍යවස්ථාවේ තියෙන්නේ ප්‍රංශය ඇමෙරිකාව වගේ විධායක ජනාධිපති ක්‍රමය තුළ ඕනෑම කෙනෙකුට ජනාධිපති තනතුර දරන්න පුළුවන් දෙපාරක් විතරයි. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ඒක වෙනස් කළා. එතුමා කිවුවේ මිනිස්සුන්ගේ රටේ මතය ලැබෙන තාක් කල් ඒක කරන්න පුළුවන් කියලා දැන් ඒවා ආපසු වෙනස් වුණා 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන්. දැන් ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න පුළුවන් වෙන්නේ දැන් ඉන්න ජනාධිපතිතුමාට විතරයි. මං හිතන්නේ එතුමා තවමත් ජනාධිපති කියලා හිතා ගෙන ඉන්නවා ද දන්නේ නැහැ.
ප්‍රශ්නය – මීට කලින් බන්ධනාගාරය සම්බන්ධව ප්‍රශ්න කටයුතු වුණාම බන්ධනාගාර සාමාන්‍ය නිලධාරීන් ඉන්ටඩික් කරනවා. එහෙත් දැන් ඉහළ නිලධාරීන් ඉන්ටඩික් කිරිමක් හෝ මාරු කරලා තියෙනවා සමහර බන්ධනාගාරවල. ඒ ක්‍රියාමාර්ගය හොදයි. නමුත් පහළ නිළධාරීන් අපි බහුතරයක් දැක්කා සේවය අත් හිටුවලා පස්සේ විමර්ශනය කරලා පස්සේ සේවය ලබාදීම සිදු වෙනවා. දැන් ඉන්න නිලධාරීන් සම්බන්ධව එහෙම දෙයක් සිදු වෙලා තියෙනවාද. දැන් ස්ථාන මාරුවීම් කළ නිලධාරීන් ඒවා භාර අර ගෙනත් නැහැ.
පිළිතුර – මම මේ විෂය භාර ගත්තායින් පස්සේ නිලධාරීන් දෙන්නෙක් විතරයි වැඩ තහනමට ලක් වෙලා තියෙන්නේ මහනුවරින්. ඒ අය සම්බන්ධව තවම පරික්ෂණ පැවැත්වෙනවා. මේ කාලය තුළ තහනමට ලක් වෙන අය නැවත අපේ අමාත්‍යාංශය යටතේ තමයි නැවත සේවයට බදවා ගන්න පුළුවන් වෙන්නේ. එහෙම එකක් වෙයි කියලා මට දැන්ම කියන්න බැහැ.මාරුවීමක් ලබා දෙන එකෙයි පරීක්ෂණයක් පැවැත්වෙන එකයි දෙකක්. පරීක්ෂණ පවත්වන්න ඉස්සෙල්ලා ඒ අවශ්‍ය පසුබිම හදන්න ඕන. ඉන්න තැන ඉද ගෙන පරීක්ෂණ කරන්න ගියාම නොයෙකුත් විදිහට බලපෑම් කරන්න පුළුවන්.
ඔබතුමියලා ඉතිං බය වෙන්න එපා බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ අවුරුදු ගණනාවක් තිස්සේ තියෙනවා නේ. දැනට වෙනස් වෙලා තියෙන ඒවා වෙනස් වෙමින් යයි. ඉදිරියට අපි කරලා බලමු.
මෙම නව මහාධිකරණයේ කටයුතු එළඹෙන 24 වෙනිදා සිට ආරම්භ වීමට නියමිත අතර එහි විනිසුරුවරුන් ලෙස සම්පත් අබේකෝන් සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන අය කටයුතු කරනු ලබයි.
විවෘත කිරීමෙන් අනතුරුව නව ත්‍රි පුද්ගල මහාධිකරණය අමාත්‍යවරිය විසින් අධිකරණ සේවා කොමිෂන් සභාවේ රෙජිස්ට්‍රාර්වරිය වෙත භාරදීම ද සිදු විය.
The post නිරන්තරයෙන්ම ඉතිරි ටිකත් මාරු කරනවා – ඇමතිනි තලතා. appeared first on Lanka News Column.



0 Comments