Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රාජකීයයෝ පිට පිට දෙවැනි වරටත් පාසල් ලීග් රග්බි කිරුළ දිනා ගනිති


වසර 10කට පසුව පිට පිට දෙවතාවක් පාසල් ලීග් රග්බි ශූරතාව දිනූ කණ්ඩායම බවට පත්වෙමින් සාන්ත පීතර විදුහල් පිල ලකුණු 32-13කින් පරදවා අන්තර් පාසල් පළමුපෙළ ලීග් රග්බි කිරුළ අත්පත් කරගැනීමට කොළඹ රාජකීය විදුහල් කණ්ඩායම සමත්විය. මෙවර තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම වූ රාජකීය විදුහල් පිල කුසලාන වටයේ සිය අවසන් තරගයේදී ශාන්ත පීතර විදුහල් පිලට එරෙහිව ගෝල් 2ක්, උත්සාහක දිනුම් 3ක් සහ දඬුවම් පහරක් වාර්තා කළේය. ශාන්ත පීතර විදුහල් පිලට රැස් කිරීමට හැකිවුයේ ගෝලයක් සහ දඬුවම් පහර 2ක් පමණි. මේ තරගය දෙවිදුහල අතර වාර්ෂිකව පැවැත්වෙන බී.සී. ඇන්ගි කුසලාන තරගය ද වූ අතර රාජකීයයෝ පිට පිට සිවුවැනි වරටත් ඇන්ගි කුසලානයත් සියතට ගත්හ.
මීට පෙර අවසන් වතාවට 2006 සහ 2007 දෙවසරේදී ශාන්ත පීතර විදුහල් පිල ලීග් රග්බි කිරුළ පිට පිට දෙවතාවක් දිනාගැනීමට සමත්විය.
තරගයේ පස්වැනි මිනිත්තුවේදී ලද දඬුවම් පහරක් සාර්ථක කරගත් ශෙහාන් ලියනපතිරණ ශාන්ත පීතර විදුහල් පිල ලකුණු 3-0කින් ඉදිරියට ගෙන ගිය අතර ඊට මොහොතකට පසුව ඉර්ෆාන් ෆරීඩ් තැබූ උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කළ දුලාන් ගුණවර්ධන රාජකීය විදුහල් පිල ලකුණු 7-3කින් ඉහළට ඔසවා තැබුවේය.
පළමුභාගය නිමාවනවිට ලකුණු 12-3කින් රාජකීය විදුහල් පිල පෙරමුණ ගත්තේ මුබීන් ෆලිල් තැබූ උත්සාහක දිනුමක් දුලාන් ගුණවර්ධන විසින් ගෝලයක් බවට පත්කරනු ලැබීම නිසාය.
දෙවැනි භාගයේදී අබ්දුල්ලා ෆායිස් උත්සාහක දිනුමක් තබමින් ශාන්ත පීතර විදුහල් පිලේ බලාපොරොත්තු ඉහළ නැංවූ අතර ලියනපතිරණ එය ගෝලයක් බවට පත් කිරීමෙන් ඔවුන්ගේ ලකුණු සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගියේය.
ඊට මොහොතකට පසු ඉර්ෆාන් ෆරීඩ් සිය දෙවැනි උත්සාහක දිනුම තබමින් රාජකීය විදුහල් පිලේ ලකුණු සංඛ්‍යාව 17 දක්වා ඉහළ දමද්දී දඬුවම් පහරක් සාර්ථක කරගත් ශෙහාන් ලියනපතිරණ ශාන්ත පීතර විදුහල් පිලේ ලකුණු සංඛ්‍යාව 13 දක්වා ඉහළ දැමුවේය.
තරගයේ 55 වැනි මිනිත්තුවේදී රාජකීය විදුහල් පිලේ නායක සාබිත් ෆෙරෝස් තැබූ විශිෂ්ට උත්සාහක දිනුම දුලාන් ගුණවර්ධන ගෝලයක් බවට පත් කිරීමෙන් ලකුණු 24-13කින් ඉදිරියට යාමට රාජකීයයෝ සමත්වූහ. ඊට මිනිත්තු කිහිපයකට පසුව පසිඳු ප්‍රනාන්දු කදිම උත්සාහක දිනුමක් තබමින් රාජකීය විදුහල් පිලේ ලකුණු සංඛ්‍යාව 29 දක්වා ඉහළට ඔසවා තැබුවේය. තරගය නිමාවීමට මොහොතකට පෙර දඬුවම් පහරක් සාර්ථක කරගැනීමට දුලාන් ගුණවර්ධන සමත්විය.
අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියට පූර්ණ අනුග්‍රාහකත්වය සපයනු ලබන සිංගර් ශ්‍රී ලංකා සමාගමේ වෙළෙඳ අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ලීග් රග්බි කිරුළ ප්‍රදානය කිරිමේ අවස්ථාවට ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ සභාපති රංජිත් චන්ද්‍රසේකර මහතා ද එක්විය.
කිංග්ස්වුඩ් විදුහල් පිල ජය ගනී
මේ අතර වෙස්ලි විදුහල් පිල සමග පැවැති තරගය ලකුණු 31-13කින් ජයගැනීමට කිංග්ස්වුඩ් විදුහල් පිල සමත්විය. කොළඹ තුරඟ තරග පිටියේ පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 13-10කින් පෙරමුණ ගැනීමට වෙස්ලි විදුහල් පිල සමත්වූවත් දෙවැනි භාගයේදී වෙස්ලි ක්‍රීඩකයන් ඇද බැඳ තබාගත් කිංග්ස්වුඩ් විදුහල් පිල ගෝල් 3ක්ම එල්ල කිරීම කැපී පෙනුණි.
කිංග්ස්වුඩ් පිල වෙනුවෙන් නායක තරිඳු වැලිගම්පොළ උත්සාහක දිනුම් 2ක් තැබූ අතර මිලාන් වීරසිංහ සහ සචින්ත සෙනෙවිරත්න උත්සාහක දිනුම බැගින් තැබීමට සමත්වූහ. මේ උත්සාහක දිනුම් 4ම ගෝල බවට පත් කළ හිරූෂ සම්පත් දඬුවම් පහරකුත් සාර්ථකව එල්ල කළේය.
වෙස්ලි විදුහල් පිල වෙනුවෙන් වාර්තා වූ එකම උත්සාහක දිනුම තබනු ලැබුවේ සහන් හංසජ විසිනි. එය ගෝලයක් බවට පත් කළ මුර්ෂිද් සුබේර් දඬුවම් පහර 2කුත් සාර්ථක කරගත්තේය.



Author(s): 
ෆවුස් මොහොමඩ්

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();