Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලාංකික ජාතීන්ගේ ඉදිරි ගමනට මහනුවර කඩාකප්පල්කාරී ක්‍රියා බාධාවක්

ප්‍රචණ්ඩත්වයට ඉඩ නොතබා සියලු ජාතීන්ගේ අයිතීන් ශක්තිමත් කරන බව අගමැති මහනුවරදී කියයි

ශ්‍රී ලාංකික සියලු ජාතීන් එකට එක්ව ඉදිරියට යමින් තිබූ ගමනට මහනුවර සිදු වූ කඩාකප්පල්කාරී ක්‍රියා බාධාවක් වු බවත් ප්‍රචණ්ඩත්වයට ඉඩ නොතබා මේ රටේ සියලු ජාතීන්ගේ අයිතීන් සුරක්ෂිත කිරමින් ශක්තිමත් ඉදිරි ගමනක් යන්නට අවශ්‍යය පසුබිම ආණ්ඩුව ඇති කරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.

මහනුවර සිදු වූ පහරදීම් හේතුවෙන් විනාශ වූ දේපොළවල වටිනාකම තක්සේරු කිරීම,මියගිය අයට වන්දි ගෙවීම් තීන්දු කිරීම,වන්දි ප්‍රදානය හා විනාශ වූ ගොඩනැගලි ප්‍රතිසංස්කරණය ආදි කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම පිණිස මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමකදී අගමැතිවරයා මේ බව පැවසිය.

මෙම අවස්ථාවට අැමැතිවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල,රවුෆ් හකීම්,රංජිත් මද්දුමබණ්ඩාර,එම්.එච්.එම් හලීම්,රුවන් විජයවර්ධන,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලකී ජයවර්ධන,වේලූ කුමාර් යන මහත්වරුද රාජ්‍යය නිලධාරීන් රැසක්ද සහභාගී වූහ.

නොසන්සුන්කාරී පිරිස් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් හානි වූ දිගන,අඹතැන්න,අකුරණ,අටේ කණුව හා ඒ ආශ්‍රිත ප්‍රදේශයේ පූජනීය ස්ථාන,නිවාස හා ව්‍යාපාරික ස්ථාන දැක බලා ගැනීමට ගිය අගමැතිවරයා ඉන් අනතුරුව මෙම රැස්වීම කැඳවා තිබිණි.

එහිදී වැඩිදුරටත් කතා කළ අගමැතිවරයා මෙසේද පැවසිය.

මෙම සිදුවීම් පසුපස සිටින්නේ ජාතිවාදී අදහස් දරන ඉතා සුළු පිරිසක් .ඔවුන්ගේ මතය සෙසු බහුතර ජනතාව අනුමත නොකළ නිසා ගැටුම් මහනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ පහකින් එහාට පැතිර ගියේ නෑ.

ප්‍රහාර හේතුවෙන් හානි සිදුව තිබෙන ව්‍යාපාර ස්ථාන හිමිකරුවන් බොහෝ දෙනෙකු අදාළ ව්‍යාපාර පවත්වා ගෙන ගොස් තිබෙන්නේ බැංකු ණය ලබාගෙනයි.ඔවුන්ට එම මුදල් ආපසු ගෙවීමේදී යම් සහන ලබා දීමට ආණ්ඩුව කටයුතු කරනවා. ඒ සඳහා වන දැනුවත් කිරීම් බැංකුවලට කරනවා.

අම්පාර සිදුවීම ගැන පොලීසිය බී වාර්තාවක් මඟින් මේවන විට අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබෙනවා.මෙම වාර්තාවට අවශ්‍යය සාක්කි නොතිබූ නිසා මුලින් මේක ඉදිරිපත් කරන්න බැරි වුණා.සාක්කි සම්පාදනය කිරීමෙන් පසු ඒ කටයුතු දැන් සිදුව තිබෙනවා.මහනුවර සිදුවීම ගැන අපි විශේෂයෙන් බලලා ක්‍රියා කරනවා.නැවත මෙවැනි ක්‍රියා සිදු නොවෙන්න වගබලා ගැනීම තමයි ඉතාම වැදගත්.කොමිසමකට හෝ කමිටුවකට මේ සියල්ල තල්ලු කරලා එතනින් සියල්ල අවසන් කරන්න අපේ කිසිම බලාපොරොත්තුවක් නැහැ.කොමිසමකින් හෝ කමිටුවකින් කෙරෙන්නේ සිදුවීම පිළිබඳ කරුණු සොයා බලා වාර්තාවක් ලබාදෙන එකයි.එමඟින් ඒ අයගේ නිගමනය කුමක්ද කියන එක අපිට දැන ගන්න පුළුවන්.අපිට මේ වේලාවේ කරන්න තිබෙන වැඩ කටයුතු ඊට වඩා වැදගත්.මේ සිදුවීම තුළින් ජාතීන් අතර පැවැති සාමය,සමඟිය හා සම්බන්ධාතාව කිසියම් දුරකට අඩු වුණා.රට එකතු කරන්න අපි වසර 30 ක් යුද්ධ කළා.එමඟින් අපි අපේක්ෂා කෙළේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම පමණක්ම නොවෙයි.

අපි සියලු දෙනා එකට එකතු වෙලා ජාතික ගීයේ සඳහන් පරිදි එක මවකගේ දරු කැළ මෙන් ක්‍රියා කිරීමේ අවශ්‍යතාවද ඒ තුළ තිබුණා.යුද්ධයකට මුහුණ දීලා විශාල පිරිසක් ජීවිත නැති කර ගත්තා.ඒ හැමෝම කළ පරිත්‍යාගය සමඟ අපි හැමෝම එක ගමනක් යන්නට ගත් වෑයමට තමයි මෙකෙන් පහර වැදිලා තිබෙන්නේ.මේ සිද්ධිය මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ පහකට පමණක් සීමා වුණා.දිස්ත්‍රික්කයටම බලපාන පරිදි ඇඳරි නීතිය දාන්න සිදු වුණේ දිස්ත්‍රික්කය පුරා මේක පැතිර යයි කියන සැකය මතයි.මහනුවර නගර සීමා බල ප්‍රදේශයටවත් මේක ආවේ නැහැ.තැන් තැන් වල ගල් ගැසීම් වගේ පුංචි සිදුවීම් වුණත් රටේ අති බහුතර ජනතාව මේවා අනුමත කෙළේ නැහැ.ඔවුන් එක මතයක හිටියා.රටේ ප්‍රශ්න පිළිබඳව අපිට විවිධ අදහස් තිබෙන්න පුළුවන්.ඒ අදහස් විවිධ නිසා අපි ප්‍රචණ්ඩත්වයට යා යුතු නැහැ.එක් එක් ආගම්වල ජාතීන්ගේ අයිතීන් ආරක්ෂා කරන්නේ කොහොමද කියන එක ගැන අපි අවධානය යොමු කරන්න ඕනෑ.වසර 30 ක යුද්ධයෙන් පසු එක මතයකට සියලු දෙනාට එන එක තරමක් අසීරුයි.විවිධ අදහස් තිබෙන්න පුළුවන්.

මේ රටේ සෑම ජාතියක්ම සෑම ආගමිකයකුම ජීවත් වෙන්න ඕනෑ.අකුරණ ප්‍රදේශයේ බහුතරයක් මුස්ලිම් ජනතා පදිංචි කෙළේ අපේ රජවරුයි.එහේ මුස්ලිම් ජනතාව වැඩිපුර ඉන්නේ ඇයි කියලා දොස් කියනවා නම් දොස් කියන්න ඕන පළමුවන විමලධර්මසූරිය රජ්ජුරුවන්ගේ ඉඳලා දෙවැනි රාජසිංහ රජ්ජුරුවෝ වෙනකල් හිටිය සියලු රජවරුන්ටයි.රජවරු උපක්‍රමශීලී සැලසුම් අනුවයි මේවා කෙළේ.මේ ප්‍රදේශවලට සිංහල අයවත් මුස්ලිම් අයවත් බලෙන් ආවේ නැහැ.අපි මේවා තේරුම් ගෙන එකට ජීවත් වෙන්න ඕනෑ.හිටපු ඇමැති හමීඩ් මහතාගේ වාසගම රත්නායක මුදියන්සේලාගේ බව හලීම් ඇමැතිතුමා මා සමඟ කිව්වා.අපිට ප්‍රශ්න තිබෙන්න පුළුවන්.ඒවාට විසඳුම් ප්‍රචණ්ඩත්වයෙන් හොයන්න බැහැ.බහුතරයක් වන සිංහල බෞද්ධ ජනතාවගේ විහාරස්ථාන පිළිබඳව මෙන්ම මුස්ලිම් අයගේ පල්ලි ගැන,හින්දු කෝවිල් පිළිබඳව ප්‍රශ්න තිබෙන්න පුළුවන්.ඒවා විවෘතව කතා කරන්න ඕනෑ.සාකච්ඡා කරන්න ඕනෑ.තවත් වසර පහ හයකින් ප්‍රචණ්ඩත්වයට යන්න අපි ලෑස්ති නැහැ.අපි සියලු ජාතීන් එකට එකතු වෙලා මේ ප්‍රශ්න සම්බන්ධයෙන් එකඟතාවන්ට පැමිණ විසඳුම් ලබා ගැනීමයි වැදගත්.

මේ සිදුවීම් නිසා රටේ කීර්තියට විශාල පහරක් එල්ල වුණා.දැන් ලෝකය අපි දිහා බලන්නේ ජනවාර්ගික හා ආගමික ගැටුම් නිසා ලෝකයේ අර්බුදයන්ට පත්ව සිටින රටවල් දෙස බලන විදිහටයි.මේ රටේ ආගමක් අදහන්න නිදහසක් නැහැ කියලා තමයි ලෝකයට පණිවිඩය යන්නේ.ඇත්තටම මේක ඉතාම සුළු පිරිසක් කළ දෙයක්.මේකට අති බහුතර සිංහල ජනතාවගේ කිසිදු සහයක් ලැබුණේ නැහැ.ජත්‍යන්තරයට අපි එය ඒත්තු ගැන්විය යුතුයි.මේ ප්‍රචණ්ඩකාරී සිදුවීම් නිසා හානියට පත් ගොඩනැගිලි මාස කිහිපයකින් හදා දුන්නත් මින් රටට ඇති වූ කැළල මකන්න අඩු තරමින් වසර දෙකක්වත් යාවි.මෙමඟින් සංචාරක ක්ෂේත්‍රයට විශාල බලපෑමක් වෙනවා.විශේෂයෙන් ඒක මහනුවර,නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කයට බලපානවා.මේ රටට එන සුදු ජාතික සංචාරකයින් වෙරළ තීරයට ගියත් මැද පෙරදිගින් එන මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයින් බහුතරයක් එන්නේ මධ්‍යම පළාතටයි.ඒ අය රටට නොආ විට ඒක ත්‍රිරෝද රථ රියැදුරාගේ සිට නර්තන ශිල්පියාගේ පටන් සැමගේ ආර්ථිකයට බලපානවා.

මේ රටේ ජාතික එකමුතුව ආරක්ෂා කරන්න ආණ්ඩුවක් ලෙස අපි කැප වෙනවා.ව්‍යවස්ථාව මගින් සෑම ආගමකට නිදහසේ ආගම ඇදහීමට ඇති අයිතිය අපි සුරක්ෂිත කරනවා.වැරදි කළ නීතී උල්ලංඝනය කළ අයට නීතිය තදින් ක්‍රියාත්මක කරනවා.මේක සංවිධානාත්මකව කළ එකක් කියලා කියනවා.මේවා කවුද කෙළේ කියලා ඉක්මනින් සොයා බලන්න පොලීසිය බාර ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා පොලීසියට උපදෙස් ලබා දී තිබෙනවා.මේක පිටුපස හිටියේ කවුද කියලා අපි ඉක්මනින් සොයා ගන්න ඕනෑ.

ඒකට ගම්වල ජනතාවගේ තොරතුරු ඉතා වැදගත්.ගෙවල් වලින් සාප්පු වලින් අරන් ගිය බඩු මේවා කළ අයගේ ගෙවල් වල තාමත් ඇති.ඒවා මහනුවර දිස්ත්‍රික්කයෙන් හෝ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වූ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ පහෙන් පිටට තාම ගිහින් නැහැ.පොලීසිය,ග්‍රාම නිලධාරීන් මේ ගැන සොයා බැලුවොත් තවත් කරුණු අනාවරණය කර ගත හැකියි.මේ බඩු ළඟ තිබෙන අය ගෙන් දැන ගන්න පුළුවන් ප්‍රචන්ඩ ක්‍රියාවලට ඒ අය තල්ලු කෙළේ කවුද කියලා.අපිට හැමෝම හිරේ දාන්න වුවමනා නැහැ.ඒත් මේවා මෙහෙයවපු අය අපි නිවැරදිව හඳුනා ගෙන ඔවුන් සම්බන්ධයෙන් නීති මගින් තදින් ක්‍රියා කිරීම ඉතා වැදගත්.

සමාජ මාධ්‍යය මගින් නොයෙක් වැරදි ප්‍රචාර ගෙන ගිය කොළඹ ප්‍රධාන පාසල් දෙකක සිසුන් දෙදෙනකුගෙන් දැන් පොලීසිය ප්‍රශ්න කර ගෙන යනවා.පූජ්‍යය පක්ෂයේ ඇතැම් අය කියන දේවල් තමන්ගේ ආගමට කොහෙත්ම එකඟ නොවන දේවල්.සමාජ මාධ්‍යය අපිට වැදගත්.මේක සමාජ යහපතට භාවිත කරන්න පුළුවන් වගේම සමාජයේ අයහත පිණිසත් භාවිත කරන්නත් පුළුවන්.මේ සිද්ධියේදී මේක භාවිත කෙළේ සමාජය පුරා බේද ඇති කරන්න.ලංකාවේ පමණක් නොව ලෝකයේ වෙනත් රටවලත් මේ තත්ත්වය දකින්න පුළුවන්.අපි මේ සම්බන්ධයෙන් විශේෂ ක්‍රියාමාර්ග ගතයුතුව තිබෙනවා.මෙම සිදුවීම් පසුපස සිටි අය ඉතා කෙටි කාලයකින් රටට හෙළි කරන්න ඕනෑ.

ඒ සම්බන්ධ පරීක්ෂණ වාර්තා ඉතා ඉක්මනින් ලබා දෙන්න කියලා මම උපදෙස් ලබා දී තිබෙනවා.මේ අය සම්බන්ධයෙන් නීති ක්‍රියාමර්ග ගත් පමණින් රටට සිදුව තිබෙන හානිය ඉක්මනින් නැති වන්නේ නැහැ.ඒ සඳහා කාලයක් ගත වෙනවා.නියඟය හේතුවෙන් කෘෂි ආර්ථිකයට විශාල බලපෑමක් වෙලා තිබෙනවා.මේ අවස්ථාවේ අපි අපේක්ෂා කෙළේ ඒ පැත්තෙන් සිදුවන හානිය සංචාරක ව්‍යාපාරයේ දියුණුව තුළින් සමනය කර ගන්නයි.දැන් ඒකටත් විශාල ප්‍රශ්නයක් ඇති වෙලා.ශ්‍රී ලාංකිකයින් ලෙස එකට එකතු වෙලා අපි යන ගමනට විශාල හානියක් මේක.බෞද්ධ හා මුස්ලිම් ආගමික නායකයින් හානි වූ ප්‍රදේශවලට ගොස් ජනතාව අතර පළුදු වී තිබෙන සම්බන්ධය යළි ගොඩනගන්නත් නැවත මෙවැනි සිදුවීම් වීම වලක්වා ගැනීමටත් කටයුතු කරමින් සිටිනවා.

වැරදි කළ අයට දඬුවම් කිරීම පිණිස අවශ්‍යය සාක්කි අධිකරණයට ඉදිරිපත් කළාට පසු ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නේ අධිකරණ යයි.නියම වැරදි කරුවන් හොයලා ඒ අයට දඬුවම් කළොත් තමයි නැවත මේ වගේ සිදුවීම් ඇති නොවන්නේ.මේ අයට දඬුවම් නොකළොත් මේවා තවත් තැන් වලට පැතිර යන්න පුළුවන්.නීතී උල්ලංඝනය කළ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.සාමාය ඇති කරනවා කියන්නේ අපි ඔක්කොම එකට එකතු වෙලා ගමනක් යනවා කියන එකයි.ආරක්ෂක අංශ අතින් යම් යම් අඩුපාඩු සිදු වූ බවට චෝදනා එල්ල වුණා.කිහිප දෙනෙකු අතින් එවැනි වැරදි සිදුවන්න ඇති.ඒත් සමස්ථායක් ලෙස පොලීසිය,පොලිස් විශේෂ කාර්ය බළකාය හා ත්‍රිවාධ හමුදාව ඉතාම කැපවීමෙන් රාජකාරී ඉටු කළා.මේ අවස්ථාවේ වගකීමෙන් ක්‍රියා කළ මධ්‍යම රජයේ සහ පළාත් සභාවේ රාජ්‍යය නිලධාරීන්ටත් සිවිල් සංවිධානවලටත් ස්තූතිය පළකළ යුතුයි.

අැමැති රවුෆ හකීම් මහතා -බහුතරයක් ආරක්ෂක අංශ නිලධාරීන් තමන්ගේ වගකීම් ඉටු නිවැරදි ලෙස ඉටු කළා.මේ සම්බන්ධව එල්ලවන චෝදනා සැලකිල්ලට ගෙන යම් යම් අයගේ අතින් අඩුපාඩු වුණාද කියලා සොයා බලන එක වැදගත්.මේ සිදුවීම් නිසා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ පහක විශාල පිරිසක් පීඩාවට පත් වුණා.ඔවුන්ගේ දේපොළ විනාශ වුණා.ඇතැම් අය අන්ත අසරණ තත්ත්වයට පත්ව තිබෙනවා.මේ අයට සිදු වූ හානි පිළිබඳ නිවැරදි තක්සේරුවක් කිරීම ඉතා වැදගත්.

අැමැති ඒ.එච්.එම් හලීම් මහතා-මහසෝන් බළකායේ මූලස්ථානය තිබුණේ දිගනෙයි.මේ සිදුවීම් ආරම්භ වනවිට පොලීසියට ලොකුවට ගත්තේ නැහැ.මේක ඇතුළත සිද්ධිය හරියට හොයා ගන්න කොමිසමක් පත් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.වෙනත් පක්ෂවලින් මේ පාර ප්‍රාදේශිය සභාවන්ට පත් වූ අයත් මේවා පසුපස සිටිනවා.අපි ළඟ ෆොටෝ තිබෙනවා.මහනුවර සිංහල ජනතාව හා මුස්ලිම් ජනතාව ඉතාම සහයෝගයෙන් ජීවත් වන්නේ.කවදාවක් මේ සම්බන්ධතාවට පළුද්දක් වෙලා තිබුණේ නැහැ.මේ පාරත් පිටින් ආපු පිරසක් තමයි මෙහේ ජනතාව උසිගැන්වූයේ.

මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර මහතා ඇතුළු රාජ්‍යය නිලධාරීන් රැසක් සහභාගී වූහ.

අසේල කුරුළුවංශ හා තිලක් පුෂ්පකුමාර

ඡායාරූප
ගාමීණී රණසිංහ 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();