Ticker

6/recent/ticker-posts

Header Ads Widget

21 වැනි පාපන්දු ලෝක කුසලානය ප්‍රංශයට ද? ක්‍රොඒෂියාවට ද?

Author(s): 
ෆවුස් මොහොමඩ්

රුපියල් කෝටි හයසියයක මුදල් මල්ලත්, රුපියල් කෝටි තුන්සියයක් වටිනා කිලෝ හයක් බැරැති රන් කුසලානයත් දෙකම දිනාගැනීමේ අභිප්‍රාය ඇතිව හියුගෝ ලොරිස්ගේ ප්‍රංශ කණ්ඩායමත්, ලූකා මොඩ්රික්ගේ ක්‍රොඒෂියා කණ්ඩායමත් හෙට (15) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.30ට රුසියාවේ මොස්කව් නුවර ලුෂ්නිකි ක්‍රීඩාංගණයට එක්වෙති.

රුසියාවේ සත්කාරකත්වයෙන් පැවැති මේ 21 වැනි පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ආරම්භයේ සිටම අනාවැකිවලින් මුළුමනින්ම උත්තේජනය ලැබූ ප්‍රබලතම කණ්ඩායම් සියල්ල ඉවතට තල්ලු කරමින් කෝඩුකාර ක්‍රොඒෂියාව ලෝක කුසලාන අවසන් තරගයකට එක්වන්නේ පළමු වතාවටය. ප්‍රංශය නම් මීට පෙර 1998 කුසලානය දිනාගත් අතර 2006දී ඉතාලිය හමුවේ පරාජය වෙමින් අනුශූරතාවට හිමිකම් කීවේය.

මීට පෙර 1998දී එකම එක වතාවක් ලෝක කුසලාන අවසන් පූර්ව වටයට පිවිසි ක්‍රොඒෂියාව එහිදී හෙට ප්‍රතිවාදියා වී සිටින ප්‍රංශය හමුවේ පරාජයට පත්විය. අනතුරුව නෙදර්ලන්තය පරදවා තරගාවලියේ තුන්වැනි තැනට පත්විය. ලෙස් බ්ලූස් නමින් හඳුන්වන ප්‍රංශ පාපන්දු පිල ලෝක පාපන්දු පිටියේ අත්දැකීම් බහුල ප්‍රබලතම කණ්ඩායමක් වන අතර තවමත් කෝඩුකාරයන් වන ද බ්ලේසර් නමින් හඳුන්වන ක්‍රොඒෂියානු පිල පසුවන්නේ ඉතාමත් පහළිනි. ලක්ෂ 40ක් තරම් ජනගහණයක් ඇති ක්‍රොඒෂියාව වසර 1950දී උරුගුවේ කණ්ඩායමෙන් පසුව ලෝක කුසලාන අවසන් තරගයකට ක්‍රීඩා කරන කුඩාම රාජ්‍යය ද වෙයි.

අවසන් පූර්ව තරගය උඩුයටිකුරු කළ ක්‍රොඒෂියාව ප්‍රබල එංගලන්ත පිල පරාජය කිරීමෙන් ජාත්‍යන්තර පාපන්දු පිටියේ භයානක කණ්ඩායමක් බවට පත්වූ අතර ප්‍රංශය අවසන් තරගයට එක්වූයේ බෙල්ජියමට එරෙහිව ඉතා සටන්කාමී ජයක් ලබමිනි. කෙසේ වුවත් මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයට පැමිණි කණ්ඩායම් හතරම යුරෝපා කළාපයෙන් වීම කැපී පෙනෙන කරුණකි.

මීට පෙර ප්‍රංශය සහ ක්‍රොඒෂියාව මෑත ඉතිහාසයේ තරග වැදුණේ එක් වතාවක් පමණි. එය 2011දී දෙපිල අතර පැවැති සුහද තරගයකි. එසේ වුවත් ක්‍රීඩා සමාජවලදී එකට තරග වැදීම නිසා මේ දෙපිලේම ක්‍රීඩකයන්ට ඔවුනොවුන් හොඳින් හුරුපුරුදුය. අවසන් පූර්ව තරගයේදී බෙල්ජියමට එරෙහිව ප්‍රංශයේ ජය තහවුරු කළ සැමුවෙල් උම්ටිටි සහ ක්‍රොඒෂියාවේ ඉවාන් රැකිටික් ක්‍රීඩා කරන්නේ බාසිලෝනා ක්‍රීඩා සමාජයටය. ප්‍රංශයේ රෆායල් වරානේ සහ ක්‍රොඒෂියානු පිලේ නායක ලූකා මොඩ්රික් ක්‍රීඩා කරන්නේ රියල් මැඩ්රිඩ් ක්‍රීඩා සමාජයටය. ඇට්ලෙන්ටෝ ක්‍රීඩා සමාජයට ප්‍රංශයේ ඇන්ටෝනි ග්‍රීස්මාන්, ලූකාස් හර්නැන්ඩිස් සහ ක්‍රොඒෂියාවේ සයිම් ව්රැසල්ජ්කෝ ක්‍රීඩා කරති.

හෙට තරගයේදී ජනප්‍රියතම කණ්ඩායම ප්‍රංශය බව රහසක් නොවූවත් දැන් දැන් ක්‍රොඒෂියාව දෙසට හමන ක්‍රීඩාලෝලීන්ගේ රැල්ල තරමක් ඉහළ යමින් තිබේ. විශේෂයෙන් රුසියාවට බෙහෙවින් සමීප සම්බන්ධයක් ඉතිහාසය විසින් නිර්මාණය කරනු ලැබූ නිසා මේ කුඩා රට වෙනුවෙන් හෙට ලුෂ්නිකි ක්‍රීඩාංගණයේදී වැඩිම ක්‍රීඩාලෝලීන් පිරිසක් ඔල්වරසන් දෙනු නිසැකය.

දෙපිලේහිම ක්‍රීඩකයන්ගේ දස්කම් මැන බැලූවිට පෙනෙන්නට තිබෙන්නේ ආරක්ෂක, ඉදිරිපෙළ සහ මැදපෙළ යනාදී වශයෙන් අඩුවැඩි නැති තත්ත්වයකි. 19 හැවිරිදි කයිලාන් බපේගේ දස්කම් සහ ඇන්ටෝනි ග්‍රිස්මාන්ගේ පරිණතභාවය හෙට තරගයේදීත් ප්‍රංශයට සෑහෙන ශක්තියක් වනුඇත. ගෝල 3 බැගින් ලබා සිටින මේ දෙදෙනාම ප්‍රංශය වෙනුවෙන් මෙවර තරගාවලියේ වැඩිම ගෝල සංඛ්‍යාවක් ලැබූ ක්‍රීඩකයෝ වෙති. නායක ලූකා මොඩ්රික් සහ ඉවාන් පෙරිසික් ක්‍රොඒෂියාවේ ඉදිරිපෙළත් ශක්තිමත් කරනු ඇත. ක්‍රොඒෂියාවේ බර එහෙම පිටින්ම කර පින්නාගෙන සිටින මේ දෙදෙනාට අමතරව මරියෝ මැන්ඩ්සුකික් ද සිටී. මේ තිදෙනාම ගෝල 2 බැගින් ලබා මෙවර තරගාවලියේ වැඩිම ගෝල සංඛ්‍යාවක් ලැබූ ක්‍රොඒෂියානු ක්‍රීඩකයෝ බවට පත්වී සිටිති.

ක්‍රොඒෂියාවේ ගමන් මග

‘ඩී’ කාණ්ඩයෙන් තරග වැදුණු ප්‍රංශය මූලික වටයේ තරග 3ම ජයගැනීමට සමත්විය.

මුලික වටය

නයිජීරියාවට එරෙහිව ගෝල් 2-0ක ජයක්

ආජෙන්ටිනාවට එරෙහිව ගෝල් 3-0ක ජයක්

අයිස්ලන්තයට එරෙහිව ගෝල් 2-1ක ජයක්

අවසන් 16 වටය

ඩෙන්මාර්කයට එරෙහිව ගෝල් 3-2ක ජයක් (දඬුවම් පහර මගින්)

අර්ධ අවසන් පුර්ව වටය

රුසියාවට එරෙහිව ගෝල් 4-3ක ජයක් (දඬුවම් පහර මගින්)

අවසන් පූර්ව වටය

එංගලන්තයට එරෙහිව ගෝල් 2-1ක ජයක්

ප්‍රංශයේ ගමන් මග

‘සී’ කාණ්ඩයෙන් තරග වැදුණු ප්‍රංශය මූලික වටයේ තරග 3කින් දෙකක් ජයගත් අතර ඉතිරිය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

මුලික වටය

ඔස්ට්‍රේලියාවට එරෙහිව ගෝල් 2-1ක ජයක්

පෙරූ රාජ්‍යයට එරෙහිව ගෝල් 1-0ක ජයක්

ඩෙන්මාර්කය සමග තරග 0-0කින් විසඳුමක් නෑ

අවසන් 16 වටය

ආජෙන්ටිනාවට එරෙහිව ගෝල් 4-3ක ජයක්

අර්ධ අවසන් පුර්ව වටය

උරුගුවේ පිලට එරෙහිව ගෝල් 2-0ක ජයක්

අවසන් පූර්ව වටය

බෙල්ජියමට එරෙහිව ගෝල් 1-0ක ජයක්

ලෝක කුසලාන ඉතිහාස වාර්තාව

ප්‍රංශය - 1958 තුන්වැනි ස්ථානය, 1982 සිවුවැනි ස්ථානය, 1986 තුන්වැනි ස්ථානය, 1998 ශූරතාව, 2006 අනුශූරතාව

ක්‍රොඒෂියාව - 1998 තුන්වැනි ස්ථානය

පාපන්දු ඉතිහාසයේ දිනාගත් කුසලාන

ප්‍රංශය - 1998 ලෝක කුසලානය, 1984 සහ 2000 යුරෝපා කුසලාන, 2001 සහ 2003 ෆීෆා සම්මේලන කුසලානය, 1984 ඔලිම්පික් ශූරතාව, 2013 ෆීෆා අවුරුදු 20න් පහළ ලෝක කුසලානය, 2001 ෆීෆා අවුරුදු 17න් පහළ ලෝක කුසලානය.

ක්‍රොඒෂියාව - කිසිවක් නැත.

කොළඹ හිල්ටන් හෝටලයෙන් අවසන් තරගයේ සජීවි අත්දැකීම්

ප්‍රංශය සහ ක්‍රොඒෂියාව අතර හෙට පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයේ සජිවී අත්දැකීම් විඳ ගැනීමට කොළඹ හිල්ටන් හෝටලය ක්‍රීඩාලෝලීන්ට කදිම අවස්ථාවක් ලබා දී තිබේ.

එහි 'පූල් සයිඩ් රෙස්‍ටූරන්ට් Il Ponte අවන්හල් පරිශ්‍රය අසළ සවිකළ දැවැන්ත රූපවාහිනි තිරය ඔස්සේ ලෝක කුසලාන තරගාවලිය‍ සජීවිව නරඹමින් ප්‍රියතම ආහාරපාන රස විඳීමේ අවස්ථාව ක්‍රීඩාලෝලීන්ට ලැබී ඇත. මීට අමතරව ක්‍රීඩාලෝලීන්ගේ ඉල්ලුමට අනුව හිල්ටන් හෝටලයේ ප්‍රධාන ශාලාව අසළත් දැවැන්ත රූපවාහිනි තිරයක් සවිකර අවසන් තරගය නැරැඹීමේ පහසුකම් සලසාදීමට පියවර ගෙන තිබේ.

අඩි 24 12 ප්‍රමාණයේ දැවැන්ත රූපවාහිනි තිරය ඔස්සේ තරගය සජීවිව නරඹන ප්‍රේක්ෂකයන්ට රුසියානු ගෘහනිර්මාණ ආකෘතියට අනුව සකස් කළ පාපන්දු ගම්මානයේ ස්වරූපය පිළිබිඹු වන මේ ස්ථානයේ සිට සිත් ගත් කණ්ඩායම වෙනුවෙන් ඔල්වරසන් දෙමින් තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණයේ අත්දැකිම් අතරට එක්වීමට ද අවස්ථාව ලැබී තිබේ.

තරගයේ සජිවි අත්දැකීම් විඳ ගැනීමට Il Ponte අවන්හල ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලධාරින්ට, ජාතික තලයේ ක්‍රීඩකයන්ට ඒ සඳහා අවස්ථාව නොමිලේ ලබාදීමට පියවර ගෙන තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();