සැලසුම් සහගත ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ රාජකීය විදුහල් කණ්ඩායම අන්තර් පාසල් පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ කුසලාන වටයේ ඉසිපතන විදුහල් පිල සමග පැවැති තරගයෙන් ලකුණු 41-7ක දැවැන්ත ජයක් ලබමින් සිය අපරාජිතභාවය තවදුරටත් රැක ගැනීමට සමත්විය. හැව්ලොක්ස් ක්‍රීඩා පිටියේ පෙරේදා පැවැති මේ තරගයෙන් ලැබූ ජයග්‍රහණයත් සමග රාජකීයයෝ දෙපිල අතර වාර්ෂිකව හුවමාරු වන මේජර් මිල්රෝයි ප්‍රනාන්දු අනුස්මරණ කුසලානයටද හිමිකම් කීහ.
තරගය පුරා රාජකීය විදුහල් පිල උත්සාහක දිනුම් 7ක් වාර්තා කිරීමට සමත්වීම කැපී පෙනුණි. නායක සාබිත් ෆෙරෝස් උත්සාහක දිනුම් ත්‍රිත්වයක් තබමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණයට මං විවර කළ අතර මුබීන් ෆලීල්, ජනිඳු ඩිල්ෂාන්, තුලේබ් හසන් සහ රජිඳු ජයසූරිය සෙසු උත්සාහක දිනුම් වාර්තා කළහ.
තරගයේ පළමුභාගය නිමාවනවිට ලකුණු 22-0කින් පෙරමුණ ගත් රාජකීය විදුහල් පිලට අභියෝගයක් එල්ල කිරීමට ඉසිපතන විදුහල් පිල අසමත්වූ අතර අවසන් මොහොතේ මනෝජ් ගෞතම් තැබූ උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කළ නායක මනිල්ක රුබේරු ඉසිපතන විදුහලට ලකුණු 7ක් ගෙන දුන්නේය. රාජකීය විදුහල් පිල ලැබූ උත්සාහක දිනුම් 7න් 3ක් ගෝල බවට පත් කිරීමට දුලාන් ගුණවර්ධන සමත්විය.
සා. පීතර විදුහලේ අපරාජිතබව බිඳ වැටෙයි
මේ අතර සී.ආර්.පිටියේ පැවැති තවත් තරගයකදී ලකුණු 10-5ක ජයක් අත්කරගත් මරදාන සාන්ත ජෝශප් විදුහල් පිල සාන්ත පිතර විදුහල් පිලේ අපරාජිතභාවය බිඳ දැමීමට සමත්විය. ඒ සමගම දෙපිල අතර වාර්ෂිකව හුවමාරු වන බැසිල් වීරතුංග පියතුමා අනුස්මරණ පළිහ අත්කර ගැනීමට ද සාන්ත ජෝශප් විදුහල් පිලට හැකිවිය.
වර්ෂාව හේතුවෙන් මඩ සහිත පිටියක් බවට පත්වූ සී.ආර්. ක්‍රීඩාංගණයේ දෙපිලටම ලකුණු රැස් කිරීම දුෂ්කර වූ අතර ලකුණු 10-5කින් සාන්ත ජෝශප් විදුහල් පිලට පෙරමුණ ගෙන දෙමින් පළමුභාගය නිමාවට පත්විය. දෙවැනි භාගයේදී දෙපිලටම ලකුණු රැස් කිරීමට නොහැකිවිය. සාන්ත ජෝශප් විදුහල් පිල වෙනුවෙන් තරිඳු මධුරංග සහ ශෙහාන් එරන්ද උත්සාහක දිනුම් තැබූ අතර සාන්ත පීතර විදුහල් පිල ලැබූ එකම උත්සාහක දිනුම වාර්තා කරනු ලැබුවේ කෙනත් විමලදාස විසිනි.

0 Comments