ඒකටත් මිල සූත්‍රයක්...?
“මොකද මේ ජේමිස් අයියා උදේ ම මූණ නරක් කරගෙන.” තම කාර්යාලයට ගොඩවූ ජේමිස් ගොවි මහතා ගේ මුහුණ දෙස පරීක්ෂාවෙන් බැලූ මන්ත්‍රීතුමා විමසුවේ විමතියෙන් වුව පුළුල් සිනාවක් නඟමිනි.
“මන්ත්‍රීතුමා මගෙ හේනේ අස්වැන්න මම මේ වෙළෙඳ මධ්‍යස්ථානෙට දීලා එන ගමන්. අද මාර්කට් එකේ එළවළු මිල බිංදුවට බැහැල. අපේ එළවළු වලට සාධාරණ මිලක් ලැබෙන විදියට දැන් ඔය පොල්වලට, එතකොට බස් ගාස්තුවට හදනවා වගෙ මිල සූත්‍රයක් එළවළු වලටත් හදන්ඩ බැරිද?” ජේමිස් ඇසුවේ තම කෝපය ආයාසයෙන් මැඬ ගනිමිනි.
රතු වරෙන්තුව
“ඔයා මොකද මේ කවදාවත් නැතුව අද මගෙ දවල් බත් පැකට් එක තද නිල් සර්වියට් එකකින් ඔතලා. සාමාන්‍යයෙන් ඔයා බත් පැකට් එක ඔතන්නේ අර මල් වැටුණු සර්වියට් එකෙන් නෙ.” උදේ කාර්යාලයට යාමට ලහිලහියේ සූදානම් වූ සෙනෙවි මේසය මත වූ තම කෑම පෙට්ටිය අතට ගනිමින් බිරිය දෙස බලා ඇසුවේ තරමක කුතුහලයකිනි.
“ඔයා ඊයේ රෑ ගෙදර ආවේ හොඳට ම රෑ වෙලා. ඒ මදිවට බීලා. මම කීප වතාවක් ම ඔයාට අනතුරු ඇඟෙව්වා ඔෆිස් ඉවරවුණාම හවසට ගෙදර එන්ඩ කියලා කෙලින් කටින්. ඔයා දිගටම ඒවා කඩ කළ හින්දා තමයි නිල් වරෙන්තුව නිකුත් කළේ. ආයෙත් ඔය වැරැදි කළොත් බත් එක ඔතන්නෙ රතු සර්වියට් එකෙන්. ඒක තමයි රතු වරෙන්තුව.” තුෂාරි කීවා ය.
සිරිත ඒකයි
“අනේ ප්‍රසාද් තරහ නැතුව මගෙ මේ හැට්ටේ පිටේ ලිහිලා තියෙන පටි දෙක එකතු කරලා ගැටයක් ගහනවද?” බස් රථයේ නැඟී අනුරාධපුරය බලා යමින් සිටියදී සුනීතා කීවේ තම අසුනට පිටුපස අසුනේ වාඩි වී සිටි ප්‍රසාද් වෙත ආයාචනාත්මක බැල්මක් හෙළමිනි.
“මම කිව්වේ හැට්ටේ පටි දෙක එකතු කරලා ගැටයක් ගහන්ඩ මිසක් සෙල්පි ගහන්ඩයැ.” ප්‍රසාද් තම පිට දෙසට ළංවී තම සෙලියුලරයෙන් සෙල්ෆියක් ගන්නවා දුටු සුනීතා කීවේ තරමක රළු ස්වරයකිනි.
“නෑ සුනීතා. ඕනෑම අවස්ථාවකදී ඉස්සෙල්ලම සෙල්ෆියක් ගහලා ඊළඟට වැඩේට බහින එකයි මගෙ සිරිත.” ප්‍රසාද් කීවේ ය.
රුපියල වගෙ වුණොත්...?
“දැන් මේ අවුරුද්දෙත් මාස 4 ක් ම ගෙවිලා ඉවරයි. අඩුගානේ මේ අවුරුද්දෙවත් අපේ කසාදෙ කරන්ඩ ඔයාට ඕනකමක් නැද්ද?” ඩල්සි තම පෙම්වතා දෙස බලා ඇසුවේ චෝදනාත්මක ස්වරයකිනි.
“ඇයි බබෝ! මේ දවස්වල රුපියල බාල්දු වෙලා තියෙන හැටියට මේ කිට්ටුවම කසාද බැඳලා අපේ ජීවිතත් බාල්දු කරගන්ඩ පුළුවන් ද?” ප්‍රේමපාල කීවේ බැරෑරුම් හඬකිනි.
0 Comments