Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කවියේ නූතන ම හැඩතල








Facebookහි සමස්ත කාව්‍යාංග ඇතුළත් කවි නොතිබුණ ද පද පෙළ කියැවූ සැණින් මිනිස් මනෝභාව චංචලභාවයට පත් කරන නිර්මාණ නැතුවා නොවේ. ඒ නිර්මාණ ඇගයීම ද ම විසින් බොහෝ අවස්ථාවල කරනු ලැබ ඇත. නමුත් මේ ලිපියේ දී මගේ අවධානය වඩ වඩාත් යොමු කරන්නේ ‘‘කවි’’ යැයි සිතා ප්‍රකාශ කරන අදහස් කෙතරම් දුරට ‘‘කවියක්’’ වන්නේ ද සහ නොවන්නේ ද යන කරුණු සම්බන්ධයෙනි.

මෙහි දී බොහෝ විට ම විසින් උපුටා ගන්නා ලද කාව්‍ය නිර්මාණය සම්පූර්ණයෙන් ම පළ කිරීමට අපහසු වීම පිළිබඳ සමාව අයදිමි. මන්ද පුවත්පතකට සපයන ලිපියක් සඳහා වෙන්වන්නේ සීමිත ඉඩක් බැවිනි. එහෙයින් පාඨකයාගේ පහසුව සඳහා අදාළ නිර්මාණවල අත්‍යවශ්‍ය ම කොටසක් පමණක් උපුටා දක්වන අතර ඒ නිර්මාණය කාගේද, එය පළ වී තිබෙන්නේ කුමන පිටුවේද යන්න සඳහන් කිරීමට අදහස් කළෙමි. එමෙන්ම මෙම නිර්මාණ බොහොමයක් සඳහා මාතෘකා නොයොදා ඇති බැවින් අදාළ නිර්මාණයේ පළමු පදයෙන් ඒ නිර්මාණය හැඳින්වීමට සිදු ව තිබේ.

රූපක පිළිබඳ අනවබෝධය

පළමුවෙන් ම මගේ අවධානය යොමු වූයේ hashan randika dias නිර්මාණකරුවා විසින් ‘‘වලාකුළු අතර හිඳ’’ කවි පිටුව වෙත යොමු කළ නිර්මාණයක් වෙත ය. මේ නිර්මාණය සඳහා මාතෘකෘවක් යොදා නැති බැවින් ඒ නිර්මාණයේ පළමු පදය වන ‘‘හුදෙකලාවට ලෝභයෙනි සිත’’ යන පදයෙන් නිර්මාණය හඳුන්වන්නෙමි.

මේ නිර්මාණය සමස්තයක් ලෙස සලකා බැලීමේ දී කවියා ඉදිරිපත් කරන අනුභූතිය නැවුම් ය. එහෙත් නිර්මාණකරුවා කාව්‍ය නිමවද්දී හුදෙක් භාවිත භාෂාව ම හැර වෙනත් කාව්‍යාලංකාර කිසිවක් ම උපස්තම්භක කරගන්නට වෙහෙස දරා නැත.

ඇතැම් නිර්මාණයක දී භාවිත භාෂාව ම යොදාගත යුතු අවස්ථා පවතී. එහෙත් කිසියම් පද රචනයක් ‘‘කවියක්’’ ලෙස අර්ථ ගන්වන්නට නම් එහි කාව්‍යමය ගුණය අවම වශයෙන් හෝ අඩංගු විය යුතු ය. පද රචනයේ ධ්වනිය හෝ ළය හෙවත් රිද්මය රැකි පමණින් ම එය කාව්‍යක් ලෙස හඳුන්වන්නට හෝ රසවිඳින්නට නොහැකි ය. ඔහු විසින් කරනු ලැබ ඇත්තේ ජංගම දුරකතනය ඇසුරෙන් පවත්වාගෙන යන ආදර සබඳතාවක ධනාත්මකභාවය සහ ඍණාත්මභාවය පද පෙළකට හැරවීම ය.

මේ නිර්මාණයේ දී ඔහු වඩ වඩාත් තාක්ෂණික වදන් ම භාවිතයට ගෙන ඇත්තේ එබැවින් විය හැකි ය. මේ ඒ නිර්මාණයේ එක පද්‍ය පන්තියකි.

‘‘බිට් ගණනකින් මැනෙන ප්‍රේමය
කිලෝ ගණනින් මෙගා ගණනට...’’

කවියා අවසානයේ විශද කර දක්වන්නේ ජංගම දුරකතනයක් යනු ප්‍රේමයට කිසිදු බාධාවක් පමුණුවාලිය නොහැකි මෙවලමක් බවයි. මෙය ගම්‍ය වන්නේ කවිය අවසන් කරනාකාරයෙනි.

‘‘නොපෙනෙනා පවුරක් ය ඉදිවෙන
කොන්ක්‍රීට් බිත්තියක් වුවත් පරදන...’’

කවියක් ලෙස මෙය විඳීම අපහසු වන්නේ මෙහි යොදා ඇති ‘‘කොන්ක්‍රීට් බිත්තියක්’’ යන වදන බව ද වෙසෙසින් ම සඳහන් කළ යුතු ය. කවියේ සෞන්දර්ය මැනවින් හඳුනා සිටියා නම් මේ වදන් ද්වය වෙනුවට වෙනත් රූපකයක් හෝ උපමාලංකාරයක් යොදාගැනීම එතරම් අසිරු නොවනු ඇතැයි මම විශ්වාස කරමි. (මහා කවි කාලිදාසගේ ශාකුන්තලය කියවන්න)

‘‘කවි පද’’ නොහැඳිනීම

යට සඳහන් ආකාරයට ‘‘කවිය’’ යන සාහිත්‍යාංගය පිළිබඳ නිසි අවබෝධයකින් තොරව කළ නිර්මාණයක් ලෙස: naminda lakruwan නමැති නිර්මාණකරුවා විසින් ‘‘සිහින කොදෙව්ව’’ Facebook පිටුවේ පළ කළ, ‘‘මතකද ඔයාට’’ නමැති නිර්මාණය හැඳින්විය හැකිය.

මෙම නිර්මාණය වෙනුවෙන් හෙතෙම ඡායාරුපයක් ද යොදා තිබුණි. ඇතැම් විට එය ඡායාරූපය සඳහා ම කළ නිර්මාණයක් වන්නට බොහෝ විට ඉඩ තිබේ. එම ඡායාරුපයෙන් දැක්වෙන්නේ වියපත් යුවළක් වැවක හෝ වෙනත් ජලාශයක ඔරුවක් පැදගෙන යන ආකාරය යි. අදාළ නිර්මාණය ඡායාරුපය වෙනුවෙන්ම කළ නිර්මාණයක් යැයි සැක කළේ එබැවිනි.

මෙම නිර්මාණකරුවා අදාළ වියපත් යුවළගේ අතීතය ආවර්ජනය කරයි. නමුදු එම නිර්මාණය හුදෙක් වාක්‍යය රටාවක් පමණක් යැයි මට හැඟේ. මේ එහි එන එක් පද්‍ය කොටසකි.

‘‘පළවෙනි දරුවට අමාරු වෙලා
වින්නඹු අම්ම ගේන්න ඔයා.’’

සිය නිර්මාණයට ප්‍රස්තුත කරගන්නා අනුභූතිය ඉතා සෞන්දර්යාත්මක මෙන් ම සංවේදී වුව ද එය ඉදිරිපත් කරන රටාව තුළ කිසිදු කාව්‍යාත්මකභාවයක් පිළිබිඹු නොවන හෙයින් එය කවියක් ලෙස නම් කළ හැකි ද යන පැනය නැඟේ. මේ නිර්මාණකරුවාගේ තවත් නිර්මාණ කිහිපයක් ම මා කියෙව්වෙමි. ඒ නිර්මාණ ද මේ හැඩය ම ගන්නා බැවින් ඔහු ‘‘කවි’’ යන නිර්මාණකරණයට පිවිසීමට පෙර ‘‘කාව්‍ය‘ යනු කුමක්දැයි හඳුනා, හදාරා අදාළ නිර්මාණකරණයට එළැඹෙන්නේ නම් වඩා වැදගත් බව මගේ අදහස ය.

නොවිදග්ධ බස තුළින් වුව ව්‍යාංගාර්ථය

මේ නිර්මමාණ අතර ව්‍යක්ත වදන් නොයොදා කළ ඇතැම් නිර්මාණයන්හි කිසියම් කවිතාවක් දක්නට ලැබීම ද විශේෂ ය.

nethh pahan නමින් මළගිය ඇත්තෝ (malagiya aththo) පිටුවට ‘‘මං මෙහේ...!! මල්සරා...’’ නමින් ලියා ඇති නිර්මාණයේ ව්‍යාංගාර්ථය කදිමට ගැබ්ව තිබේ. මෙම නිර්මාණය ඉතා කෙටි බැවින් එය මෙසේ උපුටා දක්වමි.

‘‘මං මෙහේ...!! මල්සරා...
ඉන්නවා මඟ බලා...’’

අදාළ කථකයා කිසියම් ස්ත්‍රියක් කෙරෙහි ආශක්ත වීම සහ අදාළ ස්ත්‍රිය තවමත් තමා කෙරෙහි ආශක්ත නොවීම පිළිබඳ මේ නිර්මාණයෙන් ව්‍යංගයෙන් පවසන්නට කවියා සමත් වී තිබේ. ව්‍යක්ත හෝ විදග්ධ බස්වහරක් උපස්තම්භක කර නොගත්ත ද නිර්මාණය කියවා රසවිඳි සැණින් රසිකයාගේ මනසට කිසියම් උත්තේජනයක් ලැබෙන බව නොඅනුමාන ය.

මෙබඳු නිර්මාණකරුවන් වඩ වඩාත් කවි කියැවීමට පෙලඹෙන්නේ නම් අනාගතයේ දි ඔවුනතින් හොඳ නිර්මාණ බිහිවිමට හැකි බවට විශ්වාස කළ හැකි ය.

රිද්මය යනු කවිය ම ද?

යට ස්ථානයක සදහන් කළ ආකාරයේ ‘‘කවියක්’’ යැයි සිතා පළ කළ තවත් නිර්මාණයක් කෙරෙහි අවධානය යොමු කරමු.

ashoka prabat යන අය ‘‘මගෙ නිසදැස් යාළුවෝ’’ පිටුවේ පළ කර ඇති ‘‘කෙල්ල වගෙයි’’ නමැති නිර්මාණයේ අනුභූතිය ඉතා සංවේදි ය. එයින් ගම්‍ය කරන්නට යත්න දරන්නේ වියපත් වන කාන්තාවක තරුණිය සේ පෙනී සිටින්නට සහ සිය සැමියාගේ තරුණභාවය රැකගන්නට දක්වන ආශාව ය; ඒ වෙනුනේ ඇය සිය ශරිරය වෙත නෙක නෙක සත්කාර ලබාදෙන අතර ම සිය සැමියාට ද ඔහුගේ තරබාරු බව අවම කරගන්නට උපදෙස් දෙන ආකාරය යි. කවිය ඉදිරිපත් කරන්නේ අදාළ කාන්තාවගේ සැමියා ය.

කවියේ අනුභූතිය කෙතෙරම් සංවේදි වුව ද, එතුළින් වියපත්භාවයට ඇදී යන කාන්තා සහ පුරුෂ ජීවන පවතේ එක් පැතිකඩක් ගම්‍යමාන කළ ද අදාළ නිර්මාණයේ කිසිදු කාව්‍යාත්මකභාවයක් දක්නට නොමැත. පවත්නේ කිසියම් රිද්මයක් පමණි.

‘‘ඇඟ දැන් ටිකක් මහතයි මගෙ කියා නුඹ
මාවත් ඇදන් ඇවිදින්නට ගිහින් දුර...’’

අදාළ නිර්මාණය ද තරමක් දීර්ඝ හෙයින් මෙසේ කොටස් දෙකක් පමණක් උපුටා දක්වන්නෙමි.

මෙබදු නිර්මාණකරුවන් ද රැකගත යුතු ය මන්ද ඔවුනතින්‘‘කවි’’ බිහිවීමට පිළිවන. නමුත් ඔවුන’තින් නිර්මාණය වන මෙවන් දෑ තුළ පවත්නා අඩුලුහුඬුතා ඔවුන්ට වටහා දිය යුතු ය. එසේ අඩුලුහුඬුතා පෙන්වා දෙන විට ඔවුන් ‘‘කවිය’’ පිළිබද යම් පමණකට හෝ හදාරා තම නිර්මාණ කෞශල්‍ය වර්ධනය කරගනු ඇතැයි විශ්වාස කළ හැකි ය.

භාෂාවේ දිළිඳුභාවය

යට සඳහන් කවි පිටුවේ ම prasadika malwatta නමැති නිර්මාණකාරිය තමන්ගේ නිර්මාණයක් පළ කර තිබුණි. මාතෘකාවක් යොදා නොතිබූ මේ නිර්මාණය හඳුනාගැනීමේ පහසුව සඳහා එහි මුල් පදය වන ‘‘හදේ අස්සක් වුණත් නුඹ නිසා ඇවිලීම’’ යන්න මෙලෙස සටහන් කරමි.

සමස්ත නිර්මාණය කියවා අවසන් වන විට මෙරට කාන්තාවන්: විශේෂයෙන් ම යොවුන් වියේ පසුවන තරුණියන් මුහුණ දෙන බරපතළ ඛේදවාචකයක් සිහිපත් වේ. එය ඉතා සංවේදි අනුභූතියකි. එහෙත් මෙබඳු අනුභූතියක් මීට වඩා රසවත් ආකාරයෙන් සහ කාව්‍යාත්මකව ඉදිරිපත් කළා නම් ඉතා අගනේ ය. නිර්මාණකාරියගේ සමස්ත කවියේ ම සාරය කැටි ව ඇත්තේ...

‘‘සුසුමකට තවරලා දුකේ ඇති පාපිල්ල

බිතක මම සැතපුවා අපේ පෙම් පැමිණිල්ල...’’

... යන කොටසේ ‘‘සෝදලා බඩ’’ යන දෙවදන තුළ ය. නමුත් ඇය කවිතාවෙන් පොහොසත් නොවූ හෙයින් ඊට සුදුසු වදන් ගොනු කිරීමට අපොහොසත් වි ඇත්තී ය.

මෙවන් සංවේදි අනුභූතියක් වුව කාව්‍යාත්මක ව ඉදිරිපත් කිරීමට නොහැකි ව ඇත්තේ අදාළ නිර්මාණකරුවා හෝ නිරිමාණකාරිය ‘‘කවිය’’ නිවැරැදි ව හඳුනාගෙන නොතිබිම ය.

‘‘පද’’ බෙදන ලෙස ‘‘වදන’’ බෙදීම

විරිතට, එළිවැටට, එළි සමයට සහ ඡන්දස්ලංකාරයට රාමුගතවී නිර්මාණකරණයේ යෙදෙන කවි කිවිඳියන්තින් ද කවියට සිදුවන හානිය බරපතළ ය. ඔවුන් සහ ඔවුන්ට උපදෙස් ලබා දෙන වැඩිහිටි පරපුර ද වඩ වඩාත් පෙලඹෙන්නේ කාව්‍ය රීති රැක ගැනීමටම නිසා කවියේ රස නිෂ්ප්‍රභ වීම පිළිබඳ ව නොවේ. මේ සඳහා උදාහරණ ලෙස සිය ගණනක් කවි ඉදිරිපත් කළ හැකි වුව ද ඉඩ-කඩ සීමා සහිත බැවින් Dinesh Suranga නමැති නිර්මාණකරුවා‘‘සඳස’’ කවි පිටුවේ පළ කර ඇති ‘‘කළු වලා’’ නමැති නිර්මාණය ඒ සඳහා තෝරා ගත්තෙමි. එහි අවසාන කවියේ කාව්‍ය රීතිය රකිනු වස් හෙතෙම එක් වදනක් දෙවදනක් ලෙස ලියා ඇත.

‘‘පලා ගිය සඳ වළා ගැබ මැද හදේ සිතුවිලි තල තලා
මලානික ලෙස මගේ චිතකය සදේ ඇස තුළ හළුකලා...’’

මේ නිර්මාණයේ ‘‘මලානික’’ යනු තනි වදනක් වුව ද ‘‘සඳස’’ නමැති ආකෘතික සිරවීම හේතුවෙන් හෙතෙම එය දෙවදනක් ලෙස ඛණ්ඩනය කර ලියා ඇත. සාමාන්‍යාකාරයට සඳැස් නිර්මාණවල මුල, මැද එළිවැට තැබිය යුතුය යනුවෙන් රීතියක් හෝ නීතියක් නැත. එහෙත් අග එළිවැට පිහිටුවිය යුතු ය. ආරම්භයේ සහ කවි පදය මධ්‍යයේ එළිවැට තබන්නේ සහ තබන්නට යත්න දරන්නේ අදාළ නිර්මාණකරුවාගේ හෝ නිර්මාණකාරියගේ දැනුවත්භාවය හෝ දක්ෂතාව පිළිබිඹු කරනු සඳහා ය. මේ කුමනාකාරයකට කවක් පබැඳුව ද කවියට බාධාවක් නොවනාකාරයට එය සකසා ගත යුතුය යන්න මගේ අදහස ය. මේ නිර්මාණයේ මුල් එළිවැට තැබිම සදහා ‘‘මලා නික’’ යන්න වෙන් කර ලියූව ද එසේ නොලිව්වේ නම් කවියේ රස ජනනය වඩාත් මිහිරි වනු ඇතැයි විශ්වාස කරමි.

අව්‍යක්ත පද හෙවත් සක්ක පද

මේ ආකාරයට සඳස් කවි නිර්මාණකරණයේ යෙදෙන බහුතරයක් දෙනා බරපතළ ලෙස ‘‘සක්ක පද’’ භාවිතා කරති. එය කවියකට නුසුදුසු ම වදන් සමුහයකි. මතු දැක්වෙන කවිය manjuni vidanage විසින්‘‘සඳස’’ කවි පිටුවට ලියන ලද නිර්මාණයකි. එය කෙටි නිර්මාණයක් බැවින් උපුටා දැක්විය හැකි ය.

‘‘තෙද ගොස බල දෙන ලෝකෙට
නර දුක බලනා සුරිඳුට...’’

මේ නිර්මාණයේ තෙවන පදයේ ‘‘පුදකොට’’ යන වදනේ ‘‘කොට’’ යන්න කාව්‍ය රීතියට අනුව නම් ‘‘සක්ක පදයක්’’ ඒ වදන යොදන්නේ කාව්‍ය රීතිය රකිනු පිණිස ය. (මේ සම්බන්ධයෙන් පැහැදිලි කරන ආචාර්ය හරිශ්චන්ද්‍ර විජේතුංග මහතා සිය ප්‍රායෝගික සිංහල ශබ්ද කෝෂයේ 1659 වන පිටුවේ මෙසේ සඳහන් කර ඇත. ඒ, ‘‘පද්‍ය බන්ධනයක දී විරිත පිරවීමට යොදන වැඩිමනත් වචනය’’ යනුවෙනි. මෙය ‘‘බොල් වදන්’’ ලෙස ද හඳුන්වා ඇත.) නමුත් එය කවියේ රස නිෂ්ප්‍රභා කරන බව මෙම නිර්මාණකරුවෝ සහ නිර්මාණකාරියෝ අවධානය යොමු නොකරති.

මේ ‘‘කොට’’ පදය පිළිබද බරපතළ විවේචනය එල්ල කළ භාෂා විශාරදයකු ලෙස ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ඩී. එෆ්. කාරියකරවන මහතා හඳුන්වා දිය හැකි ය. ඔහු එකල සිළුමිණ සියපතට ලියු ‘‘අරුත් නිරුත්’’ තීරු ලිපියෙන් මේ පිළිබඳ ව සති කිහිපයක් ම පැහැදිලි කළේ ය. ඒ තීරු ලිපි පෙළ පසු කලෙක කෘතියක් ලෙස ද නිකුත් විය.

විදුලි සැර බඳු කෙටි කවි

යට ස්ථානයක සඳහන් කළ පරිදි මේ සියලු නිර්මාණ අතර ක්ෂණයකින් රසික මනෝභාව ඇද-බැඳගන්නා තවත් නිර්මාණයක් පිළිබඳ අදහසක් සඳහන් කරමින් මේ ලිපිය හමාර කරමි.

මේ නිර්මාණය කට්ටා (උද්‍යාන් s අමේෂන්) ගේ වන අතර එය පළ කර තිබුණේ ‘‘- kattaage sithuwili’’ නමැති පිටුවේ ය. මේ නිර්මාණය සඳහා භාවිත කර ඇති වදන් සමුහය ඉතා අල්ප වුව ද එතුළින් විද්‍යමාන වන අරුත බරසාර ය.

‘‘හිමිවීමට
තිතක් ඇත.
නැතිවීමට
කොමාවක් ඇත.’’

මේ නිර්මාණය කියැවු සැණින් ම සිහිපත් වූයේ ලක්ශාන්ත අතුකෝරල කවියාගේ...

‘‘වැඩ ඇරී
වැඩට යති
ගැහැනු’’

...නම් වු කෙටි කාව්‍ය නිර්මාණය යි.

Facebook හෙවත් මුහුණු පොතේ කාව්‍ය නිර්මාණ පිළිබඳ මෙවන් ඉතා කෙටි අදහසක් දක්වන්නට සිත් වුයේ ඒ මාධ්‍යය තුළ කවි පළ කරන නිර්මාණකරුවන්ගේ සහ නිර්මාණකාරියන්ගේ කාව්‍යාගමනයේ සුබ සිද්ධිය උදෙසා මෙන්ම ‘‘කවිය’’ නමැති සාහිත්‍යාගයට ඇති ආදරය හේතුවෙන් මිස කිසිවකු කෙරෙහි අසද්භාවයකින් නොවන බව පැහැදිලි කරනාතර ම ම විසින් උපුටා ගන්නා ලද කිසිදු නිර්මාණයක අක්ෂර වින්‍යාස දොස් නිදොස් කර නොමැත. මන්ද Facebookහි නිර්මාණකරණයේ යෙදෙන බහුතරයක් දෙනා අක්ෂර වින්‍යාස කෙරෙහි අවධානය යොමු නොකරන අතර අනවශ්‍ය ආකාරයට විරාම ලකුණු ද භාවිතා කර ඇත.ඔවුන් ඒ වැරැදි අවබෝධ කරගත යුත්තේ හැදෑරීමෙන්ය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();