* යටිතල පහසුකම් සොයා බලමින් ඒවාට අවැසි පිළියම් යොදමින් ජනතාවගේ එදිනෙදා පොදු ප්‍රශ්න ගැන විමසිලිමත් වී අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න
* පුරපතිනි රෝසි සේනානායක මහත්මිය ඇතුළු සියලුම මන්ත්‍රීවරුන් කොළඹ නගරය දියුණු කිරීමට කැපවීමෙන් ක්‍රියාකරන බවට විශ්වාසයි
දස අවුරුදු සැලැසුම ක්‍රියාවට නංවමින් කොළඹ නගරයේ ජනතාවට යුතුකම් ඉටුකරමින් සෑම තරාතිරමකම ජනතාවට දැනට වඩා උසස් ජීවන තත්ත්වයක් උරුම කරදීමට පියවර ගන්නා ලෙසට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ නගර සභාවට තේරීපත්වුණ නාගරික මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කළේය.
දස අවුරුදු සැලැසුමට අවශ්‍ය මුදල් සොයාගෙන එය ක්‍රියාත්මක කරවන බව පැවසූ අගමැතිවරයා යටිතල පහසුකම් සොයාබලමින් ඒවාට අවැසි පිළියම් යොදමින් ජනතාවගේ එදිනෙදා පොදු ප්‍රශ්න පිළිබඳ විමසිලිමත් වෙමින් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා ලෙසටත් මන්ත්‍රීවරුන් දැනුම්වත් කරවමින් ප්‍රකාශ කළේය.
පුරපතිනි රෝසි සේනානායක මහත්මිය ඇතුළු සියලුම මන්ත්‍රීවරුන්ට සුබපතමින් ඔවුන් සියලුදෙනා මේ නගරය දියුණු කිරීමට කැපවීමෙන් ක්‍රියා කරනු ඇතිබවට විශ්වාසය පළ කරන බවත් අගමැතිවරයා අවධාරණය කළේය.
කොළඹ මහනගර සභාවේ ප්‍රථම පුරපතිනිය ලෙස ඉතිහාසගතවන රෝසි සේනානායක මහත්මිය ඇතුළුව කොළඹ නගරසභාවේ පාලන බලය හිමිකරගත් එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරුන් හැමදෙනකු දිවුරුම් දීමෙන් පසුව පැවැති චාම් උත්සවය අමතමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.
ප්‍රථම පුරපතිනි රෝසි සේනානායක මහත්මිය සහ නියෝජ්‍ය පුරපති එම්. ඩී. ඉක්බාල් මහත්වරු ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් හැටදෙනා දිවුරුම් දුන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ පුනරුත්ථාපන ඇමැති ඩී. එම්. ස්වාමිනාදන් මහතා ඉදිරියේදීය.
නාගරික මන්ත්‍රීවරුන් ඇතුළුව පැමිණ සිටි පිරිස පංචශීලයේ පිහිටුවීම කොළඹ ගංගාරාම විහාරාධිකාරී පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමින්වහන්සේ විසින් සිදු කළහ.
ජුම්මා මස්ජිඩ් මුස්ලිම් පල්ලියේ අස්ලම් මව්ලවිතුමා, ක්‍රිස්තියානි රෙපරමාදු දේවස්ථානයේ සුනිල් ගුණසේකර පියතුමා හින්දු පූජකතුමන් ඇතුළුව කල්වාරි සභාව නියෝජනය කරමින් ආචාර්ය තිස්ස වීරසිංහ දේවගැතිතුමා ආගමික වතාවත් ඉටුකරමින් සියලුම නාගරික මන්ත්‍රීවරුන්ට ආශිර්වාද කළහ.
නාගරික මන්ත්‍රීවරුන් දැනුම්වත් කරමින් කොළඹ නගරයට ඉටුවිය යුතු මෙහෙවර සිහිපත් කරමින් තවදුරටත් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ප්‍රකාශ කළේය.
තේරීපත්වුන මන්ත්‍රීවරුන් මනාපවලින් පත්වූවන් නොව කොට්ඨාස මට්ටමින් නියෝජනය කරන පිරිසකි. සෑම නිවසකටම ගොස් පොදු අඩුපාඩුකම් සොයා බලන්න, ඛේදනීය අන්දමින් දිවි ගෙවන ප්‍රමාණවත් යටිතල පහසුකම් නොමැති පිරිසක් ද කොළඹ නගරයේ වෙසෙන බව මතක තබා ගත්න. කොළඹ නගරවාසීන්ට ඉතා හොඳ සේවාවක් ලබාදිය යුතුයි. දරිද්‍රතාවයෙන් පෙළෙන පිරිස අඩු ආදායම්ලාභීන් මධ්‍යම පාන්තිකයන් යනාදී සෑම තරාතිරමකම ජනතාවට ඉතා හොඳ සේවාවක් ලබාදිය යුතුයි.
කොළඹ ජනතාවට දුන් පොරොන්දු ඉටු කරමින් මහජන සේවය වහාම ඇරඹිය යුතුයි.
කොළඹ නගර සභාවට කාන්තා පුරපතිනියක් දිවුරුම් දුන් ප්‍රථම අවස්ථාව මෙයයි. එය වාර්තාවක්, මන්ත්‍රීවරියක්, ඇමැතිවරියක් ලෙස එතුමියට විශාල පළපුරුද්දක් තිබේ. ජයග්‍රහණය වෙනුවෙන් එතුමිය ඇතුළුව ඔබ සැම කැපවීමෙන් මහන්සියෙන් ක්‍රියාත්මක කිරීම ප්‍රතිඵලයක් ලෙස කොළඹ නගර සභාවට නාගරික මන්ත්‍රීවරු මන්ත්‍රීවරියන් ලෙස තේරී පත්වුණි. ඉදිරියේදී වරින්වර සියලුම මන්ත්‍රීවරු මන්ත්‍රීවරියන්ව තවමත් මුණගැසීමට අවස්ථාව ලැබෙන බවත් අගමැතිවරයා අවධාරණය කළේය.
සේදවත්ත, වේරගොඩ රජමහා විහාරාධිපති එක්සත් ජාතික පක්ෂ භික්ෂු බල මණ්ඩලයේ ලේකම් අඹන්වෙල ඤාණාලෝක නාහිමි මෙසේ පැවසූහ.
පත්වී සිටින සියලුම නාගරික මන්ත්‍රීවරු මන්ත්‍රීවරියන් ඉවසීමෙන් බුද්ධියෙන් ක්‍රියා කළ යුතුයි. ඉවසීම ඉතාම අවශ්‍යයි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දෙස අවධානය යොමුකර දේශපාලන දිවිය හැඩ ගන්වා ගන්න. ඉවසීමේ ගුණය එතුමා සතුයි. ඉවසීම නැතිනම් සාර්ථක ගමනක් යාමට නොහැකිය. පක්ෂය විනාශ කිරීමට කැරලි ගැසීමට කිසිවිටකත් ක්‍රියා නොකරන්න. මාධ්‍ය සංදර්ශන පවත්වන්නේ නැතිව ජනතා සේවයට සැදි පැහැදී කැපවෙන්න පක්ෂ විපක්ෂ සියල්ලන්ම එකට එකතු කරගෙන සමගියෙන් ඉවසීමෙන් ක්‍රියා කළ යුතුයි. සිඳු ටෙලිනාට්‍යයේ පොඩි හාමුදුරුවන් පවසන්නේ වැරදි කරන අය කලබල ඇත්තන් බවයි. එය නිවැරැදියි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්කර ගැනීමට ක්‍රියා කරන්න. එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කරන්න. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රේෂ්ඨ බෞද්ධ පරපුරකින් පැවැත එන අටලෝ දහම හොඳින් පසක් කරගත් නායකයෙකි.
පුරපතිනි රෝසි සේනානායක මහත්මිය ලස්සන කාන්තාවකි. කොළඹ ලස්සන කරගැනීමටත් ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. විවිධ ජාතීන් විවිධ ආගම් අදහන පිරිසක් කොළඹ වෙසෙති. එම නිසා සමගිය පෙරදැරි කරගෙන ක්‍රියාකිරීම වැදගත්. කොළඹ නගර සභාව රාජ්‍ය නායකයන් බිහිවුන නගර සභාවකි. පත්වුණ සියලුම මන්ත්‍රීවරු මන්ත්‍රිවරියන්ට දළදා සමිඳුගේ ශ්‍රී මහා බෝධියේ රැකවරණින් තුණුරුවන් සරණින් හරියාකාරව කටයුතු සිදුකිරීමට හැකිවේවා යැයි ආශිර්වාද කරමු.
කොළඹ ප්‍රථම පුරපතිනි රෝසි සේනානායක මහත්මිය - සියලුම මන්ත්‍රීවරුන් සමඟ එක්වී කොළඹ බලගතු නීල හරිත නගරයක් බවට පත්කර ගනිමි. දස අවුරුදු සැලැස්ම ක්‍රියාවට නංවමි. සැමට අවංක සේවය ලබාදීමට ප්‍රතිඥා දෙන්නෙමි.
සීයට විසිපහක කාන්තා නියෝජනය ලැබීම ඓතිහාසික අවස්ථාවක් මෙන්ම වැදගත් සුවිශේෂ දිනයකි. කාන්තාවන් නව දෙනෙකු තෝරා පත්කර ගැනීමට හැකිවීම සතුටට කාරණාවකි. ගියවර කාන්තාවන් දෙදෙනකු පමණක් නියෝජනය වුණි. වසර දහහතරකට පසුව විශිෂ්ට ජයක් ලබාගැනීමට හැකිවිය. ලැයිස්තුවේ ඉතිරි මන්ත්‍රීවරු පනස්දෙනාටත් මෙහිදී කෘතවේදී වෙමි. ලැයිස්තුවට ඇතුළත් වුණු සියලුම කාන්තා අපේක්ෂිකාවන් බැරෑරුම් සටනක යෙදෙමින් ජයග්‍රහණය කළේය. දිවා රාත්‍රී නොබලා ආසන සංවිධායකවරුන් වෙහෙසුනි. පොරොන්දු වුණ පරිදි සෑම තරාතිරමකම උදවියගේ අවශ්‍යතාවන් ඉටුකරමි. මුළු නගර සභාවට එකම පවුලක් ලෙස එහිදි ක්‍රියා කරන්නේය. බහුජාතික ආගමික පිරිසක් කොළඹ දිවි ගෙවයි. ඒ සැමට සුරක්ෂිත, සුහුරු අලංකාර යාන්ත්‍රික තාක්ෂණයෙන් පිරිපුන් නගරයක් බිහිකර දෙන්නෙමි. වසර විසිපහක පමණ කාලයක් මධ්‍යම රජයේ බලය අප හට නොමැතිව කොළඹ නගර සභාව ක්‍රියාත්මක වුණි. වර්තමානයේ එසේ නොවේ අපේ අගමැතිවරයකු පක්ෂ සභාපතිවරයකු මුදල් ඇමැතිවරයකු යටතේ නගර සභාව ක්‍රියාත්මක වෙයි.
මේ ජයග්‍රහණය ලබාගැනීමට මගේ මව ලබා දුන් පසුබිම විශිෂ්ටයි. සැමියා, දරුවන් තිදෙනා පුතා කනිෂ්ක නිලූකා කරුණාරත්න, රංග කලංසූරිය, කාවන් රත්නායක, අරවින්ද සිල්වා, නටාෂා බාලේන්ද්‍රන්, සුබ්‍රම් සිල්වා යනාදී සෑහෙන පිරිසක්ද සිරිකොත පක්ෂ මූලස්ථානයේ සිට දායකත්වය ලබා දුන් ලසන්ත ගුණවර්ධන, විෂ්වා, නිරෝෂන් යන සැමවත් මෙහිදි සිහිපත් කරමි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ලබා දුන් ශක්තියට එතුමාට ස්තුතිවන්ත වෙමි. තම කොට්ඨාසය සීයට පනස් නවයකින් ජයග්‍රහණය කර තිබෙන බවත් සේනානායක මහත්මිය ප්‍රකාශ කළාය.
ඇමැතිවරුන් වන මංගල සමරවීර, රුවන් විජයවර්ධන, මලික් සමරවික්‍රම, ජෝන් අමරතුංග, සාගල රත්නායක, ඉරාන් වික්‍රමරත්න, චන්ද්‍රානි බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන රවී කරුණානායක, මුජිබර් රහුමාන් පළාත් සභා මන්ත්‍රීවරුන් වන ෆයිරුස් හජ්ජියාර්, ජයන්ත සිල්වා, නීතිඥ අජිත් පතිරණ මහත්වරුන් ඇතුළුව පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

0 Comments