“අලි බැලිල්ලෙත්- බලි බැලිල්ලෙත් ඇතිවීමක් නෑ කියලයි කතාවට කියන්නේ….”
රට පුරා වනගොමුවල ඇවිදලා ඇති තරම් අලි දැකලා තිබුණත්, ආයෙම ආයෙම යන්න තමයි හිතෙන්නේ… ඒ නිසාම අලි, දිවි, වළස් සේනා සැරිසරන මහ වනයක දෙදවසක් ගත කරන්න හිතාගෙන මිතුරු කැළත් එක්ක අලුත් ගමනකට සුදානම් වුනේ සති දෙක තුනක ඉඳලා….
මේ වැදගත්කම් ස්පර්ශ කරන්න බලාගෙන විල්පත්තු යන අපේ ගමන සිකුරාදා සවසක ඇරඹුණේ, කොටුව දුම්රියපොළ ඉදිරිපිටින්. කොළඹ ඉඳන් ලොකු දුරක් නොමැති නිසා අලුයමින් පිටත් වෙලා විල්පත්තුවට ළගාවෙන්න පුළුවන් වුණත්, අපි කලින් දවසේ සවසම විල්පත්තුවට ළඟා වුණේ අලුයමින්ම “විල්පත්තුවට” පිවිසෙන්න ඕන නිසා… මොකද වැඩි වැඩියෙන් වනජීවීන් බලන්න නම්, උදේම වනබිමට ඇතුළුවීම කළයුතු බව අපිට කිව්වේ, අපේ සංචාරයේ පහසුකම් සපයන්නන් වුණු Eternal Traveller ආයතනයේ සංචාරක උපදේශකවරු. ඒ කියමන සත්‍ය බව වැටහුණේ වනබිමේ ගත කළ කාළයේ පක්ෂි, උරග, සිව්පා සතුන් විශේෂ සියයකට අධික සංඛ්‍යාවක් දකින්නට අපිට අවකාශ ලැබුණු නිසයි.
නමටම සරිලන අයුරින් විල්පත්තු වනෝද්‍යානය තුළ විල් රාශියක් පිහිටා ඇති අතර වියළි කාලගුණය හේතුවෙන් සතුන්ට සිදුවන අපහසුතා මඟ හැරවීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කෘත්‍රිම පොකුණුද නිර්මාණය කර තිබෙනවා. උදෑසන කාලයේ මෙම ජලාශ අසලට
වන සතුන් පැමිණෙන නිසා ඉක්මනින්ම වන බිමට ඇතුළු වුවහොත් වැඩි සතුන් සංඛ්‍යාවක් නරඹන්න ලැබෙනවා කියන එක සත්‍යයක්.
දොළොස් දෙනෙකුගේ පිරිවර සෙනඟකින් යුතු අපි දෙදවසකට අවශ්‍ය ඇඳුම්, කෙටි ආහාර සහ කැමරා උපාංග රැගෙන හැකි ඉක්මනින් කොළඹට ළගාවුණේ දුම්රිය වේදිකාවට එන්න කළින් දුම්රියපොළ ඇතුළට යන්න බලාගෙන. රාත්‍රී 7ට කොළඹින් - තලේමන්නාරමට යන දුම්රියේ නැගිලා තඹුත්තේගම දුම්රියපොළට අපි යනකොට රෑ එකොළහයි. ඒ වෙනකොට අජිත් අයියා සෆාරි ජිප් රථ දෙකකුත් අරන් තඹුත්තේගමට ඇවිත් හිටියේ අපිව විල්පත්තුව දක්වා අරන් යන්න බලාගෙන. මහ රෑ සෆාරි යන්න ලැහැස්ති වෙන අපි දිහා, අමුතු විදිහට බලාගෙන ගිය දුම්රිය මගීන් අතරින් දුම්රිය පොළ පාර දිගේ නගරයට ගිය අපි රෑ කඩේකින් කෑම කෑවා…
කොත්තු, පරාටා, රයිස් වලට විතරක් සීමාවුණු ඒ රෑ කඩෙන් හිත පුරෝගන්න බැරි වුණත් කුස පුරෝගන්න පුළුවන් කමක් අපිට ලැබුණා. ඊලඟට නොච්චියාගම පාර දිගේ විල්පත්තු මායිමට ගිය අපි ‘දිනේෂ්’ විසින් මෙහෙයවන Eternal Traveller නවාතැනට ගියේ පාන්දර එකට විතර. වනජීවීන් සැරිසරන බිමකට ගැළපෙන විදිහටම හාත්පස නැරඹිය හැකි අයුරෙන් සකස් කර තිබූ ඒ නවාතැන කාමර හතරකින් සමන්විත, විස්සකට පමණ සුව පහසුව නවාතැන් ගත හැකි ස්ථානයක්.
කෙටි නින්දකින් පස්සේ උදේ පහට අවදි වුණු අපි හරියටම උදේ පහමාර වෙනකොට නවාතැනෙන් පිටවුණේ වාහන පෝළිමේ ඉදිරි ස්ථානයක් ලබාගන්න ඕන නිසා… වනෝද්‍යානය ඇතුළත ආහාර ගැනීම සඳහා ආපනශාලා පහසුකම් නැති නිසා උදේ කෑම වගේම, දවල් කෑමත් පාර්සල් විදිහට ඔතාගෙන අරගෙන යන්න අපිට සිද්ධ වුණා. “දිනේෂ්’ මැදිහත් වෙලා පිරිසිදුවට වගේම රසටත් ඒ කෑම ටික හදල තිබුණේ බොහොම සැලකිල්ලෙන්.
“විල්පත්තුවේ සෆාරි වාහන අසූවක් විතර ලියාපදිංචි වෙලා තියෙනවා… යාලෙ තරම් වාහන නැති නිසා නීවි සැනසිල්ලේ සත්තු බලන්න පුළුවන්….”
“දවසකට වාහන කොච්චර ඇතුල් වෙනවද?”
“මෙහෙ පැය හතරෙ හයේ සෆාරි තමයි යන්නේ…හතරේ සෆාරියක් නම් දවසට තුන්සැරයක් එකම වාහනේ ඇතුල්වෙනවා… හයේ එකක් නම් එකවාහනයක් දවසට දෙපාරක් ඇතුළු වෙනවා… හැබැයි හැම වාහනේම හැමදාම හැමවෙලාවෙම යන්නේ නෑ...”
“එහෙනම්”
“සෙනඟ එන හැටියට දවසකට වාහන හතළිහක් විතර ඇතුල්වෙනවා….”
ටික වෙලාවකින් අවසර පත්‍රය ලැබුණේ කොන්දේසි ගණනාවක් එක්ක. මේ කොන්දේසි පනවලා තියෙන්නේ පැමිණෙන සංචාරකයන්ගෙන් වනෝද්‍යානය නිවෙස කරගත් වන සතුන්ට සිදුවිය හැකි බාධාවන් මගහැරවීම පිණිස… විශේෂයෙන් සඳහන් නොකළට, ඕනෑම ජාතික වනෝද්‍යානයකට ඇතුළු වීමේදී ඔබේ වාහනයේ රියදුරු මහතා අතට අවසර පත්‍රය ලැබෙන කොට ඔබ නිරායාසයෙන්ම ඒ කොන්දේසි වලට එකඟ වෙලා ඉවරයි. මෑතකදි සිදුවූ කැබිනට් සංශෝධනයෙන්, අලුත් වනජීවී ඇමතිවරයෙකු පත්වූ විගසම තමයි අපි විල්පත්තුවට ගියේ…. ඒ නිසාම වනොද්‍යානයේ පිවිසුම් දොරටුවේ සිට මායිම් වැට දක්වා ගොඩක් තැන් යාවත්කාළීන වෙන හැටි, කොයි මොහොතේ හෝ නිරීක්ෂණ චාරිකාවට එන ඇමතිවරයාව පිළිගන්න සූදානම් වන හැටි දැකගන්න ලැබුණා…
ඒ ගැන වගේ වගක් නැති මොණරෙකු, තමන් වෙත සහකාරියක් ආකර්ශනය පිණිස නැටුමක් නටමින් සිටින හැටි වනෝද්‍යානට ඇතුළු වූ සැණින්ම දැකගන්න ලැබුණේ… පිළිගැනීමේ මොණර නැටුම රිසි සේ දැකගත් අපි මරදන්මඩුව දක්වා විහිදුණු ප්‍රධාන පාර දිගේ හෙමි හෙමින් ඉස්සරහට ගියා… පාර දෙපැත්තේ උස්ව වැඩුණු ගස් වලින් සැදුණූ වියන දිගේ හිමිදිරි පාන්දර ඇදෙන අපට ඊළඟට හමුවුණේ වළි කුකුල්ලු රංචුවක්… ඒත් වාහනේ සද්දෙට සී සී කඩ විසිරි හැංඟෙන්නට උත්සාහ කළ ඔවුන්ව ඡායාරූපයට නගා ගැනීම අපේ ඡායාරූප ශිල්පීන්ට පහසු වුණේ නෑ…
අද දවස වෙද්දි සම්පූර්ණ විල්පත්තු කැලේම ආරක්ෂිත ප්‍රදේශයක් වුණත් පසුගිය යුද සමයෙදි විල්පත්තුව කියන්නේ නිරන්තරව ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සිදුවුණු බිමක්. 1985 මැයි 14 දින අනුරාධපුරයට පහරදෙන ත්‍රස්තවාදීන් ඒ සඳහා පැමිණ තිබුණේ විල්පත්තුව හරහා. ඔවුන් ආපහු ගියේත් විල්පත්තුව හරහා. එසේ ආපසු විල්පත්තු හරහා යනවිට වනබිමේ සේවය කළ කම්කරුවන් ඇතුළු 24 දෙනෙකු මරාදමා දේපළවලට ගිනි තබා හානි කිරීමට ඔවුන් කටයුතු කළා. ඉන්පසු ප්‍රධාන ප්‍රහාරය එල්ලවුණේ 2006දී. සංචාරකයින් නොපැමිණෙන වසා දමා තිබූ විල්පත්තුව යළි විවෘත කිරීම අරඹයා සිදුකළ නිරික්ෂණ චාරිකාවකදි ත්‍රස්තවාදින් විසින් වනෝද්‍යාන භාරකරු වසන්ත පුෂ්පානන්දට සහ කර්නල් ජයන්ත සුරවීර, මේජර් ඩී.එස්.ඒ. ජයන්ත ඇතුළු පිරිසට වෙඩිතබා ඝාතනය කරන්නේ 2006 මාර්තු 09දා. මේ නිරන්තර ත්‍රස්තවාදී ක්‍රියා නිසාම වනෝද්‍යානයට නරඹන්නන්ගේ පැමිණීම අඩුවෙනවා…ඒ නිසා ආරක්ෂාව සළකා වරින්වර විල්පත්තුව වසා දමන්නට කටයුතු කර තිබෙනවා.
මරදන්මඩුවෙන් විල්පත්තුවේ ප්‍රධාන මාර්ගය තුන් අතකට විහිදෙනවා. දකුණට ගියොත් මරදන්මඩුව වැවෙන් සහ වනජීවී බංගලාවෙන් සීමාවෙන මාර්ගය බොහොම කෙටි එකක්. වමට හැරුණොත් ඒ මාර්ගය දිගේ පොම්පරිප්පු දක්වාම වුණත් යන්න පුළුවන්. ඒත් අපි ඒ මාර්ග දෙකම තෝරා නොගෙන කෙළින් පාර තෝරා ගත්තේ අද දවසේ අපේ ගමනාන්තය තම්බපන්නිය දක්වා විහිද යා යුතු නිසා…
තව ටික දුරක් යනවිට අපේ ඉදිරි පසින් ආ සෆාරි වාහනයකින් කියූ කිසියම් රහසක් නිසා, රියදුරු අජිත් තමන්ගේ ගමන් මාර්ගය හදිසියේම වෙනස් කළා. ටික දුරක් තැනින් තැන හමුවන අතුරු පාරවල් දිගේ ගිය ඔහු කිසියම් ඉසව්වකට සීරුවෙන් රිය ධාවනය කළා. ගස් ගොමුවක් අද්දර විවෘත බිමක සෆාරි වාහන පහ හයක් එකම ඉලක්කයක් වෙත නෙතු යොමාගෙන ඉන්න ආකාරය ඈතට පෙණුනා….
“දිවියා” අජිත් හෙමිහිට කිව්වා….
වනෝද්‍යානය තුළ ජංගම දුරකථන සංඥා අක්‍රිය කර තිබෙන්නේ සෆාරි ජිප් කරුවන් අතර සතුන් සිටින ඉසව් සන්නිවේදනය විම වැළැක්විමට… ඊට වඩා එහා ගිය දෙයක් වේ දැයි නොදන්නවා වුණත් ජංගම දුරකථනවල සංඥාවන් මඟින් සත්ව සංවේදන ක්‍රියා වලට සිදුවන බාධාවන්ද සමහර විට ඊට හේතු විය හැකියි. ඒ නිසා සෆාරි ජිප් කරුවන් හමුවන විට එකිනෙකාට තම ගමන් මාර්ග වලදී හමුවූ සතුන් ගැන විස්තර හුවමාරු කරගැනීම සාමාන්‍ය දෙයක්.
එහෙත් මේ නාමකරණය ගැන වනජිවී විදාර්ථීන් අතර ඇත්තේ මත කිහිපයක්. සමහරුන් මේ “දිවියා” ලෙසත් ඔවුන්ගේ ප්‍රමාණයෙන් කුඩා දිවි විශේෂ ලෙස හදුන් දිවියා සහ කොළ දිවියා හදුන්වනවා. නමුත් විද්‍යාත්මකව සැළැකීමේදී මොවුන් එකිනෙකට වෙනස් ගණ සහ විශේෂ වලට අයත්. විද්‍යාත්මකව අපේ රටේ වාසය කරන දිවියා/ කොටියා හදුන්වන්නේ Panthera pardus kotiya යනුවෙන්. එහෙත් වූ ලෝකයේ සෙසු රටවල්වල වෙසෙන Tiger යනුවෙන් හඳුන්වන ව්‍යාඝ්‍රයාට සමාන වන්නේ නෑ. අපේ දිවියා/ කොටියා ඉංග්‍රීසියෙන් හැදින්විය යුත්තේ Lepord නමින්. ශ්‍රී ලාංකික කොටියා තම ආහාරය පිණිස කුඩා ක්‍ෂීරපායීන්, පක්ෂීන්, උරගයින් සහ විශාල ප්‍රමාණයේ සතුන් ඇතුළු සතුන් විශාල ප්‍රමාණයක් ගොදුරු කරගනී. වදුරන්, වල් ඌරන්, තිත් මුවන් ආදී සතුන්ද මොවුන්ගේ ජනප්‍රියම ගොදුරු වේ.
ප්‍රදීප් 076 66 42 607 / 0703 17 44 17
දුලිප් 0777 043 804 / 0703 207 207
සටහන [ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ]
- outofboxsrilanka@gmail.com
ඡායාරූප [ප්‍රදීප් ලක්සිරි | චතුර හේමාල්]
-Eternal Traveller
0 Comments