Ticker

    Loading......

Header Ads Widget

අලි ජින්නා ශිෂ්‍යත්ව වැඩසටහන ශ්‍රී ලංකා-පාකිස්තාන මිතුදම නව මාවතකට රැගෙන යනවා

Author(s): 
මහින්ද අලුත්ගෙදර

ශ්‍රී ලාංකික සිසු දරු දැරියන්ගේ දැනුම ඉහළ නංවා ගැනීම වෙනුවෙන් පිරිනමන ‘අලි ජින්නා‘ ශිෂ්‍යත්ව වැඩසටහන දෙරට අතර පවතින මිතුදම නව මාවතකට රැගෙන යන්නක් බව ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහකොමසාරිස් ආචාර්ය ෂහිඩ් අහමඩ් හස්මත් මහතා ප්‍රකාශ කරයි.

පසුගිය 2006 වසරේ සිට මේ දක්වා කාලය තුළ ශ්‍රී ලාංකික සිසු පරපුරේ දැනුම ඉහළ නැංවීම වෙනුවෙන් මේ ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක බව පෙන්වාදෙන ඒ මහතා එය දෙරට අතර සහයෝඟීතාවය මැනවින් කියාපාන්නක් බවද වාර්ෂිකව ලබාදෙන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉදිරියේ දී ඉහළ නැංවීමට පියවර ගන්නා බවද සඳහන් කරයි.

මහ කොමසාරිස්වරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් පාකිස්තාන රජය මඟින් පිරිනමන අලි ජින්නා ශිෂ්‍යත්ව ප්‍රදානය වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (23) පැවැති උත්සවයක් අමතමිනි. උසස් පෙළ විභාගයෙන් විෂයයන් තුන සඳහාම ඒ සාමාර්ථ ලබාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 182 දෙනෙකු වෙනුවෙන් මෙහිදී මුදල් ශිෂ්‍යාධාර පිරිනැමූහ.

පසුගිය 2017 වසරේ පැවැති අ.පො.ස උසස් පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ ලබාගනිමින් සමත් වූ අඩු ආදායම්ලාභී දරුවන් අතරින් තෝරාගත් සිසු දරු දැරියන් පිරිසක් වෙනුවෙන් මේ ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරිණි. පාකිස්තානයේ නිර්මාතෘ මොහොමඩ් අලි ජින්නාගේ නමින් මේ ශිෂ්‍යත්ව නම්කර ඇති අතර ආර්ථික දුෂ්කරතා හා සා/පෙ හා උ/පෙ ඇතුළු අධ්‍යාපන කඩඉම්වලින් ඉහළ දස්කම් පෙන්වා ඇති දරුවන් වෙනුවෙන් පිරිනමයි. මේ ශිෂ්‍යත්වය ඔස්සේ සෑම ශිෂ්‍යයකුටම ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා මුදල් ලබාදීමට පාකිස්තාන රජය කටයුතු කරයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආචාර්ය ෂහිඩ් අහමඩ් හස්මත් මහතා පෙන්වා දුන්නේ පසුගිය 2006 වසරේ සිට ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාකිස්තාන රජය මඟින් මෙම ශිෂ්‍යත්ව ලබාදෙන බවත් මේ දක්වා කාලය තුළ ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් 1,500 ට වැඩි පිරිසක් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබාදී තිබෙන බවත්ය. පසුගිය වසරේ දී පැවැති උසස් පෙළ විභාගයෙන් විෂයයන් තුන සඳහාම ඒ සාමාර්ථ ලබාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 182 දෙනකු වෙනුවෙන් මෙවර ශිෂ්‍යත්ව පිරිනමන බව පෙන්වාදුන් ඒ මහතා එය වසරක් තුළ පිරිනැමූ වැඩිම ශිෂ්‍යත්ව ප්‍රමාණය වන බවද සඳහන් කළේය.

මේ දක්වා කාලය තුළ වෛද්‍ය, ඉංජිනේරු ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඔස්සේ ශ්‍රී ලංකාවේ රජයේ නිලධාරීන් පුහුණු කිරීම සඳහා පාකිස්තාන රජය පියවර ගෙන තිබෙන බව පෙන්වාදුන් මහ කොමසාරිස්වරයා එවැනි ක්ෂේත්‍ර වෙනුවෙන් 1996 වසරේ සිට ශිෂ්‍යත්ව පිරිනමන බවද වත්මන් ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා 1976 වසරේ දී පාකිස්තානයේ දී පුහුණුව ලබා තිබෙන බවද සිහිපත් කළේය. මේ වැඩසටහන්වලට අමතරව ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ නිලධාරීන් සඳහා ද පුහුණුවීම් ලබාදෙන බව කී ඒ මහතා මෙවැනි අවස්ථා තුළින් දෙරට අතර තිබෙන සහයෝඟීතාවය තවදුරටත් ශක්තිමත් වන බවද පෙන්වා දුන්නේය.

මේ අවස්ථාවට පැමිණි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සබඳතා දිගු ඉතිහාසයකට දිව යන්නක් බවත් ශ්‍රී ලංකාවේ පළමු අගමැති ඩී.එස් සේනානායක සහ පාකිස්තානයේ නිර්මාතෘ මොහොමඩ් අලි ජින්නා මහත්වරුන්ගේ සමයේ සිට එම සබඳතා ශක්තිමත්ව පැවත එන්නක් බවත්ය. පාකිස්තානයේ නිර්මාතෘ මොහොමඩ් අලි ජින්නා මහතාගේ සමයේ සිට ශ්‍රී ලංකාව සමඟ සමීප සබඳතා පවත්වාගෙන තිබෙන බවද අලි ජින්නා ශිෂ්‍යත්ව වැඩසටහන ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ අධ්‍යාපනික දැනුම ඉහළ නංවා ගැනීම වෙනුවෙන් අතිශය වැදගත් බවද පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තිබෙන ද්වීපාර්ශ්වික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරමින් පසුගිය 2006 වසරේ දී ආරම්භ කරන ලද ජින්නා ශිෂ්‍යත්ව වැඩසටහන මඟින් මේ දක්වා කාලය තුළ ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් 1,500 ට ආසන්න සංඛ්‍යාවකට ශිෂ්‍යත්ව පිරිනමා තිබේ. අධ්‍යාපන ක්ෂේත්‍රය හා තරුණ පරපුර වෙනුවෙන් පසුගිය වසර 13 කාලයේ දී මෙම ශිෂ්‍යත්ව වැඩසටහන වෙනුවෙන් පාකිස්තාන රජය රුපියල් මිලියන 50 ක පමණ මුදලක් ශ්‍රී ලංකාවට ලබා දී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම් මරික්කාර්, මුජිබර් රහුමාන්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග, ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහකොමසාරිස් ආචාර්ය ෂහිඩ් අහමඩ් හස්මත්, නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය සෆ්‍රාස් අහමඩ් කාන් සිප්‍රා මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();